UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මෙලොව දියුණුව සලසන සමජීවිකතාව

බුදුදහම පරලොව ජීවිතය සැපවත් කර ගැනීම සඳහා පමණක් උපකාරි වන දහමක් බව සමහරු විශ්වාස කරති. නමුත් එම විශ්වාසය නිවැරදි නොවන බව සත්‍ය නොවන බව සඳහන් කළ යුතුය. බුදු දහම වූ කළ දෙලොව අභිවෘද්ධිය සලසා දෙන්නා වූ, ජාති ආගම් කුල භේදයන්ගෙන් තොරව රටවල් බේදයකින් තොරව විශ්වයේ සැමට සාධාරණ වූ අකාලික දහමක් බව ප්‍රකාශ කළ හැකි ය. ත්‍රිපිටකයේ ඇතුළත් විවිධ සූත්‍ර දේශනා විමසා බැලීමෙන් ඉහත සඳහන් කාරණාව මනාව පැහැදිලි වෙයි. මෙහිදී අපගේ් විමසුමට ලක් වන ව්‍යග්ඝපජ්ජ සූත්‍ර දේශනාව, එයට හොඳම නිදසුනකි. දීඝජාණුකෝලිය කුල පුත්‍රයාට ව්‍යග්ඝපජ්ජ සූත්‍රය දේශනා කර ඇත. මෙම සූත්‍ර දේශනාවෙන් මෙලොව දියුණුවට හේතුවන කරුණු සතරක් හා පරලොව දියුණුවට හේතුවන කරුණු සතරක් වශයෙන් දරුණු අටක් දේශනා කොට ඇත.

මොලොව දියුණුවට හේතුවන කරුණු සතර

01. වීර්ය හෙවත් උත්සාහ සම්පත්තිය
02. උපයාගත් වස්තුව ආරක්ෂාකර ගැනීම නම් වූ ආරක්ෂා සම්පත්තිය
03. යහපත් මිතුරු ඇසුර නම් වූ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය
04. අය හා වැය දෙක සමව පවත්වා ගැනීම නම් වූ සමජීවිකතාව

පරලොව දියුණුවට හේතු වන කරුණු සතර

01. තෙරුවන් කෙරෙහි පවත්නා විශ්වාසය නම් වූ ශ්‍රද්ධා සම්පත්තිය
02. කය වචන දෙකෙහි සංවරය නම් වූ සීල සම්පත්තිය
03. පරිත්‍යාගය හෙවත් දීම නම් වූ ත්‍යාග සම්පත්තිය
04. විදසුන් නුවණ නම් වූ ප්‍රඥා සම්පත්තිය

මේ කරුණු අට අතරින් මෙලොව හිත සුව පිණිස උපකාර වන සතර වන කාරණය වන්නේ් සමජීවිකතාවයි. එම කරුණ පිළිබඳ කෙටියෙන් විමසා බැලීම, මෙම ලිපියෙහි අරමුණයි.

ව්‍යග්ඝපජ්පය, සම දිව පැවැත්ම කවරේද? මේ ලෝකයේ කුලපුත් ;තමේ භෝගයන්ගේ් අය වැය දැන ඉතා වැඩිත් නොකොට ඉතා අඩුත් නොකොට සමව දිවි ගෙවීම සමජීවි කතාව ලෙස දක්වා ඇත. එය උපමාවකින් මෙසේ දක්වා ඇත. තරාදියකින් බඩු කිරන්නෙක් මෙපමණ බඩු දැමීමෙන් දරාදිය ඉහළ යන්නේ ය. මෙපමණ බඩු ඉවතට දැමීමෙන් පහළ යන්නේය යැයි මනාව දැනගෙන එය එක හා සමානව තබාගෙන පඩු කිරන්නා සේ, ධන සම්පත් උපයන්නා වූ පුද්ගල තෙමේ අය වැය ඉක්මවා නොයන ආකාරයට සමානව පවත්වාගෙන යාම පිණිස කටයුතු කිරීම සමජීවිකතාව නම් වේ. එසේ වියදම් කිරීම, මෙලොව හිත සුව පිණිස තමන් උපයන ධනය පරිහරණය කිරීමක් වෙයි. ධන පරිහරණය පිළිබඳ ඉතා විශිෂ්ට ඉගැන්වීමක් සිඟාලෝවාද සූත්‍රයේ දැක්වේ. එම සූත්‍රයට අනුව උපයන ධනය සිවු කොටසකට බෙදා ඉන් එක කොටසක් එදිනෙදා තමාගේ් පරිභෝජනය සඳහා ද, කොටස් දෙකක් සංවර්ධනය සදහා වූ ආයෝජන සඳහා ද යෙදවිය යුතු බවද සතර වන කොටස ජලය, ගින්න, නියඟ සොර සතුරු ආදී විපත් පැමිණි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා සුරක්ෂිතව තැන්පත් කර තිබීමද කළ යුතු බව එහි සඳහන් වෙයි. එසේ ධන ධාන්‍ය පරිහරණය කිරීම ආර්ථිකය සංවර්ධනය කර ගැනීමට යෝග්‍ය පිළිවෙතකි. මේ ආකාරයට උපයන ධනය නිසි කළමනාකරණයක් යටතේ් යෙදවූ තරුණයෙක් තමන් විසූ නගරයේ මහ සිටුවරයකු බවට පත් වූ ආකාරය චුල්ලසෙට්ඨි ජාතික කතා පුවතින් පැහැදිලි වෙයි. මී කුණක් විකුණා ආරම්භ කළ ඔවුගේ ව්‍යාපාරය ඔහු දියුණු කරගත්තේ, බුද්ධිමත් ලෙස ධන පරිහරණය කිරීම නිසා බව පැහැදිලි ය. උපයන ධනයෙන් ගත යුතු ප්‍රයෝජන දක්වන අංගුත්තර නිකායේ පත්තකම්ම සූත්‍රයේහි මෙසේ සඳහන් වෙයි.

