UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අවබෝධය සලසන චින්තන පිළිවෙත

විශ්වාසය හා සත්‍යය අතර ලොකු වෙනසක් තිබේ. ඕනෑම කෙනකුට තමන්ට කැමති ඕනෑම දෙයක් ගැන විශ්වසය තැබීමට පුළුවන. බෞද්ධයෙකු වූ පමණින් බුදු දහම පිළිබඳ තමන් තුළ අවබෝධයෙන් තොරව ඇති කරගන්නා විශ්වාස සියල්ලම, සත්‍ය නො වන්නට පුළුවන.

පරම්පරාවේ එන නිසා හෝ ගුරුවරුන්ගෙන් අසා දැනගත් පමණින් හෝ පිටක පොත් වල ලියැවි ඇති දෙය පිළිගත් පමණින් හෝ එයම නිවැරදිය. එයම සත්‍යයැයි යමෙක් අදහන්නේ නම් එවැනි අය බුදුන් වහන්සේ උපමා කළේ අන්ධ වේනියකටය.

වත්මන් බෞද්ධ ජන සමාජයේ බොහෝ දෙනෙකු ද කටයුතු කරන්නේ එලෙසිනි. එසේ හෙයින් එදා බුදුරජාණන් වහන්සේ වේදය පාරප්‍රාප්ත කාපටික නැති තරුණා බමුණාට දෙසූ දහම් (චංකී සූත්‍රය) අද සමාජයේ ගතානුගතිකව සම්ප්‍රදායිකව කටයුතු කරන බෞද්ධයින්ට ද බොහෝ සෙයින් වැදගත් වනු ඇත.

“ භවත් ගෞතමයන් වහන්ස, පැරැණි බමුණාගේ පරම්පරායෙහි පිටක සම්ප්‍රදායෙහි මේ කාරණය මෙසේය. මේ කාරණය මෙසේ යැයි වේදයෙහි යම් කාරණයක් කියා තිබේ නම්, බමුණෝ එයම සත්‍යය, එයින් අනෙක් කරුණු අසත්‍යය යන නිගමනයට එති. මේ ගැන භවත් ගෞතමයන්ගේ අදහස කුමක්ද ? යි කාපටික බුදුන් වහන්සේගෙන් ඇසීය.

ඒ ඇසූ ප්‍රශ්න ගැන බුදුන් වහන්සේ කාපටික ගෙන් මෙසේ ඇසූහ. මන්ත්‍ර කර්තෘ වූ මන්ත්‍ර පවත්වාගෙන ආවා වු සත් වැනි පරම්පරාව දක්වා ආචාර්ය වරු ඔවුන් ගයන ලද්ද අනුව ගයන, ඔවුන් කියන ලද්ද අනුව කියන ඒ ඍෂිවරු මේ කරුණ අපි දනිමු, දකිමු, එහෙයින් මෙයම සත්‍යය , අන්‍ය අසත්‍යය කීවාහු ද? එවිට කාපටිකගේ පිළිතුර වූයේ , එසේ නොවේ යන්නයි .

නැවතත් බුදුරජාණන් වහන්සේ, භාරද්වාජ බමුණන්, අතුරෙහි මෙ කරුණ මම දනිමි. දකිමි එබැවින් මෙයම සත්‍යය අන්‍ය අසත්‍යය කියු එකම බමුණෙක් හෝ නැති ලු. සත් වැනි ප්‍රාචාර්ය යුගය තෙක් එකද ආචාර්ය ප්‍රාචාර්ය කෙනෙක් නැති ලු. මන්ත්‍ර කර්තෘ වූ අට්ටක වාමකාදී හුද “ අපි එය දැනුම්හ, දැකුම්හ, එබැවින් මෙයම සත්‍යය අන්‍ය අසත්‍යයැයි නො කිහ. භාරද්වාජය, බමුණන්ගේ මේ දැනීම ද අන්ධවේනියක් බඳුය. (අන්ධවේනිය යනු, එක් අන්ධයෙක් ගත් සැරයටි කොන තව අන්ධයෙක් අල්ලා ගනී. එය තවත් අන්ධයෙක් අල්ලා ගනී. ඔවුන් කොහේ යන්නේ දැයි මුල සිටින අන්ධයාද නො දනී. මැද සිටින අන්ධයන්ද අග සිටින අන්ධයාද නොදනී. අන්ධවේනිය යනු මෙයයි.)

එවිට කාපටික එසේ නම් සත්‍යය අවබෝධ කරගන්නේ කෙසේදැයි බුදුන්වහන්සේගෙන් ඇසීය. බුදුරජාණන් වහන්සේ පිළිතුරු වදාරමින්, සත්‍යය රකින නුවණැති පුරුෂයා විසින් , මෙ පමණකින් මෙයම සත්‍යය අනෙක හිස් යැයි නිෂ්ඨාවට පැමිණීම සුදුසු නැත.

