UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවියට පත් අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමියන් පිළිගැනීමේ උළෙලක් මහනුවර දී

භික්‍ෂු පරපුරට ආදර්ශයකි

සම්බුද්ධ ශාසනයේ වර්තමාන ආලෝකය සඳහා ක්‍රියා කර ඇති තවමත් ක්‍රියා කරන ශ්‍රී ලංකා අමරපුර නිකායේ අනුනායක ධුරන්දර අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති පදවි ප්‍රාප්තිය පිළිබඳ ඇසීමෙන් අතිශයින් සතුටට පත්වීමි. ජාත්‍යන්තර ධර්ම දූත සේවයේ යෙදී මෙරටට මෙන්ම විදේශීය රටවලද විශිෂ්ඨ ධර්ම ප්‍රචාරයක යෙදී ඇති කොටුගොඩ නා හිමියන් වර්තමාන භික්ෂු පරපුරට ආදර්ශයකි. භික්ෂූන් වහන්සේගේ සම්බන්ධතාවය හා සමගිය පිළිබඳ කටයුතු කර ඇති උන් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය වෙනුවෙන් ඉටු කරන ලද සේවය රහසක් නොවේ. ආගමික සේවය පමණක්ම නොව ජාතික වශයෙනුත් රටේ උන්නතිය වෙනුවෙන් උන්වහන්සේගෙන් ඉටුවන අත්‍යුදාර සේවය මිලකළ නොහැකිය. පූජාච පූජනීයානං යන සම්බුද්ධ වචනය අනුව යමින් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව අත්‍යවශ්‍ය දෙය සුදුසුම අවස්ථාවේ ඉටුකොට ඇතැයි ප්‍රකාශ කරමි. ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් උන් වහන්සේ පිළිගැනීම සඳහා මහනුවර ධර්මරාජ විද්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවැත්වෙන උත්සවය මුල්කොට කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේට ආශීර්වාදාත්මක පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම සතුටට කරුණකි. තවදුරටත් ස්වනිකායික අභිවෘද්ධිය සදහා සම්මා සම්බුද්ධ ශාසනය උදෙසා ක්‍රියා කිරීමට ආයුරාරෝග්‍ය සම්පත් ශ්‍රී දළදා සමිඳු සරණින් ලැබේවායි ආශිර්වාද කරමි.

සුදුස්සාටම ලැබුණා

සංඝ ශෝභන ගුණයන්ගෙන් පරිපූර්ණ වූ ද බහුශ්‍රැතවූද මහතෙර නමක් වන අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නායක ස්ථවිරපාදයන් වහන්සේ අප නිකායේ සභාපති පදවියට පත්වීම පිළිබඳව මාගේ බලවත් සතුට මෙයින් පළකරමි. නිකායික වශයෙනුත් පොදුවේ ශාසනික වශයෙනුත් උන්වහන්සේගෙන් සිදුව ඇති සේවය අතිමහත්ය. විශේෂයෙන් අප නිකායේ සමගිය හා සංවර්ධනය වෙනුවෙන් කළ සේවය අගය කිරීමද මෙම පදවිය උන්වහන්සේට ප්‍රදානය කිරීමට හේතුවකි. එම තීරණය ගත් අපගේ මහා සංඝ සභාව යුතුකමක් ඉටුකොට ඇත. දෙයක් වේ නම් එය සුදුස්සාටම අයත් විය යුතුය යන්න බුදුදහමට එකඟය. ඒ අනුව සුදුසු තනතුරක් නියම සුදුස්සාටම හිමිවීමක් ලෙස මෙම පදවි දානය සැලකිය හැකිය. ඒ තුළින් ගරු නායක ස්ථවිරපාදයන් වහන්සේගේ සේවය වඩාත් වැඩියෙන් අප නිකායට ලැබෙනු ඇත. එය අප නිකායට මහත් ගෞරවයකි. ලැබූ පදවියේ වගකීම් නොපිරිහෙලා ඉටුකිරීමට අභිනව සභාපති නායක ස්ථවිරපාදයන් වහන්සේට රත්නත්‍රයානුභාවයෙන් චිරජීවනයත් නිදුක් නිරෝගී බවත් ලැබේවායි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.