01. තමාගේ් ප්‍රයෝජනයට ගැනීම, මවුපිය, අඹු දරු, දැසි දස් , කම්කරු ආදී තමන් යටතේ් යැපෙන පිරිස් පෝෂණය කිරීම
02. තමාගේ හිත මිතුරන්ට සංග්‍රහ කිරීම
03. සොර, සතුරු, ගිනි, ජල ආදී විපත් අවස්ථාවන්හිදී ප්‍රයෝජන ගැනීම
4. පංච බලි වශයෙන් දැක්වෙන සමාජ යුතුකම් කිරීම (ඤාති බලි, අත්ථි බලි, පුබ්බපේත බලි, දේවතා බලි, රාජ බලි)
05. ශ්‍රමණ, බ්‍රහ්මණ, ආදී සිල්වතුන්ට සහ දුගී මගීනට දන්දීම, පරිත්‍යාග කිරීම ආදිය ධනයෙන් ගතයුතු ප්‍රයෝජන වශයෙන් එහි දක්වා ඇත.

ධනය උපයා ගැනීමෙන් ගත යුතු ප්‍රයෝජන කෙටියෙන් ප්‍රකාශ කරන්නේ නම්, දීම හා පරිභෝජනය කිරීම ලෙස පැවසිය හැකිය. දීමෙන් හා අනුභව කිරීමෙන් පුද්ගලයා නින්දාවක් නොමැතිව මිය පරලොව ;ගාස් දෙව් ලොව උපදී. (දත්වා ච භුත්වා ච අනින්දිතෝ සග්ග මුපෙති ඨානං)

ධන ධාන්‍ය සම්පත් විවිධ පුද්ගලයන් විසින් පරිහරණය කරන ආකාරය විමසා බලන විට දක්නට ලැබෙන්නේ, අය හා වැය පිළිබඳ නිසි අවබෝධයකින් යුතුව එය නොකරන බවකි. ලොව ජීවත් වන සියලු දෙනා එක හා සමාන ධනය ඇති පුද්ගලයෝ නොවෙති. ඔවුනොවුන්ගේ ආදායම් තත්ත්වය විවිධ ය. එම නිසා සෑම දෙනාටම එක හා සමානව වියදම් කිරීමට නොහැකි ය. ධනය විශාල වශයෙන් ඇති පුද්ගලයා තමාගේ අවශ්‍යතා සඳහා විශාල ධනයක් වියදම් කරයි. අඩු ආදායම් ලබන පුද්ගලයකුට එසේ ධනය වැය කළ නොහැකිය. නමුත් වර්තමාන සමාජයේ දක්නට ලැබෙන්නේ ධනවත් පුද්ගලයන් කරන ආකාරයේ උත්සව කටයුතු ඇඳුම් පැළදුම් ආදිය අනෙකුත් අයද අනුකරණය කිරීමයි. එසේ කරන්නට ගොස් මිල මුදල් හිඟවන විට බැංකු වලින් ආයතන වලින් පුද්ගලයන්ගෙන් පොලියට ණයට ගෙන හෝ ලෝකෙට පෙනෙන්නට ධනවත් පුද්ගලයන් සේ කටයුතු කරති. නමුත් අන්තිමේ දී ගත් ණය ගෙවාගත නොහැකිව, පොලී ද ගෙවා ගත නොහැකිව, ඉඩ කඩම් හරකා බාන විකුණා දමති. වතුපිට උකස් කරති. ණය ගෙවා දැමීමට නොහැකිව, සොරකම් කිරීමට, අල්ලස් ගැනීමට වංචාකාරිව කටයුතු කිරීමට පෙළඹෙති. සමාජය විවිධ දූෂණ අපරාධකාරි වැඩකටයුතු වල යෙදෙන්නේ ද මේ හේතුව නිසා ය. මානසික වශයෙන් එවැනි අය දුක් විදිති. අවසානයේ කරකියාගත නොහැකි වන විට සිය දිවි නසා ගැනීමට පවා පෙළඹෙන අවස්ථා දක්නට ලැබේ. මෙවන් දුකකට ලක් වන්නේ තමාගේ් අය වැය පිළිබඳව නොසලකා කටයුතු කිරීම නිසා ය.