එනිසා සත්‍ය අවබෝධ කර ගැනීමට ත්‍රිමාන වැඩ පිළිවෙළක් මේ ශාසනයෙහි තිබේ. එනම්, සත්‍යානු රක්‍ෂණය , සත්‍යානුබෝධය හා සත්‍යානුප්‍රාප්තිය යි. (මේ අවබෝධය ඇති කර ගැනීමට ම.නි. චංකී සූත්‍රය කියවන්න )

නූතන බෞද්ධ ජන සමාජයේ බොහෝ දෙනා තුළ ඇත්තේ පරම්පරාවෙන් පැවත එන බොහෝ දේ පිළිබඳ ඇති කර ගන්නා ලද විශ්වාස පමණකි. මේ අනුව තුනුරුවන් ගැන පවා බොහෝ දෙනෙකුට නිවැරැදි වැටහීමක් නැත. බුද්ධ චරිතය ගැන ද කාලාන්තරයක් තිස්සේ අපට උගන්වා ඇත්තේ අලංකාර වාදයෙන් කරන ලද ප්‍රබන්ධ කතා ය. ඒවා සත්‍ය යැයි බොහෝ දෙනා පිළිගෙන තිබේ. බුදුන් වහන්සේ අන්ධවේනියකට උපමා කළේ මෙ වැනි මත දරන්නන්ය.

සිද්ධාර්ථ කුමාරයාගේ අභිනිෂ්ක්‍රමණය ගැන ගොතා ඇති කතා පුවත මීට හොඳම නිදසුනකි. ඒ පමණක් නොව සිදුහත් කුමරු මෙලොව පහළවීම ගැන පවා නොයෙක් සාහිත්‍ය ප්‍රබන්ධන නිර්මාණය කර ඇත.

බෝධි සත්වයන් වහන්සේ මෙලොව ඉපදීමට තව්තිසා දෙව්ලොව සිට පස් මහ බැලුම් බැලූ කතාව ද සතර පෙර නිමිති හා රජ මාලිගාවේ සැප සම්පත් ගැන කළකිරී ගිහි ගෙය හැරයාම පිළිබඳ කතා ද බුදුරජාණන් වහන්සේ කිසිම සූත්‍රයක දේශනා කර නැත. එම කථා සත්‍ය ඒවා නම්, බුදුන් වහන්සේ ඒ ගැන ද කරන ලද දේශනා ත්‍රිපිටකයෙහි සඳහන්ව තිබිය යුතුය.

අභිනිෂ්ක්‍රමණය ගැන මජ්ක්‍ධිම නිකායේ අරියපරියෙසන සූත්‍රයෙහි දැක්වෙන්නේ මෙසේය. “ මහණෙනි, ඒ මම පසු කාලයෙහි ළදරු වූයෙම්ම ඉතා කළු කෙස් ඇත්තෙම් පළමු වන වයස වු සොඳුරු යෞවනියෙන් වූයෙම්” යුක්ත නො කැමති වූ කඳුළු පිරුණු මුහුණු ඇති මවුපියන් හඬද්දී , කෙස් රවුළු ධා කහවත් හැඳ ගිහි ගෙයින්ම නික්ම පැවිද්දට පැමිණියෙමි. ඒ මම මෙසේ පැවිදි වුයෙම් “ කුසලය කුමක්දැයි සොයන සුළු වුයෙම් “ නිරුත්තර වූ උතුම් වූ ශාන්ති පදය සොයමින් ආළාර කාළාම කරා පැමිණියෙමි. පැමිණ ආළාර කාළාම ට මෙසේ පැවසිමි. කාළාම, මේ ශාසනයෙහි බඹසර කරන්නට කැමැති වෙමි.

මෙම සූත්‍ර පාඨයෙන් අප පැහැදිලිව තේරුම් ගත යුත්තේ සිදුහත් කුමාරයා මාලිගාවේ සියල්ලන්ටම හොරෙන් චන්න අමාත්‍යයා සමග කන්ඨක අසුපිට නැගී පලානොගිය බවයි. සක් දෙව් රජ පැමිණ රජ මාළිගාවේ දොරටු විවෘත කර දුන් බවත්, අනෝමා ගං තෙරහි දී බෝසතුන් තම කඩුවෙන් කෙස් වැටිය කැපීම හා සක් දෙව් රජ පැමිණ කේස ධාතුව නාග ලෝකයට රැගෙන ගිය බවත් සාහිත්‍යමය ප්‍රබන්ධන පමණක් නොව, දේව සංකල්ප බුදු සමය තුළට ප්‍රවේශ කිරීමට කරන ලද ප්‍රයෝග බවත්, දැනුමක් ඇති කාටත් වැටෙහෙනවා ඇත.

