UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නවතම ආරකින් බොදු බිතු සිතුවම් ඇඳි ජෝර්ජ් කීට්

ශ්‍රී ලාංකේය බෞද්ධ බිතු සිතුවම් කලාව ඈත අනුරාධපුර යුගය තෙක්ම නෑකම් කියන විෂයයකි. ශේෂව ඇති මිහින්තලා ධාතු ගර්භ සිතුවම්, හිඳගල බිතු සිතුවම් ඊට සාක්‍ෂි දරයි. බෞද්ධ බිතු සිතුවම් නොවුණත් ක්‍රි.ව. පස්වන සියවසේ නිමැවුණු සීගිරි සිතුවම් එම කාල වකවානුවේ සම්භාව්‍ය , ශාස්ත්‍රීය සිතුවම් කලාවේ හැඩරුව කියා පායි. ඉන් සිංහලයින්ගේ චිත්‍ර කලා ශිල්ප ඤාණයත්, නිර්මාණ කෞශල්‍යයත් කෙතරම් ද යන්න මනාව පැහැදිලි වෙයි. මෙම සිතුවම් සම්ප්‍රදායට දොළොස්වන ශත වර්ෂයේ පොළොන්නරු යුගය කරා ද සපැමිණි බව දෘෂ්‍යමාන වෙයි. තිවංක පිළිමගේ නරඹන සැදැහැවතුනගේ සිත්වල සැදැහැ සිතිවිලි අදටත් ජනිත කරනුයේ එකී සිතුවම් සම්ප්‍රදායයි. අප සතු, ශේෂව ඇති ඉතා වැදගත්ම ඉපැරණි බෞද්ධ විහාර සිතුවම් මෙම ප්‍රතිමා ගෘහයේ බිත්ති පුරා විසිරී තිබේ. ඊට ජාතක කතා සහ බුද්ධ චරිතය වස්තු විෂය විය.

දහ අටවන ශත වර්ෂයේ කන්ද උඩරට කේන්ද්‍ර කොටගෙන ව්‍යාප්තව ගිය ශෛලිගත බිතු සිතුවම් සම්ප්‍රදාය බෞද්ධ විහාර සිතුවම් කලාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි. දඹුල්ල, දෙගල්දොරුව, මැදවල, සූරියගොඩ , ලංකාතිලක , මුල්ගිරිගල ආදි විහාර බොහොමයක එම සම්ප්‍රදායේ බිතු සිතුවම් දක්නට ලැබේ.

දිගු ගමන් මගෙක විසිවන ශත වර්ෂය දක්වා පැමිණි විහාර බිතු සිතුවම් කලාවේ නූතන පුරෝගාමීන් ලෙස අඳීන චිත්‍ර සම්ප්‍රදායන් හඳුන්වා දුන් විශාරදයින් ලෙස කැලණි විහාරයේ සිතුවම් ඇඳි සොයිලියස් මැන්දිස් හා බොරැල්ලේ ගෝතමී විහාරයේ සිතුවම් ඇඳි ජෝර්ජ් කීට් හඳුන්වාදීමට පුළුවන. මේ අතරිනුදු ගෝතමී විහාර බිතුසිතුවම් වැදගත් වන්නේ විසිවන සියවසේ චිත්‍ර කලා රීතිය උකහාගෙන බෞද්ධ බිතු සිතුවම් කලාවේ නව්‍යතම ශෛලියක් ශිල්පියාට ම අනන්‍ය වූ මුහුණුවරකින් ඉදිරිපත් කරන ලද හෙයිනි.

ජෝර්ජ් කීට් මහතා 1901 අපේ‍්‍රල් මස 17 වන දින මහනුවර අම්පිටියේ දී උපත ලැබීය. එකල ඔහුගේ මුත්තණුවන් මෙරට යටත්විජිත ලේකම්වරයෙකුව සිටියේය. ඉන්දියාවේ උපන් හේ ලංකාවට පැමිණ නාමය ද වෙනස් කරගෙන ඉහළ සමාජය නියෝජනය කළ අයෙකි. කීට් මහතාගේ මව ඕලන්ද ජාතික කාන්තාවකි.

