UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සඟ රුවනේ සෙත් පිරිත් මැද කේශ ධාතූන් වහන්සේ වැඩම කර වූ වගයි

ලක්වැසි සියලු ජනතාවගේ සමෘද්ධිය, අභිවෘද්ධිය සහ මෙරට එක්සේසත් කිරීමේ දැවැන්ත අභියෝගය භාරගෙන, එය ඉටුකිරීම තම පරමාර්ථය බව කල්පනා කරන ජනාධිපතිතුමාගේ ඒ පැතුම ඉටුකැරැ ගැනීමට කේශ ධාතූන් වහන්සේ කොළොම්පුරේ සිට ඓතිහාසික රුහුණුලකට වැඩම කරවීමේ මෙම ආශීර්වාදාත්මක මහා පින්කම තුළින් හැකිවේවායි කොළඹ ගංඟාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර හිමියෝ ප්‍රකාශ කළහ.

බංග්ලාදේශයේ චිතගොං විහාරස්ථානයේ සිට මෙරටට වැඩමා දැනට ගංඟාරාමයේ තැන්පත්කර ඇති බුදුරජුන්ගේ කේශ ධාතූන් වහන්සේලා දකුණුලකට වැඩම කිරීමේ පින්කම 28 උදේ අරලියගහ මන්දිරයේදී ආරම්භ කළ අවස්ථාවේදී අනුශාසනාවක් කරමින් උන්වහන්සේ එසේ කීහ.

මෙම උත්සව අවස්ථාව ආරම්භයට මත්තෙන් කොළඹ – හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනේ පරිවේණාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නා හිමි, රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති අත්තුඩාවේ ශ්‍රී රාහුල මහ නා හිමි, අත්තනගල්ල, රාජමහා විහාරාධිපති අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරාධිපති ආචාර්ය පන්නිල ආනන්ද නා හිමි යන නා හිමිවරු ප්‍රධාන මහා සංඝරත්නය විෂයෙහිලා අරලියගහ මන්දිරයේ දී උදේ දානමය මහා පින් කමක් පැවැත්විණි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ප්‍රමුඛ රජයේ මැති ඇමැතිවරු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මේ පින්කම පැවැත්විණි.

උදේ දානමය පින්කම අවස්ථාවේදී ගලබොඩ ඤාණිස්සර හිමියෝ කෙටි දේශනාවක් සිදු කළහ.

එම අවස්ථාවේදී ඤාණිස්සර හිමියෝ මෙසේ ද ප්‍රකාශ කළහ.

ලංකා ඉතිහාසයේ විවිධ කාල පරිච්ඡේදවල දී රටේ ඇතිවූ යම් යම් විශේෂ සිදුවීම් තිබෙනවා. ඒවා ඉතාම අසිරිමත්.

ගිය අවුරුද්දේ අපේ රටේ එවන් අසිරිමත් සිදුවීමක් සිදුවුණා. ඒ තමයි බංග්ලාදේශයේ චිතගොං විහාරයේ වැඩ වාසය කළ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා අපේ රටට වැඩම කරවීම.

බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේ වැඩමවාගෙන ගංඟාරාමයේ තැන්පත් කොට අපි උදේ, දවල්, සවස ඒ සඳහා ඉතා ඉහළම ගෞරව, පුද සත්කාර පවත්වනවා. ඉතා අලංකාර අයුරින් අපි ඒ කාර්යය බොහෝම ගෞරව බහුමානයෙන් ඉටු කරනවා.

මේ ධාතූන් වහන්සේ මෙරටට ගෙන ඒමට විවිධ අවස්ථාවලදී අප නොයෙක් උත්සාහයන් ගත්තා. අපිට ඒ කටයුත්ත සාර්ථක කර ගැනීමට නොහැකි වුණා. ඒ අනුව අපි ජනාධිපතිතුමාට මේ ගැන දැනුම් දුන්නා. එතුමාට මේ කරුණ කියලා හරියටම සති දෙකකින්. ඒ කටයුත්ත ඉටු කර ගැනීමට තරම් අප වාසනාවන්ත වුණා.

ගිය අවුරුද්දේ ඒ අනුව මේ ධාතූන් වහන්සේ ලංකාවට වැඩම කරවා ගත්තා. ඒ සඳහා අපේ රජය නියෝජනය කරමින් විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මැතිතුමා, බන්දුල ගුණවර්ධන, පණ්ඩු බණ්ඩාරනායක ඇමැතිතුමාලා සහභාගි වුණා.

ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා කේශ ධාතූන් වහන්සේට වන්දනාමාන කරමින්..

අපේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නායක හාමුදුරුවෝ, මල්වතු පාර්ශ්වයේ මහානායක හාමුදුරුවන්ගේ ජ්‍යෙෂ්ඨම ශිෂ්‍ය රත්නය, අපේ විහාරාධිවාසී ආචාර්ය කිරින්දේ අස්සජී ඇතුළු මහා සංඝරත්නය මේ උතුම් පින්කමට සහභාගි වුණා.

