UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කල්කටාවේ සර්වඥ ධාතූන් වහන්සේ වැඩ සිටින වගයි...

වැල්ලම්පිටියේ රතන හිමි


මේ බුද්ධ ප්‍රතිමාවන්ට පසු පසින් ඇති කරඬුවෙහි සර්වඥ ධාතූන් වහන්සේ වැඩ සිටිති

වසර 2550 ක් පැරැණි වූ සර්වඥ ධාතූන් වහන්සේ ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු මහා බ්‍රිතාන්‍ය රජයෙන් නැවත ඉන්දීය රජයට භාරදීමෙන් අනතුරුව, එම ධාතූන් වහන්සේ ඉන්දියාවේ මහා බෝධි සමාගමට ප්‍රදානය කොට අද කල්කටාවේ ධර්ම රාජික විහාර මන්දිරයේ ස්ථුපයක වැඩ සිටින සේක. විශේෂයෙන් බංගලි බෞද්ධ ජනතාවගේත් බෞද්ධ අබෞද්ධ සාමාන්‍ය දෙස් විදෙස් සියලු දෙනාගේත් ගෞරවයට හා පූජා උපහාරයට මෙන්ම බුදු හිමියන් දුටුවා සේ අමන්දා නන්දයට පත් වී තිබේ.

ඉන්දීය මහා බෝධි සමාගමේ මහා ලේකම්, ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන්ගේ මඟ පෙන්වීම හා පාලනය යටතේ මෙම මූලස්ථානයේ ආගමික, සංස්කෘතික, සමාජසේවා සිදු කරනු ලැබේ. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසා මෙම විහාරය මෙන්ම සමාගම යටතේ ඇති අනිකුත් පූජනීය ස්ථාන ද දියුණුවක් ලබා තිබේ.

ධාතු මන්දිරය

ධර්මරාජික විහාරයේ වැඩ සිටින මෙම සර්වඥ ධාතූන් වහන්සේලා සොයාගෙන ඇත්තේ පැරැණි බෞද්ධ නගරයක් වූ තක්‍ෂිලාවෙනි. මහා බෝධි සමාගමේ නිර්මාතෘ බෝධි සත්ව ගුනෝපේත අනගාරික ධර්මපාල තුමාගේ අදහසක් පලගැන්වෙමින් 1916 දී ඉන්දීය රජය මෙම ධාතූන් වහන්සේ වැඩසිටීමට නම් කල්කටාවේ ධර්මරාජික විහාරය ගොඩ නැගීම එක් කොන්දේසියක් විය. මේ සඳහා පුරෝගාමී වූ ශ්‍රීමත් ජෝන් මාෂල් සහ ශ්‍රීමත් සන්කරන් නයර් මහතුන්ට කෘතඥතාවය පළකළ යුතු ය. 1918 දෙසැම්බර් 16 වෙනි දින මෙම විහාරයට මුල්ගල තැබීමෙන් අනතුරුව ආණ්ඩුකාර රොනල්ඩිෂේ තුමන් විසින් 1920 නොවැම්බර් 20 වන දින ධර්මරාජික විහාරය විවෘත කරන ලදී.

මහාවංසයට අනුව, පස්වන ශත වර්ෂයේ දී ඉන්දියාවේ විජය සිංහ කුමාරයා ලක්දිවට පැමිණ ඇත්තේ, බංගාලිදේශයේ රාජකීය පරපුරකින් බව පැවසේ. එතැන් පටන් අද දක්වාම ආගමික හා සංස්කෘතික සම්බන්ධතාවකින් ඉන්දියාව හා ලංකාව අඛණ්ඩව බැඳී තිබේ.

ධාතුන් වහන්සේ තැන්පත් කිරීම

මෙම දුර්ලභවූත් පූජනීය සර්වඥධාතූන් වහන්සේ ධර්මරාජික විහාර මන්දිරයේ බ්ලැක් ස්ටෝන් නමැති ද්‍රව්‍යයකින් නිමකර ඇති සුවිශේෂ ස්ථූපයක තැන්පත් කර ඇත. ඉන්දීය මහාබෝධි සමාගම වෙනුවෙන් ශ්‍රීමත් ඇෂුටොප් මුකර්ජි, ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන් සහ ඇනී බෙසන්ට් මැතිනිය ප්‍රමුඛ පිරිස පෙරහරකින් ඉංගී‍්‍රසි රජ වාසල කරා ගියහ. ශ්‍රීමත් ඇෂුටොප්තුමා දෝති ඇඳුමෙන් සැරසී පාවහන් නොමැතිව රජ වාසලට යෑම, ඉංගී‍්‍රසි රජයේ නියමය අනුව සිදු නොවිය යුතු විය. බංගලි දේශයේ ආණ්ඩුකාරතුමා අතින් මෙම ධාතූන් වහන්සේ එතුමා පිළිගත්තේ ය. ඉන්පසු ධාතූන්වහන්සේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාට පිළිගන්වන ලදී. අශ්වයන් හය දෙනකුගෙන් යුත් රථයකින් එම පෙරහැර කල්කටාවේ ධර්ම රාජික විහාරයට ළඟා වීමෙන් අනතුරුව විශේෂ ස්ථූපය තුළ එම ධාතූන් වහන්සේ තැන්පත් කරන ලදී. මෙම අතිවිශේෂ පෙරහරට බුරුම, සිංහල, චීන, ජපන් සහ සියම් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා ද ඇතුලුව හින්දු සහ බෞද්ධ ජනකාය 2000 ක් පමණ සහභාගි වූහ.