කළුතර ශාන්ත ආනා විදුහල, හෙලේනා විදුහල, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඔහු සිප්සතර හැදෑරූ ආයතන විය. මූලික අධ්‍යාපනය පිළිබඳව එතරම් උනන්දුවක් නොදැක්වුවද චිත්‍ර ඇඳීමටත්, කියවීමටත් ඉමහත් අභිරුචියක් දැක් වූ ජෝර්ජ් කීට් මහතා බෞද්ධ දර්ශනයට මහත් සේ ඇළුම් කළ බව කියැවේ. 1920 ගණන් වල පමණ ඇති වූ බෞද්ධ ප්‍රබෝධය ඔස්සේ විවිධ බෞද්ධ ප්‍රකාශන වලට ලිපි ලියනු ලැබුයේ බෞද්ධ දර්ශනය ගැඹුරින්ම හැදෑරූ නිසා වෙනි. ඇතැම් ලිපි සමග එතුමන්ගේ චිත්‍ර ද පළ කෙරිණි. පසුකාලීනව ඔහු ක්‍රිස්තියානි ආගම අතහැර බෞද්ධාගම වැළඳ ගත්තේය. මල්වතු විහාරස්ථානය ආශි‍්‍රතව ජීවිතයේ මුල් අවධිය ගෙවීම මෙයට හේතුවන්නට ඇත.

වයස අවුරුදු 26 සිට ඔහු වැඩි වශයෙන් කාලය කැප කළේ චිත්‍ර කලා කටයුතු වෙනුවෙනි. මුල් යුගයේදී ඔහුගේ චිත්‍ර නිර්මාණ බොහෝ දුරට ස්වාභාවික ලක්‍ෂණවලින් යුක්ත විය. එම සිතුවම් වල පර්යාලෝක ලක්‍ෂණ , ත්‍රිමාණ ලක්‍ෂණ විශේෂයෙන් කැපී පෙනේ. වැඩිපුරම වස්තු විෂය වූයේ මල්වත්ත විහාරය අවට භූමි දර්ශන , සංඝයා වහන්සේ වැනි තේමාවන්ය.

ස්වකීය ජීවන මං පෙතෙහි පරිණතභාවයට පත්වීම සමග චිත්‍ර කලා විෂයයෙහිද පරිණත භාවයට පැමිණි ජෝර්ජ් කීට් මහතා පසුව තමන්ටම ආවේණික වූ චිත්‍ර ශෛලියක් ගොඩනගා ගත් බැව් පෙනේ. රේඛාවට මුල්තැන දෙමින් පැතලි වර්ණ යෙදීම පදනම් කොටගෙන එතුමන් සකස් කරගත් මෙම චිත්‍ර ශෛලිය විසිවන ශත වර්ෂයේ නව නැඹුරුවකට යොමු වූවකි. විචාරාක්‍ෂියට යොමුවූවකි. සමකාලීනව ජීවත් වූ ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වූ පැබ්ලෝ පිකාසෝ ගේ චිත්‍ර ශෛලියේ ආභාෂයෙන් ගොඩනගා ගත් ස්වයං ප්‍රකාශන මාධ්‍යයක් ලෙස මෙම චිත්‍ර ශෛලිය අපේ චිත්‍ර කලා වංශ කතාවේ ජෝර්ජ් කීට් මහතාගේ අනන්‍යතාවය සනිටුහන් කරයි. මේ පිළිබඳව කතා කරන්නට පාදක කරගත හැකි හොඳම ස්ථානය කොළඹ, බොරැල්ලේ ගෝතමී විහාරයයි.