සම්භාවනාවට පත් හිමි නමක්

ශ්‍රී ලංකා භික්ෂු වංශයේ වර්තමාන භික්ෂු පරපුරේ අතිශය සම්භාවනාවට ලක් වූ ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකි කොටුගොඩ ධම්මවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අනුනායක ධූරයේ අතිවිශිෂ්ඨ සේවාවක් සිදුකළ උන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර නිකායික මහනුවර පළාත් සංඝ සභාව මෙම 11 වැනි ඉරුදින පවත්වනු ලබන උපහාර පිදීමේ උත්සවය වෙනුවෙන් ආශිර්වාදාත්මක පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳ සතුටට පත්වෙමි.
වර්තමාන බුද්ධ ශාසනයේ කීර්තිමත් ගෞරව නාමයක් දිනා සිටින උන්වහන්සේ එම පදවියට අතිශයින්ම සුදුසුකම් ඇති යතිවරයාණන් වහන්සේ නමක් බව සඳහන් කරනු කැමැත්තෙමි. ආදර්ශ සම්පන්න භික්ෂූ ජීවිතයක් ගත කරමින්ද බෞද්ධ දර්ශනය දේශ දේශාන්තරයන්හි පතුරුවාලීම සඳහා උන්වහන්සේගෙන් ඉටු වූ සේවාව මෙහිලා සඳහන් කරන්නේ කෘතඥතාපූර්වක හැඟීමෙනි. භාෂාත්‍රය පිළිබඳව මෙන්ම ත්‍රිපිටක ධර්මය පිළිබඳවත් උන්වහන්සේ ලබාඇති හසල අවබෝධයත් ඉංශ්‍රී‍්‍රසි භාෂාව වැනි ජාත්‍යන්තර භාෂාවන් පිළිබඳ ලබාඇති පෘථුල දැනුම බුද්ධ ශාසනයේ ආලෝකය සඳහා යොදාගෙන ඇතිබව සඳහන් කරමි. උන්වහන්සේට ත්‍රිවිධරත්නයේ සරණත් දළදා සමිඳුගේ පිහිටත් ආශිර්වාදයත් ලැබීමෙන් චිරජීවනය සැලසෙතැයි ප්‍රාර්ථනා කරමි.

නිකායට මහත් ගෞරවයකි

ශ්‍රී ලංකා අමරපුර නිකායේ සමගිය සහ සංවර්ධනය වෙනුවෙන් මහඟු සේවයක් සිදු කළ භික්‍ෂූන් වහන්සේලා අතර අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්ථවිරපාදයන් වහන්සේට සුවිශේෂී ස්ථානයක් හිමිවෙයි. නිකායේ මහා ලේඛකාධිකාරි වශයෙන් කළ සේවය කිසිවිටෙකත් අමතක කළ නො හැකිය. සුපේසල , ශික්‍ෂාකාමීවූත් නිකායික සම්ප්‍රදායන් සුරකිමින් ස්වකීය අනන්‍යතාව රැකෙන සේ ක්‍රියා කරන්නට සියලු සුදුසුකම් සපුරා ඇත්තාවූත් බහුශ්‍රැතකමින් හා අත්දැකීම්වලින් පෝෂිතවූත් මහතෙර නමක් වන කොටුගොඩ ධම්මාවාස නායක ස්ථවිරපාදයන් වහන්සේ ශ්‍රී ලංකා අමුරපුර නිකායේ සභාපති පදවිය සඳහා තෝරා පත් කර ගැනීමට කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව කාගේත් පැසසුමට හේතුවන නියම තේරීමක් සිදුකොට ඇති බව සතුටින් සඳහන් කරමි. නියම සුදුස්සා තෝරා තනතුරු ප්‍රදානය කිරිම බුද්ධ නියමයද වෙයි. බුදුසිරිතෙන්ද ඒ බව පැහැදිලිය. ලද උතුම් පදවිය නායක ස්ථවිරපාදයන් වහන්සේට ගෞරවයක් සේම එම පදවියේ ගෞරවය හා නිකායේ ගෞරවය වැඩිවීමට ද එය හේතු වන්නේමය.

සේවය සදානුස්මරණීයයි

ටිකිරි කොබ්බෑකඩුව
මධ්‍යම පළාත් ආණ්ඩුකාර

ගල්කිස්සේ ධර්මපාලාරාමාධිපති අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සභාපති තනතුරට පත්වීම පිළිබඳව මගේ බලවත් ප්‍රසාදය පළකරන අතර එම පත් කිරීම සිදුකළ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවට මගේ ගෞරවය පිරිනමමි. අභිනව සභාපති නාහිමි දෙස් විදෙස්හි පතළ පඬිරුවනකි. ගුණවත්වුද, සිල්වත් වුද. උතුමෙකි. ගිහිපැවිදි සැමට මනා නායකත්වයක් සපයන පූජනීය හිමිනමකි. ලෝසසුන් දෙකට සිදුකර ඇති සේවය සදානුස්මරණීය වෙයි. දෙදහස් පන්සිය වසරක ඉතිහාසයට අනුව භික්‍ෂූන් වහන්සේට උරුම වු වගකීම් යුගයේ අවශ්‍යතාව පරිදි ඉටුකිරීමට, සියලු හැකියාවන් සපුරා ඇති අභිනව සභාපති නාහිමිපාණන් වහන්සේට, අතිඋතුම් දළදා වහන්සේගේ පිහිටෙන් නිදුක් නීරෝගී බවත්, චිරජීවනයත් ලැබේවායි පතමි.

