UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

චීන බෞද්ධ සත්‍ය කතා

බටිති කුරුල්ලාගේ පරිත්‍යාගය

මෙයට වසර දෙදහස් ගණනකට ඉහත චීන දේශයේ හැං අධිරාජයාගේ රාජ්‍ය සමයෙහි හුවයිං කඳු වැටියේ උත්තර ප්‍රදේශයේ යෑං නමැති ගොවි පවුලක් සිටියේය. මේ ගොවි පවුලට සිටියේ එකම දරුවෙකි. ඒ පුතෙකි. මව්පියන්ට මහා වස්තුවකට සමාන වූ නිසාම ‘වස්තුව‘ යන වචනයට අර්ථයෙන් සමාන වන පාඕ යන නම ළමයාට තබන ලදී.

කුඩා පාඕ දක්ෂයෙක් පමණක් නොව කාරුණික වූත්, ක්‍රියාශීලී වූත්, පැහැපත් පෙනුමෙන් යුක්ත වූත්, නුවණින් යුක්තවූත් දරුවෙක් විය. ඔහුගේ ආකර්ශනීය ඇහි බැම හා දීප්තිමත් ඇස් දුටුවන් වශී කරවන සුලුය. චීන සම්ප්‍රදායට අනුව ඔහු ගේ දෙමාපියන් නිසි වයසේදී පාඕ ගේ හිස මුඩුකර කෙස් රොදවල් දෙක කුඩා කොණ්ඩ ගැට දෙකක් සේ බැඳ තැබීම කළහ. පෙනුමෙන් කඩවසම් වූ පාඕ දැකුම්කළු දරුවෙක් හැටියට හැමෝම පිළිගත්හ.

කුඩා පාඕ උපතින්ම පරිසර හිතකාමියෙකි. ඔහු ස්වභාව සෞන්දර්යයට අතිශය ඇලුම් කෙළේය. හුවායින් කඳුවැටිය ආශි‍්‍රත වන ගහනයේ ඔහු දවසේ වැඩි කාලයක් කෙළිදෙළෙන් ගතකිරීම පුරුද්දක් කරගෙන සිටියේය. එවකට ඔහුගේ වයස අවුරුදු 9 කි. නව හැවිරිදි පාඕ එක් දිනක් සිරිත් පරිදි එළිමහනේ ක්‍රීඩා කරමින් සිටින විට තම හිසට උඩින් මොකක් දෝ අමුතු ශබ්දයක් ඇදී උඩ බැලුවේය. ඔහුට දකින්ට ලැබුණේ කුරුළුගොයෙකු විසින් ගොදුරු කරගනු සඳහා හඹාගෙන ගොස් අල්ලාගත් කුඩා පක්ෂියකු සතුරාගේ ග්‍රහණයෙන් ගිලිහී බිම පතිත වූ බවය. කුරුළුගොයාට ගොදුර ගිලිහුණු ස්ථානය සොයාගත නොහැකි විය. පාද හා පිහාටු අක්‍රියව සිටි බිම වැටුණ පක්ෂියා වටා කුහුඹු රැළ වටකර ගත්තේ ඔවුන්ගේ ආහාරය සඳහා ගැනීමටය.

කුරුළුගොයාගේ දැඩි නිය පහරින් තුවාල ලබා සිටි පක්ෂියා දුටු පාඕ වහා එතැනට දිව ගොස් කුරුලු පැටවා අහුලාගෙන ඇෙ¼ග් වසා සිටි කුහුඹු රැළ පිසදමා ඉවත් කර ගෙදර ගෙන ගියේය. තවමත් මැරී නොසිටි සතාට ඉතා කරුණා සහගතවූ පාඕ සාත්තු සප්පායම් කොට උණ ලී කූඩුවක දමා රැක බලාගත්තේය. ආහාර සඳහා ඒ රටේ කුරුල්ලන් ආහාරයට ගන්නා මල්පෙති වර්ග කවමින් තුවාලවල තෙල් ගල්වා පිරිමැද සුවපත් කරගත්තේය. ඔහුගේ කුඩා පක්ෂියාට පාඕ බෙහෙවින්ම ආදරය කෙළේය. කරුණාව දැක්වූයේය. මේ අන්දමින් ටික දිනක් ගතවන විට තුවාල සනීප වී කාය ශක්තිය වර්ධනය වී පිහාටු ශක්තිමත්ව පියාසර කිරීමේ හැකියාව බටිති කුරුල්ලාට ඇතිවිය.

කුරුල්ලා කැලයට රැගෙන ගිය පාඕ පක්ෂියා අමතා මෙසේ කීවේය.