සුප්‍රකට දානපතියෙකු හා කලා අනුග්‍රාහකයෙකු වූ හැරල්ඩ් පීරිස් මහතා සැදැහැවත් බෞද්ධ උපාසිකාවක වූ ඔහුගේ මිත්තනියට පින් පිණිස ගෝතමී විහාරය ඉදිකරවන ලදී. බිතුසිතුවම් ඇඳීමට උචිත පරිදි මෙහි බිත්ති විශේෂයෙන් සකස් කරන ලද්දේ ප්‍රකට ගෘහනිර්මාණ ශිල්පියෙකු වු ඇන්ඩෘ බොයිඩ් මහතා විසිනි. බිතු සිතුවම් නිර්මාණයට පිවිසි ජෝර්ජ් කීට් මහතා කිසිම සූදානමක් දළ සටහනක් නොමැතිව බිත්තිය මත චිත්‍ර අඳින ලදී. ඒ සඳහා තද දුඹුරු  (Burnt Seinna) පැහැය තෝරා ගැනිණ. සුප්‍රකට ඡායාරූපි ශිල්පී ලයනල් වෙන්ඩ්ට් මෙම සිතුවම් සමූහය මහත් පැසසුමට ලක් කරන ලද බව ද කියැවේ.

ගෝතමී විහාර බිතු සිතුවම් වලට වස්තු විෂය වී ඇත්තේ බුද්ධ චරිතයයි. ස්වකීය අභිමතය පරිදි බුද්ධ චරිතයෙහි කුමන අවස්ථා චිත්‍රණය කළ යුත්තේදැයි තීරණය කොට විවිධ අවස්ථා එකක් අනෙකට ගලා යන අයුරින් එකම චිත්‍රයක් ලෙස මේ චිත්‍ර නිර්මාණය කිරීම විශේෂ ලක්‍ෂණයකි.

දේවාරාධනය , මහාමායා දේවිය දුටු සිහිනය , සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, වප්මඟුල ,ශිල්ප දැක්වීම , සරණ මංගල්‍යය , නළඟන රැඟුම් , ගිහිගෙය කලකිරීම සතර පෙරනිමිති දැකීම , රාහුල කුමරු දැකීම , මහාභිනිෂ්ක්‍රමණය , අනෝමා නදියෙන් එතෙර වීම, කේශ ඡේදනය , සිවුරු පෙරවීම , මාර පරාජය , දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව , පිරිනිවන් මංචකය ආදි වශයෙන් බුද්ධ චරිතයේ වැදගත් සිද්ධි ගණනාවක් මෙහි චිත්‍ර ගත කොට ඇත. එතුමන්ගේ මෙම චිත්‍ර සමූහය තුළින් රේඛා මාධූර්ය (Line Harmony) මැනැවින් අත්විඳීමට පිළිවන. එක්, එක් සිද්ධි චිත්‍රණය කොට ඇත්තේ ඊළඟ චිත්‍රයට ගලා යන පරිද්දෙනි. චිත්‍ර නරඹන රසිකයෙකුට එක බිත්තියක ඇඳ ඇති සිද්ධි රාශියක් එකවරම එක චිත්‍රයක් ලෙස පෙනී යාම මෙහි විශේෂත්වයයි.

‘මහාමාය දේවියගේ සිහිනය’ සහ ‘රහල් පුතු දැකීම’ යන සිතුවම් දෙක අවස්ථා නිරූපණය අතින් ඉතා වැදගත් සිතුවම් දෙකකි. ‘මායා දේවියගේ සිහිනය ‘ නමැති සිතුවමේ නිදි සුව විඳින මහා මායා දේවිය සහ ඊට මඳ දුරකින් සිටින සුදු ඇත් පැටවා රසික අවධානය නිබඳ දිනා ගනී. අනෙක් සිතුවම වන ‘රහල් පුතු දැකීම යනු සිදුහත් කුමරා සිතුවමේ ගිහිගෙය හැරයාමට සැරසෙන අයුරුත්, දේවිය හා සේවිකාවන් තද නින්දේ පසුවන සැටිත් කදිමට චිත්‍රණය වී ඇත. ප්‍රකාශනයට උචිත පරිදි රේඛාව හැසිරවීමේ ප්‍රතිභාව කෙතරම් ද යන්න නිශ්චය කරගැනීමට හොඳම නිදසුන සිදුහත් කුමරු කන්ථක අසු පිට නැගී යන අවස්ථාව දැක්වෙන සිතුවමයි. කන්ථක අසුගේ වලිගයේ චලනය දැක්වීමට හේ කෙටි රේඛාකරණය අපූරුවට යොදාගෙන තිබේ. එසේම මෙහි ක්‍ෂයවෘද්ධි ලක්‍ෂණ දැක්වීමට ගත් වෑයම ද සාර්ථක ය.