ඉන්දීය ජනතාව අතර මහා ප්‍රසිද්ධියකට පත්ව සිටි විසිවැනි සිය වසේ ජීවත් වු මහා ප්‍රඥයෙකු වන බබා සහේබ් අම්බෙඩ්කාර් තුමා විසින් ලියන ලද ‘’ Buddha and his Dhamma ‘’  නමැති කෘතියෙහි සිදුහත් කුමාරයාගේ අභිනිෂ්ක්‍රමණය ගැන ලියා ඇති කරුණු සම්ප්‍රදායික මතවාද උඩුයටිකුරු කරන විචාරාරත්මක විවරණයකි. චෙන්නාහි බුද්ධ වේඩු සමාධි බුද්ධ විහාරාධිපති මදුරක්කුලියේ රතනජෝති හිමියන් විසින් “ සැබෑ සිදුහත් මහ රෑ හොරෙන් පැන ගියේ නැත” යනුවෙන් මුද්‍රණය කොට ඇති අම්බෙඩ්කාර්තුමා විසින් ලියන ලද පොතේ සිංහල පරිවර්තනය කියැවීමෙන් ඔබට ද සිදුහත් කුමාරයා ගිහි ගෙය අතහැර යෑමට හේතු වූ කරුණු දැන ගැනීමට හැකිය.

ශත වර්ෂ ගණනාවක් තිස්සේ බෞද්ධයන් හිස් මුදුනින් පිළිගෙන ඇති සත් සතිය ගැන තබා තිබෙන විශ්වාසය ගැන ද විමසා බැලීම කාලෝචිතය. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා (3) විනය පිටකයෙහි මහා වග්ගපාලි මහාඛන්ධකය (1) එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝ රුක් මුල් හි සත් දවසක් මුළුල්ලෙහි විමුක්ති සුඛය විඳින සේක්, එකම පය¸ංකයෙන් වැඩ හුන් සේක .( ii අජපාල කථාව) ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බෝ රුක් මුලින් නික්ම අජපල් නුගරුක වෙතට වැඩම කළ සේක. එහි වැඩම කොට අජපල් නුගරුක් මුල්හි ඵල සමවත් සුව විඳින සේක්, එකම පය¸ංකයෙන් වැඩ හුන් සේක . (iii. මුචලින්ද කථාව ) ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඵල සමවතින් නැගිට, අජපල් නුග රුක් මුලින් මිදෙල්ල රුක මුලට වැඩිසේක. ( මිදෙල්ල ගසට පාලි භාෂාවෙන් ව්‍යවහාර කරන්නේ ‘ මුචලින්ද ‘ යනුවෙනි. පාලි , සිංහල අකාරාදිය බලන්න ) මුචලින්ද නමැති නාගරාජයකුගේ කතාව යොදා ඇත්තේ දෙවියන් පිළිබඳ අත්භූත හැඟීම් ශ්‍රාවකයා තුළ උද්දීපනය කරවීමටය. (iv  රාජායතන කතාව ) ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සත් දවසක් ඇවෑමෙන් ඒ ඵල සමවතින් නැගිට මුචලින්ද රුක් මුලින් කිරිපලු රුක මුලට වැඩම කළසේක.

බොහෝ දෙනා සත් සතියක් ගැන ලොකු විශ්වාසයක් තබාගෙන බෝධි පුජා පැවැත් වුවත් මහා වග්ගපාලියේ සඳහන්ව ඇත්තේ සති හතරක් පමණකි.

බුදුරජාණන්වහන්සේ ගැන හා බුද්ධ චරිතය ගැන තිබෙන විපරීත දැනුමකින් කිසිවකුටත් නිසිලෙස ධර්මය අවබෝධ කොට ගත නො හැකිය. එසේ හෙයින් හොඳින් විමසා බලා සත්‍යය කුමක් දැයි වටහා ගැනීමට , සෑම බෞද්ධයකු තුළම උනන්දුවක් තිබිය යුතුය.

