UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අවුල් නිරවුල් වීමට මනස දහමට යොමු කරමු

මීගොඩ ප‍්‍රජාපතී භාවනා මධ්‍යස්ථානාධිපති කෝටිගාවත්තේ ගෝතමී සිල්මාතාව

සුන්දර වූ පරිසරය කවදත් ගෞතම බුදුරජාණන් වහන්සේ අගය කළ සේක. උන්වහන්සේගේ සිත නිරායාසයෙන්ම ඇදී ගියේ ගහ කොළ වලින් පිරී ගිය සුන්දර පරිසර පද්ධතීන් වෙතමය. වර්තමානයේ කඨෝර ඒකාකාරී ජීවිතයක් ගත කරන අපට එවන් වූ සුන්දර පරිසරයක් දැඩි පිපාසිත මුවපොව්වකුට නෙත ගැටෙන සිසිල් දිය දෝතක් මෙනි. ස්වභාව සෞන්දර්යයෙන් යුක්ත වූවාසේම අධ්‍යාත්මික සුවයක්ද ලබා ගත හැකි එවැනි ස්ථානයක් නෙත ගැටුණි. කොළඹ අවිස්සාවේල්ල පාරේ මීගොඩට ආසන්නයේ හමුවන නඩුහේන හන්දියේ ඇති අතුරු මාර්ගයකින් නාවලමුල්ල කනත්ත පසු කිරීමත් සමඟ ප‍්‍රජාපතී භාවනා මධ්‍යස්ථානය නෙත ගැටේ.

භාවනාව තුළින් ලෞකික හා ලෝකෝත්තර වශයෙන් ජය ගැනීමට අධිෂ්ඨානයෙන් කි‍්‍රයා කරන්නන්ගෙන් එම භූමිය හිස් නොවීය. ඒ හැම දෙනා තුළින් ම නැගෙන්නේ ඔවුන් ලැබූ මානසික සුවයේම සුවඳ වේ. කෝටිගහවත්තේ ගෝතමී භික්‍ෂුණීන් වහන්සේ විසින් මෙහි නායකත්වය දරනු ලබන්නී ය. එම සිල්මාතාව සමඟ කළ සාකච්ඡාවකි මේ.

භාවනා මධ්‍යස්ථාන බෞද්ධයාට වැදගත් වන්නේ කුමන ආකාරයටද?

බුදුරජාණන් වහන්සේ ඉතා වටිනාවූ ශ්‍රී සද්ධර්මය දේශනා කළා. ඒ වටිනා වූ සද්ධර්මය අනුව යමින් බෞද්ධයන් ඉන්න ඕනෑ සිතේ සැනසිල්ලෙන්. නමුත් සමාජය දෙස බලනකොට එහෙම පෙනෙන්නේ නෑ. අපරාධ වැඩි වෙනවා. මානසික අසහනය නිසා තව පිරිසක් සියදිවි නසා ගන්නවා. මේ ඒකාකාරී සමාජය තුළ ඇතැම් දෙනෙක් ඉන්නේ විශාල පීඩනයකින් වන්නත් පුළුවන්. ඒ පීඩාකාරී ස්වභාවය මඟහරවා ගෙන ඉතා හොඳ ජීවන රටාවක් පවත්වාගෙන යාමට මානසික සංතෘෂ්ටිය අත්‍යවශ්‍යයි.

බෞද්ධ භාවනා තුළින් එය නියමාකාරයටම සිදු වෙනවා. භාවනා කරන්න භාවනා මධ්‍යස්ථාන වලටම යන්න ඕනෑ කියලා නියමයක් නොමැත. නමුත් තමා ඉන්න වටපිටාව බාධාකාරී නම් භාවනා මධ්‍යස්ථාන වඩාත් ප‍්‍රයෝජනවත් වීමට ඉඩ තිබෙනවා.

ඒ වගේම භාවනා කරන කොට නිසි ගුරුඋපදේශ ලබාගෙන ක‍්‍රමානුකූලව කරන්න ඕනෑ. නොවුවහොත් අහිතකර තත්ත්වයන් ඇතිවෙන්නත් ඉඩ තිබෙනවා. භාවනා මධ්‍යස්ථාන වලින් භාවනාව පිළිබඳ හොඳ අවබෝධයක් ඇති භික්‍ෂූන් වහන්සේගෙන් හා සිල්මාතාවන්ගෙන් ඒ පිළිබඳව උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒවගේම භාවනා මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන්නේ බොහෝවිට සුන්දර වූ වටපිටාවක . ඒ වගේ පරිසරයකට යන විටත් යම් මානසික සහනයක් ලැබෙනවා. නමුත් මේ සියල්ලටම වඩා මූලික විය යුත්තේ සංසාර සාගරයෙන් එතෙර වීමයි. ඒකයි බෞද්ධ භාවනාවේ මූලික අරමුණ. ඒ සඳහා භාවනා මධ්‍යස්ථාන වලින් යම් පිටුවහලක් ලබා ගන්න පුළුවන්.