භාවමය හැඟීම් ඉතා ගැඹුරින් සකසා ඉදිරිපත් කිරීමට ශිල්පියා ලද දක්‍ෂතාවය ‘මාර යුද්ධය’ , ‘ පිරිනිවන් පෑම’ යන චිත්‍රවලින් විවරණය වේ’ මාරයින්ගේ භයානක විලාසය, චලනය දැක්වීමට රේඛාව මනාව හසුරුවා තිබේ. පරිනිර්වාණය දැක්වෙන තැන භික්‍ෂූන් වහන්සේලාගේ සෝපත් විලාශය කදිමට දක්වයි. මාරයින්ගේ භයානක විලාශය දැක්වෙන ඍජු හා වක්‍ර රේඛා මගින් යෙදූ විකෘති හැඩතල දුටු කල්හි එක් වරම

අප සිහියට නැඟෙනුයේ පිකාසෝගේ චිත්‍රවල දැක්වෙන විකෘති හැඩතලය.

දුඹුරු පැහැ රේඛාවෙන් අඳින ලද මෙම සිතුවම් වලට පූජ්‍ය, තෙල්වත්තේ අමරවංශ හිමියන්ගේ ඉල්ලීම් පරිදි ජෝර්ජ් කීට් මහතා වර්ණ ගන්වන ලදී. යෙදූ වර්ණ මාලාව ද චිත්තාකර්ශනීය ය. සෑම චිත්‍රයකම පසුතලයේ ඇති ඉඩ රතුපාටින් පුරවා තිබේ. තද දුඹුරු , ලා දුඹුරු අඳුරු කහ වැනි වර්ණ මානව රූප සඳහා භාවිතා වේ. ඇඳුම් පැළඳුම්, ගස්වල කඳන් සඳහා සුදු පැහැය යෙදු අතර කොළ පැහැය ද අතරින් පතර යොදයි.

ජෝර්ජ් කීට් නම් වූ මේ විශිෂ්ඨ චිත්‍ර ශිල්පියාට කෘතගුණ පූර්වකව සඳහන් කළ යුතු එක කරුණක් වෙයි. එනම් එතුමා මෙම සිතුවම් සමූහය නිර්මාණය සඳහා කිසිදු මුදලක් අය නොකළ බව කියැවෙන පුවතයි. සායම් සඳහා වන වියදම පමණක් ඔහුට ලැබිණි. චිත්‍ර නිර්මාණය හුදෙක් එතුමන්ගේ ආත්ම තෘප්තිය සඳහා පමණක් විය.

ශ්‍රී ලංකීය බෞද්ධ බිතු සිතුවම් කලාවේ නව ආරක් ඇති කළ නූතන යුරෝපීය චිත්‍ර සම්ප්‍රදායට දකුණු ආසියාවෙන් එකතු වූ පතාක යෝධයෙකු බඳු මේ ශිල්පියා 1993 ජූලි මස 31 වන දින අභාවයට පත් විය.

පාදක සටහන් -

01. දිනමිණ - තක්සලාව – සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම - 2001 දෙසැම්බර් 24 පිටුව 08

02.ධර්මසිරි ඇල්බට් - දිනමිණ - වෙසක් කලාපය සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම - 1989 , 55, 56, 57, පිටු

03. සිරිසේන සිහිල් එම්. – හෙළ කලා පුවත - සතර මුද්‍රණ – 1989 - 134, 135, 136, පිටු

වෙසක් පුර අටවක පෝය

 මැයි මස 11 වන දා ඉරිදා අපර භාග 09.37 ට ලබයි.
12 වන දා සඳුදා අපරභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 12 වන දා සඳුදා ය.

මීළඟ පෝය මැය මස 19 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]