සසුන් කෙත සරසයි

වර්තමාන භික්‍ෂු පරපුරේ දීප්තිමත් තාරකාවක් බඳු , ගිහි පැවිදි කා අතරත් ගෞරවාදරය ලබන අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සභාපති ධූරයට පත්වීම පිළිබඳ මධ්‍යම පළාතේ ප්‍රධාන පුරවැසියා වශයෙන් බලවත් සතුට පළකරන්නට කැමති වෙමි. මධ්‍යම පළාතේ ගරු මහ සඟරුවනේද අනුශාසනා ඇතිව, අපගේ ගෞරවප්‍රණාමය පළ කරන්නට උපහාර උත්සවයක් සංවිධානය කරන්නට අවස්ථාව ලැබීම අප ලද තාග්‍යයක් සේ සලකමි. සිල්වත්කමින් හා බහුශ්‍රැත බවින් හෙබි අපේ කොටුගොඩ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සභාපති තනතුරට පත් කිරීමට එම නිකායේ මහා සංඝ සභාව ගෙන තිබෙන තීරණය අතිශයින්ම අගය කරමි. එම තීරණය නිසා එම නිකායටත් ලෝක ශාසන දෙකටත් මහඟු සේවයක් සිදුවනු නොඅනුමානය. සමාජයේ යහපැවැත්ම උදෙසා භික්‍ෂූන් වහන්සේගෙන් ඉටුවිය යුතු සේවය අතිමහත්ය. ඒ සඳහා නායකත්වය දැරීමට සුදුසු ස්වාමීන් වහන්සේලාගේ අවශ්‍යතාව වැඩි වැඩියෙන් අවශ්‍යව පවතින යුගයක, අපේ කොටුගොඩ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් සිදුවන සේවය ප්‍රශංසා කටයුතුය. එය අනෙකුත් භික්‍ෂූන් වහන්සේට ද ආදර්ශයකි. ලැබූ උතුම් පදවියේ වගකීම් මැනවින් ඉටුකිරීමට අභිනව සභාපති නාහිමිපාණන් වහන්සේට සිරි දළදා සමිඳු පිහිටෙන් චිරජීවන හා නිරෝගී සුව පතමි.

උපහාර උළෙල

මහනුවර ශ්‍රී ලංකා අමරපුර සංඝ පර්ෂදයත් , විශේෂයෙන්ම මධ්‍යම පළාත් මහා අමාත්‍ය සරත් ඒකනායක ඇමතිතුමා සහ උන් වහන්සේ කෙරෙහි ඇති බලවත් ශ්‍රද්ධාව නිසා මහනුවර බෞද්ධ ජනතාවත් එකතුව කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන්ට උපහාර දැක්වීමේ සහ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කොට ඇත. ඒ අනුව 2008 මැයි මස 11 වන දින පෙරවරු 6 ට ශ්‍රී දළදා මාළිගාවේ කිරි ආහාර පූජාව සහ දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීම සිදු කෙරිණි. අනතුරුව ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ අස්ගිරි මල්වතු උභය විහාරය වෙත වැඩමකොට අතිපූජ්‍ය අනුනායක ස්වාමීන් වහන්සේලා හමුවීමට නියමිතය. දහවල් 1.50 ට මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරයේ සිට දර්ශනීය පෙරහැරකින් මහනුවර ධර්මරාජ විද්‍යාලය වෙත වැඩම කරවා පස්වරු 2.00 ට මැති ඇමතිවරුන් සහිත දහස් සංඛ්‍යාත ජනතාවගේ සහභාගිත්වයෙන් උන් වහන්සේට උපහාර දැක්වීමේ මහා පූජෝත්සවය සිදු කරනු ලැබීය.

වෙසක් පුර අටවක පෝය

 මැයි මස 11 වන දා ඉරිදා අපර භාග 09.37 ට ලබයි.
12 වන දා සඳුදා අපරභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 12 වන දා සඳුදා ය.

මීළඟ පෝය මැය මස 19 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]