අතිගරු ජනාධිපතිතුමා, එතුමාගේ කනිටු පුත්‍ර රත්නය, අපේ දහම් පාසල් ආචාර්ය රෝහිත රාජපක්‍ෂ කුල කුමරු මේ අවස්ථාවට සහභාගි කරවූවා. මේ අන්දමේ සම්භාවනීය පිරිසක් අපේ රටට කේශ ධාතූන් වහන්සේ වැඩම කරවීමට සහභාගි වුණා.

මීට පෙරත් අපේ රටට කේශ ධාතූන් වහන්සේ වැඩමවා තිබෙනවා. 1959 නොවැම්බර් 11 වැනිදා හලාවත – මාදම්පේ සේනානායකාරාමයට එවකට, එල්. එම්. ඩබ්ලිව්. සේනානායක වාසලමුදලිතුමා ඇතුළු පිරිසගේ දැඩි පරිශ්‍රමය මත මේ ධාතූන් වහන්සේ මෙරටට වැඩමා එහි අලංකාර ගලින් ම සකස් කළ චෛත්‍යයක ඒවා තැන්පත් කොට තිබෙනවා.

මේ උතුම් කේශ ධාතූන් වහන්සේ දාගැබක තැන්පත් කොට තිබෙන නිසා මහජනතාවට දැකබලා ගැනීමට නොහැකියි. ඒ නිසා අපිට චිතගොං විහාරස්ථානයෙන් නැවත වතාවක් කේශ ධාතූන් වහන්සේ මෙරටට ලබාගැනීමට අවුරුදු 12 ක් 15 ක් විතර වැඩ කළා. එය සාර්ථක වුණේ අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත බව නැවතත් කියන්න ඕනෑ.

අද අතිගරු ජනාධිපතිතුමා මේ අරලියගහ මන්දිරයට මහා සංඝරත්නය වැඩම කරවා උන්වහන්සේ ට දානය පිළිගැන්නුවා. ඊට පස්සේ ජනාධිපතිතුමා සිය සුරතින් කේශ ධාතූන් වහන්සේට ගෞරව බහුමාන සිදුකර බොහෝම ශ්‍රද්ධාවෙන් දකුණුලක බලා පිටත්ව යෑම පිණිස විශේෂිත රථයේ එම ධාතූන් වහන්සේ තැන්පත් කළා.

මේවා රටේ ඉතිහාසයේ ලියැවෙන සදා මතක සිටින පින්කම්. මේ මහා ආශිර්වාදාත්මක පින්කම ඉතා ම කෙටි කාලයකින් සංවිධානය කළේ. අද හෙට ඓතිහාසික මාතර වෙහෙරහේන පූර්වාරාමය දක්වා මේ රිය පෙරහැර ගමන් කරනවා.

ලබන 01, 02 කතරගම ඓතිහාසික කිරිවෙහෙර විහාරස්ථානයේ මෙය ප්‍රදර්ශනය කරනවා. ඊට පසුව 03 වැනිදා ඇඹිලිපිටිය සංඛපාල විහාරය හා රත්නපුරය ප්‍රදේශයේ ජනතාවට මෙය වන්දනාමාන කිරීමට ඉඩකඩ සලසා දී තිබෙනවා. මේ පින්කම තුළින් අපේ රටට සෙත ශාන්තිය උදා වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නය මේ අවස්ථාවට සෙත් පිරිත් දේශනා කරමින් සුභාශිංසන පළකරනවා යැයි කීහ.

රට පුරා විසිර ඇති ඓතිහාසික රජමහා පුරාණ විහාරස්ථාන නියෝජනය කරමින් වැඩම කර සිටි මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද කේශ ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහර මාතර වෙහෙරහේන බලා 28 දා උදේ පිටත්විය.

මෙම ආගමික මහෝත්සවයට මෛත්‍රීපාල සිරිසේන, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, ඒ. එච්. එම්. ෆවුසි, ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, අනුර පි‍්‍රයදර්ශන යාපා, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, ඩග්ලස් දේවානන්ද, මහින්ද යාපා අබේවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, එම්. එච්. මොහොමඩ්, මිලින්ද මොරගොඩ, බන්දුල ගුණවර්ධන, සී. බී. රත්නායක, ලසන්ත අලගියවන්න, පවිත්‍රාදේවි වන්නිආරච්චි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා, ජනාධිපති ලේකම් ලලිත් සී. වීරතුංග, ජනාධිපති අතිරේක ලේකම් ගාමිණි සෙනරත්, රුහුණ කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, නවලෝක සමූහ අධිපති එච්. කේ. ධර්මදාස යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ.

  නවම් අමාවක පෝය

  මාර්තු 07 වන දා සිකුරාදා පූර්ව භාග
12.25 ට ලබයි.
එම දා අපර භාග 10.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය මාර්තු 14 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 29

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]