ශ්‍රීමත් ඇෂුටොප්, ධර්මපාලතුමා සහ කීප දෙනකුගේ කථා වලින් පසු මූලාසනය ඉසුලූ ශ්‍රීමත් රොනල්ඩ්ෂේ ආණ්ඩුකාරතුමා මෙසේ අදහස් දක්වන ලදී. “මෙසේ රැස් වී සිටින ජනකාය ඓතිහාසික වැදගත් කමක් ඔප්පුකරන බවත් වරක් බුද්ධ ධර්මය බැබලුන දේශයේ ශතවර්ෂ අටකට පමණ පසු ඇති වූ පුනරුදයක් බවත් පැවසීය. සද්ධර්මය එළි පෙහෙළි කළ උත්තමයාණන්ගේ ජීවන චරිතයේ හා ඉගැන්වීමේ උත්තරීතර භාවය සඳහා යම් අයකු බෞද්ධ ශ්‍රාවකයෙක් වීම අනවශ්‍යයි. මෙවැනි අවස්ථාවකදී, වෙනත් ආගමිකයකු වශයෙන් ඔහුගේ ප්‍රණාමය හා ගෞරවය බුද්ධ ධර්මයට පිදිය යුතුයි”

බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමා විසින් වර්ෂ 1893 දී ට්කාගෝ නුවර පැවති ලෝක ආගම් පිළිබඳ සම්මේලනයට වඩමවාගෙන ගිය ඓතිහාසික බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙම විහාරයේ වැඩ සිටිති.

මෙහි වැඩ සිටින පිළිම වහන්සේලා අතර, බුදු හිමියන් බුද්ධත්වයෙන් පසු යම් විටෙක වැලමිට, ආසනයේ සහ සුරත ශීර්ෂයේ තබා විවේක සුවයෙන් පසුවීම පිළිඹිබු වන පිළිම වහන්සේ සහ බෞද්ධ ලෝකයට අනගාරික ධර්මපාල තුමන් විසින් කරන ලද ශ්‍රේෂ්ඨ සේවයට තිළිණයක් වශයෙන් වටිනා වර්ණවත් ගල් වර්ග සිය ගණනකින් සමන්විත දැකුම්කලු පිළිම වහන්සේලා හා අති විශාල නෙළුම් මලක් මත නාග රාජයකුගේ විශාල පෙනය බුද්ධ ශීර්ෂය උඩින් සිටින සේ දැක්වෙන රන් පැහැති පිළිම වහන්සේ ජපානයෙන් ලැබී මෙම විහාර මන්දිරයේ තැන්පත් කර තිබේ. බුරුමයෙන් ද ඊට අමතරව රන් පැහැයෙන් හා මාබල් ගලින් නිම වූ විශාල පිළිම වහන්සේලා කීප නමක් ද විශේෂයෙන් හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද්තුමන් විසින් ඉන්දියා මහා බෝධි සමාගමට ත්‍යාග කරන ලද බුද්ධ ප්‍රතිමා රාශියකින් ද බුද්ධ මන්දිරය සමන්විත ය. මේ හැර මහායාන හා හින්දු සංකේත කීපයක් ද මෙහි තබා ඇති හෙයින් නානා ආගමික හා දේශීය හා විදේශීය බොහෝ දෙනාගේ අමන්දානන්දයට හේතු වී තිබීම විශේෂ ලක්‍ෂණයකි.

වන්දනාකරුවන්ට පහසුකම්

කල්කටාවේ ධර්මරාජික බෞද්ධ විහාරය සහ බෞද්ධ ලෝකයාගේ මුදුන්මල්කඩ බඳු ශ්‍රී බුද්ධ ගයාව, සාරානාථ, ලුම්බිණිය, සාංචිය ආදී දඹදිව සිද්ධස්ථාන වැඳ පුදාගැනීමට අද සියලු පහසුකම් ලැබී ඇත.

මෙකී සියලු ස්ථාන පාලනය වන්නේ ධර්මපාලතුමා විසින් 1891 දී ආරම්භ කළ කල්කටාවේ ඉන්දියානු මහා බෝධි සමාගම මගිනි. මෙම මූලස්ථානය මගින් ජාත්‍යන්තර නැවතීම් ශාලාවක්, මහජන රැස්වීම් ශාලාවක්, ළදරු පාසලක්, හොමියෝපති බෙහෙත් ශාලාවක්, යෝග පුහුණු මධ්‍යස්ථානයක්, විපස්සනා භාවනා මධ්‍යස්ථානයක්, මහා බෝධි පොත් හලක්, පුස්තකාලයක් ආදිය පාලනය වේ.

වෙසක් අව
අටවක පෝය

   මැයි 27 වනදා අඟහරුවාදා අපර භාග 8.25 ට ලබයි.
28 වනදා බදාදා අපරභාග 3.17 ට ලබයි.
සිල් සමාදන්වීම මැයි 28 වනදා බදාදාය.

මීළඟ පෝය ජුනි 03 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]