UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සැබෑ මිතුරා හඳුනාගැනීම

සම්බුද්ධ දේශනය නිසා විශේෂයෙන් ඉන්දියාවේත් , ආසියාවේත් සාමාජීක ජීවිතය අමුතුම මඟක ගමන් ගත්තේය. බුදුන් වහන්සේ මවුපියන්, දූ දරුවන් භාර්යාවන් ආදි සමස්ත සමාජයේ අස්සක් මුල්ලක් නෑර දුටහ. මෙලොව ජීවිතය සාර්ථක කර ගනිමින් පරලොව දියුණුවද සලසා ගැනීමේ ලා ඉවහල් වන කරුණූ දේශනා කිරීමේදී මිත්‍රයින් හා මිත්‍ර ප්‍රතිරූපකයින් හොඳින් හඳුනාගෙන ක්‍රියා කළ යුතු බව වටහා දුන්හ. ඒ ඔස්සේ සැබෑ මිත්‍රයා “ ඇසුරු කිරීමටත් “ ව්‍යාජ මිත්‍රයා” දුරු කිරීමටත් ඤාණවන්ත පුද්ගලයාට හැකිවෙයි.

යහළුවාගේ ගෙදරට හිස් අතින් ගොස් ඔහුගෙන් කුමක් හෝ ගෙනයෑමේ අදහස නොඑසේ නම් සුළු දෙයක් දී ඒ වෙනුවට බොහෝ වස්තුව බලාපොරොත්තු වීම තමනට බියක් කරදරයක් වූ විට දාසයෙකු මෙන් කටයුතු කිරීමත් හුදෙක් සිය වාසිය තකාම ඇසුරු කිරීමත් ඇතමෙකුගේ සිරිතය. මෙබන්දන් ඔබට අපට කෙතෙකුත් හමුවෙයි. මොවුන් ඇසුරු කිරීමේ කිසිදු ඵලයක් නැත. අත්හළ යුතු මෙබන්දන් අඤ්ඤදත්ථුහර යනුවෙන් බුදුහිමියෝ වදාළහ.

යමෙකුගෙන් අප උපකාරයක් ඉල්ලුවා යයි සිතමු. එහිදී ෂඞ ටිකකට කලින් කීවා නම් කළ හැකිව තිබුණා” කියමින් එය ඉටුනොවන ලෙස ක්‍රියා කරයි. එබඳු අතීත කථාවෙන් පලක් වේද ? අවශ්‍ය කාර්යයකදී එහි අඩුලුහුඩුකම් පෙන්වා දෙමින් ක්‍රියා කරන්නෝ වෙති. මෙබඳු මිත්‍රයෝද ඇසුරු නොකළ යුත්තෝය. ඔවුන්ගේ යහළුකම් වචනයෙනි. එබන්දන් වචීපරම ලෙස බුදුහිමියෝ හඳුන්වා දෙති.

යහළුවාගේ හොඳ වැඩටත් නරක වැඩටත් එකසේ ඉඩ දෙන අය වෙති. යහළුවාගේ හොඳ වැඩටත් නරක වැඩටත් ඉඩ දෙනවා යනු සැබෑ මිත්‍ර ලක්ෂණ නොවේ. යහළුවාගේ ගුණ කියන්නේ ඉන්නා තැන මුහුණට පමණකි.. එය ඉච්ඡාබස් ලෙස කියයි. නැති තැන කියන්නේ අගුණමය. මිත්‍රයකු වේශයෙන් සිටිනා මෙබඳු මිත්‍ර ප්‍රතිරූපකයෝ “ අනුප්පියාභාණී” නම් වෙති. මෙබ¼ඳු මිතුරන් ඔබගේ ඇසුරට පත්ව නැද්ද? එමට ඇත.

බුදුහිමි යෝ අපාය සහාය නම් වර්ගයට අයත් මිත්‍රයන් ගැනද දේශනා කරති. දුරාචාරයට පමණක් ඔබ සමග මිත්‍ර වන්නෝ වෙති. අකාලයේ වීථි සංචාරය පිණිසද සුරාපානය සඳහාද නැටුම් ගැයුම් බැලීම පිණිසද සූදුව සඳහාද යහළුවීම ඔහුගේ සිරිතය. මේ කරුණු සතරම අවැඩ පිණිස හේතු වන්නේය. මේවායින් විශාල නරක ප්‍රතිඵල ඇතිවන්නේය. මෙබඳු මිත්‍රයෝද ඇසුරු නොකළ යුත්තෝය.

මෙලෙස මිනිස් සමාජයේ අඤ්ඤදත්ථුහර වචීපරම අනුප්පියභාණී අපාය සහාය යන සිවු වර්ගයේ මිත්‍රයෝ දුරු කළ යුත්තෝය.

නිහියති පුරිසෝ නිහීන සේවී
නච භායේ ථ කදාචි කුල්‍යසේවි
අදට්ඨ මුපන මං උදේක සිවිපං
තස්මා අත්තනෝ උත්තරී භජේථ ( අංගුත්තර නිකාය)

යනාදින් කී පරිදි ශීලාදී ගුණ වලින් නිතරම තමාට වඩා උසස් අය ඇසුරු කිරීම දියුණුවට හේතු බව කියයි. අංගුත්තර නිකායේ (අට්ඨක නිපාතය) ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ කල්‍යාණ මිත්‍රතාව ගැන සඳහන් වේ. අප ඇසුරු කළ යුත්තේ කවරහුද? බුදු හිමියෝ ඒ වදාරති. මින් එක් අයෙක් “උපකාරක මිත්‍ර” වෙයි. සිය යහළුවා සුරාපාන ආදියෙන් මුළා වූ කල ආරක්‍ෂා කිරීම, ඔහුගේ වස්තුව ආරක්‍ෂා කිරීම, ඔහුට බියක් වූ විට පිහිටවීම, උපකාර අවශ්‍ය විට පමණටත් වඩා එය කරදීම, යනාදී ශ්‍රේෂ්ඨ ගතිගුණ ඇති මිත්‍රයින් උපකාරක මිත්‍ර වන අතර ඔවුහු ඇසුරට සුදුස්සෝ ය.