මිල මුදල් ඇති අය විශාල වශයෙන් මුදල් විය පැහැදැම් කළත්, දුප්පත් පුද්ගලයා තමාගේ් ආදායම් තත්ත්වය ගැන සිතා ඒ ලැබෙන මුදලට සරිලන සේ ආහාර පාන ඇඳුම් පැළඳුම් ආදී අවශ්‍යතා පිරිමසා ගැනීමට පුරුදුවිය යුතුයි. අවශ්‍ය දෙයටත් අනවශ්‍ය දෙයටත් විශාල වශයෙන් ධනය වියදම් කිරීම දහමේ උපමා කර ඇත්තේ් දිවුල් කෑමයි. දිවුල් කෑමට කැමැති පුද්ගලයා ගසට නැග එහි අතු සොලවා ඉදුණු, පැසුණු හා නොපැසුණු සියල්ල කඩා දමා ඉන් ඉඳුණු ගෙඩි පමණක් ප්‍රයෝජනයට ගෙන අනෙක් ඒවා ගස යටම දමා යයි. මුදල් තිබුණත් අනවශ්‍ය ආකාරයට මුදල් වියදම් කිරීමත් එවැනි ය. එවැනි ආකාරයෙන් කටයුතු කිරීම බෞද්ධ ආර්ථික දර්ශනයට එකඟ නොවේ. පුද්ගලයෙකුගේ ධනය පිරිහෙන, විනාශ වන කරුණු රාශියක දක්වා ඇත. ඉන් ප්‍රධානම කරුණු වශයෙන් දක්වා ඇත්තේ ස්ත්‍රීන් කෙරෙහි ලොල් බව, සුරාව සඳහා ලොල් බව, සූදුවට ලොල් බව හා පාප මිත්‍රයන් සේවනය කිරීම යන වැරැදි පිළිවෙත්ය. මින් එකක් වුවද ධන හානියට ප්‍රමාණවත් ය.

මේ සතරට යමෙකු ඇබ්බැහි වුවහොත් කියනුම කවරේ ද? කෙතෙක් ධනය තිබුණත් පාප මිත්‍ර සේවනය නිසා ඉතා සුලු කලකින් ධනය විනාශවීම සිදුවන බව පෙන්වීමට හොඳම නිදසුනක් ලෙස මහධන සිටු පුත්‍රයාගේ කතා පුවතම ප්‍රමාණවත් ය. මේ සිටු පුත් හට සිය මාපියන්ගෙන් අසූ කෝටියක් ධන සම්පත් ද සිය බිරියගේ පාර්ශ්වයෙන් අසූ කෝටියක් ධනයද හිමි විය. නමුත් මොහු ධන පරිහරණය පිළිබඳ අවබෝධයක් නොමැතිව පාප මිත්‍රයන් ඇසුරු කරමින් දිවා රාත්‍රී සුරාවට සූදුව සහ ස්ත්‍රීන්ට ලොල්ව කටයුතු කිරීම නිසා සියලු ධනය අවසන් වී බිරියත් සමඟ මහ මඟ සිඟා කෑමට ඔහුට සිදුවිය. විලකට ජලය ලැබෙන මාර්ග වසා පිටවන දොරටු පමණක් විවෘත කර තැබීමෙන් විශාල ජල ප්‍රමාණයක් වුවත් පිටව ගොස් ජලය සිඳී විල වේලෙන්නේ යම් සේ ද, එමෙන්ම මහධන සිටු පුතාගේ මහා ධනස්කන්ධයම එසේ අවසන් වූයේ අයවැය සමව පවත්වා නොගැනීම නිසා ය. එහෙයින් ධන පරිභෝගය වූ කලී මනා අවබෝධයකින්ම කළ යුතු දෙයක් බව පෙනෙයි. විශාල ධනයක් තිබූ නමුත් ඔවුනට කායික හෝ මානසික සැනසීමක් ලැබීමට නොහැකි වූ බව මෙයින් පැහැදිලි වෙයි. අය වැය සමව පවත්වාගෙන යා යුත්තේ එ බැවිනි.