බුදුරජාණන් වහන්සේ මගධ දනව්වෙහි රජගහ නුවර සැරිසරන අවස්ථාවක රාත්‍රිය ගත කරන සේක් කුඹල් හලක වැඩ වාසය කරන කල්හි එහි ඊට කලින් නවාතැන් ගත් තවත් තරුණ පැවිද්දෙක් විය. බුදුන්වහන්සේ එහි සිටි අනෙක් පැවිද්දාගෙන් තමාගේ ශාස්තෘවරයා කවුරුන්දැයි විමසූ විට ඊට පිළිතුරු දුන් මෙම භික්‍ෂුව තමා භවත් ගෞතමයන් වහන්සේගේ ධර්මයට කැමැති බවත්, තමා භවත් ගෞතමයානන් වහන්සේගෙන් පැවිද්ද හා උපසම්පදාව ලබා ගැනීමට යන බවත්, පැවසීය. එවිට බුදුරදුන් ඔහු අමතමින්, භවත් ගෞතමයන් දුටුවොත් හඳුනා ගත හැකි වේ දැයි ඔහුගෙන් විචාළහ. කලින් දැක නොමැති බැවින් භවත් ගෞතමයන් වහන්සේ හඳුනාගත නොහැකි යැයි පිළිතුරු දුන්නේය. මේ සාකච්ඡාවෙන් පසුව බුදුරජාණන් වහන්සේ ගෙන් ධර්මය අසා අනාගාමී ඵලයට පත්වීමෙන් පසුව තමාට මේ ධර්මය දේශනා කළේ වෙන කවුරුන් හෝ නොව බුදුන් වහන්සේම බව තේරුම් ගත්තේය.

මේ සිද්ධින්ගෙන් ගම්‍ය වන්නේ කුමක්ද? බුදුන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයන් ගෙන් හෙබි ෂඩ් වර්ණා රශ්මිධාරාවක් විහිදෙන පුද්ගලයෙකු වශයෙන් සිටියෝ නම් , අර උයන්පල්ලාටත් කුඹල්හලේ සිය තරුණ භික්‍ෂුවටත් එක එල්ලේ බුදුන් වහන්සේ හඳුනා ගැනීමට හැකිවනවා නො අනුමානයි.

එහෙත් එබන්දක් සිදු නොවුයේ එබඳු කායික ලක්‍ෂණ එතුමන්ගේ සිරුරෙහි විද්‍යාමාන නොවූ හෙයිනි. එනිසා, සැබෑ බුදුරදුන් කවුදැයි හඳුනා ගැනීමට අද බොහෝ දෙනාට නො හැකි වි ඇත්තේ සමකාලීන ලාංකික සමාජයට හුරු පුරුදු බුද්ධ රූප මගින් සම්ප්‍රදායගත නිමිති බෞද්ධයන්ගේ සිත් සතන්හි තහවුරු කර ඇති බැවිනි.

සම්ප්‍රදායගත ඉගැන්වීම් අනුව කටයුතු කරන සියලු දෙනාම අන්ධානුකරණයෙන් සෑම දෙයක්ම විශ්වාස කරති. ඒ අනුව තමා දැනගත් සියල්ල නිවැරැදිය. අනෙක්වා වැරැදියැයි නිගමනයකට පැමිණ දෘෂ්ටි වශයෙන් වැලඳ ගනිති. මෙවැනි දෘෂ්ටි වලට බැස ගැනිම , පයෙ¸ෂණය , විමර්ශනය, ගවේෂණය ආදි ලෙස විචාර පූර්වකව සත්‍ය අවබෝධ කර ගැනීමට බාධාවකි. එ නිසා තමා දැනගත් දේ සත්‍යය හෝ අසත්‍ය වේවා ඒ ගැන අවිචාරයෙන් යුතුව තද බල විශ්වාසයක් ඇති කර ගැනිම , හානි දායකය. වත්මන් බෞද්ධ ජන සමාජය තුළ මෙ වැනි ප්‍රවණතාවක් ඇතිවීමට බලපා ඇති හේතු ගැන විමසා බැලීම යුක්ති සහගත බව කවුරුත් පිළිගන්නවා ඇත. ඊට ඉතිහාසය සාක්‍ෂි දරයි.

උපතිස්ස රජුගෙන් පසුව භික්‍ෂුවක්ව සිටි මහානාම කුමාරයා සිවුරු හැර රාජ්‍යප්‍රාප්ති වීමෙන් පසුව ( ක්‍රි.ව. 409 - 431 ) වේදය පාරප්‍රාප්ත බමුණෙකුව සිට මහණකම ලබා ගත් බුද්ධඝෝෂාචාර්යන් අනුරාධපුරයට ගෙන්වා වලගම්බා රජ සමයේ රහතන් වහන්සේ විසින් මාතලේ අළු විහාරයේදී සිංහල භාෂාවෙන් ග්‍රන්ථාරූඪ කර තිබූ පෙළ පොත් සහ අටුවාපොත් පාලි භාෂාවට පරිවර්තනය කර සිංහලෙන් තිබු පෙළ පොත් සදහා අටුවා බුද්ධඝෝෂ හිමියන් විසින් ගිනි බත් කරවූ මහා කුමන්ත්‍රණය ගැන ඉතිහාසයෙහි සඳහන් වී තිබේ.

මතු සම්බන්ධයි

නවම් පුර පසළොස්වක පෝය  

 පෙබරවාරි 20 වන දා බදාදා පූර්ව භාග 09.39 ට ලබයි.
21 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 20 වන දා බදාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 29 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]