’දැන් ඔයා නිදහස්. කුරුළුගොයින්ගෙන් ප්‍රවේසම් වෙන්න. ඔබට ආයුබෝවන්’

බටිති කුරුල්ලා නිදහසේ පියාඹා ගියේය. එම සිදුවීමෙන් වැඩි කලක් ගතවෙන්ට පෙර එක් රාත්‍රියක පාඕ අපූරු සිහිනයක් දුටුවේය. එය අද්භූත සිහිනයකි.

පැහැපත් දුඹුරු පාට ඇඳුම් කට්ටලයකින් සැරසුණු ළමයෙක් තමා බේරාගැනීම ගැන පාඕට ස්තුති කිරීමට පැමිණි බව කියා සිටියේය. ඒ සමග ම මිල කළ නොහැකි අතිශය දීප්තිමත් මැණික් විශේෂයක් ඇල්ලූ වළලු හතරක් අත ඇතිව මෙසේ කීවේය.

’ස්වාමීනි! මම දිව්‍ය රාජ්‍යයේ අග්‍රරාජිණියගේ නියෝජිතයා වෙමි. ඔබතුමා මගේ ජීවිතය බේරාගත්තෙහිය. ඒ වෙනුවෙන් මගේ කෘතඥතාවය පළ කිරීමටත්, මේ අනර්ඝ වළලු සතර පරිත්‍යාග කිරීමටත් ආවෙමි. එසේම මගේ ආශිර්වාදය ද පිළිගන්වනු කැමැත්තෙමි. ඒ මගේ ආශිර්වාදය ප්‍රකාශ කිරීමට මට ඉඩදෙන්න. ඊට ඇහුම්කන් දෙන්න. මගේ ඒ ආශිර්වාදය ප්‍රාර්ථනාව මෙසේය.

’ඔබතුමා ගේ දරුවන්, ඔබතුමන්ගේ මුණුපුරන්, ඔබතුමාගේ මී මුණුපුරන් මෙන්ම මී මුණුපුරන්ගේ දරු පරම්පරාව ද යන පරම්පරා හතරේම විශාල පිරිස කිසිම කැළලක් නැති දීප්තිමත් කායික වර්ණ සම්පත් ඇති ශරීරවලින් යුක්ත පින්වත් අය වෙත්වා. ඔවුන්ට රජයේ ඉහළම තනතුරු ලැබේවා. රාජ්‍ය ගෞරවය ඉහළින්ම ලබන ගෞරව සම්පන්න අය වෙත්වා.

වළලු හතර පිළිගැන්වීමට ළමයා ආරාධනා කළ නමුත් පාඕ එයට මැලිකම් දැක්විය. සිහින දරුවා දිගින් දිගටම කරන ලද පෙරැත්තය හා ආයාචනය නිසා වළලු හතර භාරගන්නා ලදී. ඒ සමග ම පාඕ නින්දෙන් පිබිදුණේය. මෙම සිදුවීම උදක් සිහිනයක් පමණක් බව තේරුම් ගත් පාඕ එය ඒ තරම් ගණනට ගත්තේ නැත.

පසුව ඔහුගේ දරුවෝ මහා බලවත් ශරීරයේ කැළැල් නැති, කාරුණික, රාජ්‍යයේ ඉහළම තනතුරු දරන අය බවට පත්ව පූර්ණ රාජ්‍ය ගෞරවවලට හිමිකම් කීවෝය. ඔහුගේ මුණුපුරෝ ද මුණුපුරන්ගේ දරුවෝ මී මුණුපුරෝද ඔවුන්ගේත් දරුවෝ ද යන සතර වැදෑරුම් පරම්පරාවල අය රටේ පූර්ණ රාජ්‍ය ගෞරවය ලබන, රජයේ ඉහළම පදවි තනතුරු දරන අග්‍රගණයේ පුරවැසියෝ වූහ.

පාඕගේ පරම්පරාවේ මීමුණුපුරන්ගේත් දරුවන් දක්වා වූ හතර වරිගයම රාජ්‍ය අනුග්‍රහය ලබන උසස්ම ප්‍රභූ® තත්ත්වයට පත් කිරීමට කුඩා බටිති කුරුල්ලාගේ ජීවිතය බේරාදීමෙන් ලැබූ කුසලය ප්‍රමාණවත්වූ බව චීන රාජ්‍යයේ ඉතිහාස ගත විය.

(‘THE LOVE OF LIFE’  අනුග්‍රහයෙනි)

  නවම් අමාවක පෝය

  මාර්තු 07 වන දා සිකුරාදා පූර්ව භාග
12.25 ට ලබයි.
එම දා අපර භාග 10.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය මාර්තු 14 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 29

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]