“සමාන සුඛ දුක්ඛ” මිත්‍රයා තමාගේ සෑම රහසක්ම නොසඟවා යහළුවාට කියයි. මිත්‍රයාගේ රහස් ආරක්‍ෂා කරයි. විපතේ දී මිතුරා අත් නොහරියි. අවශ්‍යම තැන මිතුරා වෙනුවෙන් දිවි පුදා ආරක්‍ෂා කර ගනියි. සැපතේ දී හා විපතේ දී එකසේ පිටු නොපා ක්‍රියා කරන මොවුහු ඇසුරු කිරීමට සුදුස්සෝ ය.

දියුණුවට මඟ කියා දෙමින්, වැරැදි දෙයින් මිතුරා වළක්වන මිතුරෙකු වෙයි. මිත්‍රයා යහපතෙහිම පිහිටුවයි. ඔහු කලින් නොඅසන ලද කරුණු අස්වයි, කියාදෙයි. ස්වර්ගගාමී සුචරිත මාර්ගය කියා දෙයි. මෙබඳු මිත්‍රයෝ ‘අත්ථක්ඛායි’ නම් වෙයි. මොවුහු ඇසුරු කළ යුත්තෝය.

හොඳම මිත්‍රයින්ගෙන් “අනුකම්පක මිත්‍රයා” සිය යහළුවා අනාථ වූ කළ තමා අනාථ වූවාක් මෙන් සළකා ඊට අකැමැති වෙයි. මිත්‍රයා සැපවත් වූ කළ තමාට වූ දෙයක් ලෙස සලකා පී‍්‍රති වෙයි. මිත්‍රයාගේ නුගුණ කියවුවත් ඉන් වළක්වයි. ගුණ කථාවට පසසයි. මේ ආකාරයෙන් හොඳ මිත්‍රයෝ සතර දෙනෙකි. නරක මිත්‍රයෝ ද හතර දෙනෙකි. ඇසුරු කළ යුත්තේ හොඳ මිත්‍රයන් පමණකි. ඔවුහු බෞද්ධ දිසා නමස්කාරයේ දී උතුරු දෙස මෙනි. මිත්‍රත්වයේ වටිනාකම ඉතා විශාලය. බුද්ධාගම රඳා පවතින්නේත්, මේ කල්‍යාණ මිත්‍රතාවය මතය. බුදුරජාණන් වහන්සේ මේ යහපත් මිත්‍රයන් මව් කෙනෙක් තමාගේ පුත්‍රයා ඉතා ආදරයෙන් ඇසුරු කරන්නාක් මෙන් ඇසුරු කළ යුතු බවත්, අයහපත් මිත්‍රයින් නුවණැති මිනිසා විසින් ව්‍යාඝ්‍ර ආදීන්ගෙන් භය සහිත මාර්ගයක් අත් හරින්නා සේ දුරු කළ යුතු බවත් වදාළහ.

කරුණු මෙසේ හෙයින් විවිධ වූත් විෂම වූත් මෙම සමාජයෙහි ජීවත් වන ඔබ නියම කල්‍යාණ මිත්‍රයා කවරෙක්දැයි දැන හැඳින ගෙන ඔවුන් ඇසුරු කිරීමට උත්සාහ ගැනීම වැදගත් ය.

දෙමවුපිය ඥාතීන් ආදීන්ගෙන් ඈත්ව දුර බැහැර රැකියා කරන්නෙකුට සැබෑ යහළුවන් කීප දෙනෙක් ඇත්නම් කිසිදා බියක් සැකක් නැතිව ජීවත් වන්නට හැකි ය. “නාස්ති මිත්‍ර සමෝ බන්ධූර්” කී පරිදි මිත්‍රයා හා සමාන නෑයෙක් නැත. එහෙත් චාටු, බොරු මිත්‍රයන්ගෙන් වැඩක් නැත. ඒ තමන් අමාරුවේ වැටීමකි.

නපුරු මිත්‍රයා කෙරෙහි කවර විශ්වාසයක් දැයි “කුමිත්‍රා ක්වාසති විශ්වාසඞ” යනාදී වශයෙන් දක්වයි. මිත්‍රයා හඳුනා ගැනීමට සුදුසුම තැන විපත්කර අවස්ථාවයි.

කෙබඳු සමාජයක වූවද ජීවත් වීමේ දී කවුරුන් පිළිබඳ වුවද මනා හැඳිනීමක්, වැටහීමක් අවශ්‍ය ය. විමසිලිමත්ව ජීවත්වීම වැදගත් වෙයි. එහෙයින් බුදුපියාණන් විසින් මිතුරු ලෝකය පිළිබඳ දෙසූ කරුණු ඔස්සේ කටයුතු කරන්නේ නම් මෙලොව හා පරලොව ජීවිතය සාර්ථක වන්නේ ය.

වෙසක් පුර අටවක පෝය

 මැයි මස 11 වන දා ඉරිදා අපර භාග 09.37 ට ලබයි.
12 වන දා සඳුදා අපරභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 12 වන දා සඳුදා ය.

මීළඟ පෝය මැය මස 19 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]