තවද ධනයට ලෝභීව ධනය තමාගෙ ප්‍රයෝජනයටත් නොගෙන, අඹු දරු මවුපිය පෝෂණයටත් නොගෙන පමණට වඩා ආරක්ෂා කිරීමත්, මහත් අනුවණ කමකි. තමාද නොකා නොබී අඹු දරුවන්ගේ ප්‍රයෝජනයට ද නොගෙන ආරක්ෂා කරන ධනය රකුසකු අරක්ගත් විලක් වැනි ය. යක් රකුසන් අරක්ගත් විලක මිහිරි සීතල ජලය කිසිවකුට ප්‍රයෝජන ගත නොහැකිව අවසානයේ මහ පොළොවටම සිඳී වියලී යයි. එමෙන් ලෝභී මසුරු පුද්ගලයාගේ ධනයද කිසිවකුට ප්‍රයෝජන ගත නොහැකි වී විනාශ වෙයි.

ඒ ආකාරයට ධනය හරි හම්බ කර නොකා නොබී මරණයට පත්වීම දහමෙහි දක්වා ඇත්තේ අනාථ මරණයක් ලෙසයි.

අතීතයේ විසූ තෝදෙය්‍ය සිටු ඉල්ලීස, වච්චරිය සිටු, අදින්නපුබ්බක, අපුත්තක සිටු ආදී පුද්ගල චරිත එවැනි ජීවිත ගත කළ අයට නිදසුන් ලෙස දැක්විය හැකි ය. එහෙයින් තමාගේ් ප්‍රයෝජනයටද මවුපිය දරු ආදීන්ගේ පෝෂණයටද නොගෙන, රැස් කරන ලද ධනයෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? එසේ නොකළ යුතු බව දහමෙහි දැක්වේ.

ගිහියකු විසින් ලද හැකි සැප සතරක් දක්වා ඇත. එනම් අත්ථි සුඛය, (ධනය ඇති බව) භෝග සුඛය (ධන පරිභෝජනය තුළින් ලබන සතුට) අණන සුඛය (කිසිවකුට ණය නොමැත කියා ඇතිවන සැපය) අනවජ්ජ සුඛය (නිවැරදිව ධනය සපයා ගත්තා යැයි සිතේ ඇතිවන සතුට) යන මේ සැප සතරයි ඒ. ඊට හිමිකම් කීමට ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් උත්සාහ සම්පත්තිය, ආරක්ෂා සම්පත්තිය , කල්‍යාණ මිත්‍ර සම්පත්තිය හා සමව අයවැය දෙක පවත්වා ගැනීම අවශ්‍ය ය. එවිට ඉහත සැප වලට හිමිකම් කිව හැකි ය. එසේ නම් එම සැප ලබන්නට නම් ධනය අනවශ්‍ය ආකාරයට වියදම් කර විනාශ කරන්නේ්ද නැතිව අධික ලෝභයෙන් යුතුව ආරක්ෂා කර තබා ගන්නේද නැතිව, ලැබෙන ධනයෙන් තෘප්තිමත්ව, සැහැල්ලු ගති පවතුම් ඇතිව පහසුවෙන් පෝෂණය කළ හැකි සුභර ගුණයෙන් ද යුතුව, අය හා වැය ඉක්මවා කටයුතු කරන්නේ නැතිව මේ දෙක තරාදියක් මෙන් සමව පවත්වාගෙන යාම අවශ්‍ය වෙයි. එබැවින් කායික වශයෙන් හා මානසික වශයෙන් සැපත හා සැනසීම ලැබීමට සමජීවිකතාව හේතුවන බව පහැදිලිය.

  නවම් අමාවක පෝය

  මාර්තු 07 වන දා සිකුරාදා පූර්ව භාග
12.25 ට ලබයි.
එම දා අපර භාග 10.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය මාර්තු 14 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 29

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]