මෙම භාවනා මධ්‍යස්ථානයෙන් සිදුවන්නේ කුමන සේවාවක්ද?

මෙම භාවනා මධ්‍යස්ථානය ආරම්භ කර මේ වන විට වසර 15 කට වැඩියි. මුලින්ම අප මෙම ස්ථානයට ආවේ පොල් අතු සෙවිලි කළ මඩුවක් හදාගෙන. මුලදී 25 ක් 30 ක් විතර කාන්තාවෝ මෙම ස්ථානයේ සුදුවතින් සිට සසුන්ගත වුණා.

දැන් මෙම භාවනා මධ්‍යස්ථානය තුළ 80 දෙනෙකුට පමණ පහසුවෙන් භාවනා කළ හැකි නේවාසික පහසුකම් තියෙනවා. ගෞරවනීය භික්‍ෂූන් වහන්සේලාට හා උපාසක මහත්වරුන්ට වෙනම කුටි ඉදිකර තියෙනවා. කාන්තාවන්ගෙන් වෙන් කරලා.

විදේශරටවලින් පවා බොහෝ අය මෙම ස්ථානයට පැමිණ භාවනා ඉගෙන ගෙන සතිය, දෙමාසයක නේවාසිකව සිට නැවත යනවා. ඕනෑම ගිහි අයකුට මෙම ස්ථානයේ කැමති කාලයක් නේවාසිකව සිට භාවනා කටයුතු කරන්න පුළුවන්. සම්පූර්ණ නිදහස තියෙනවා. ඒවාගේම සියලු පහසුකම් තියෙනවා. අප ඊට මුදල් අය කරන්නේ නෑ. අපේ එකම අරමුණ පුද්ගලයාගේ මනස දියුණු කිරීම සඳහා උදව්දීම. ඒ සඳහා නොයෙක් වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වෙනවා. ජීවිතයේ අනන්ත දුක් ගැහැට වලට මුහුණ දීලා ඇතැම් කාන්තාවන් උමතුවෙන් මෙන් මෙම ස්ථානයට එනවා. ඒ වගේම ලෙඩදුක් වලින් මිදීම සඳහා භාවනා කිරීමට උපදෙස් ලබා ගන්නත් සමහර අය එනවා. ඒ සියලු දෙනාට මේ භාවනා මධ්‍යස්ථානයෙන් නොපැකිලිව උදව් උපකාර කරනවා.

පිළිකා වැනි දරුණු රෝග භාවනා කිරීමෙන් යම් ආකාරයකට සුව කර ගත හැකි බවට සමාජයේ මතයක් තිබෙනවා. එහි සත්‍යතාවයක් දකිනවාද?

පිළිකාවක් හැදුනා කියන්නේ ශරීරයේ යම් තැනක රෝග කාරක රූප කලාපවල් ඇති වීමක්. මේ අපේ ශරීරය ඇතිවෙමින් නැතිවෙමින් වේගයෙන් වෙනස් වෙමින් තමයි පවතින්නේ. එලෙස ඇතිවෙමින් නැතිවෙමින් වේගයෙන් වෙනස් වන නිසාම ඒ සිතත් කයත් හොඳින් දැක ගන්න පුළුවන් වුනහොත් එය සෑදෙන, වර්ධනය වන ස්ථානය නැති කරගන්න පුළුවන්. එය කරන්න පුළුවන් කුසල චිත්ත ඒකාග‍්‍රතාවයකින් පමණයි. වේගයෙන් එහා මෙහා යන සිත දකින්න නම් සාමාන්‍ය ලෞකික සිතකට බෑ.

එය කළ හැක්කේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව සතිය පවත්වලා, හොඳට සිහිය සතිපට්ඨාන තත්ත්වයට පත් කරලා, සමාධියක් ඇති කර ගෙනයි. ඒ වගේම මෛතී‍්‍ර භාවනාව හොඳට පුරුදු කරලා ක්‍රෝධසිත් අතහැරලා දාලා අරකලින් සඳහන් කළ ඉලක්කයට සිත පමුණුවලා ඒ වේගය දිහාම බලමින් ඉන්න ඕනෑ. ඊට පස්සේ ඒ වේගය නිරුද්ධ වෙන ආකාරය අනුව සිත සකස් කරලා කටයුතු කරපුවහම තමන්ගේ සිත තුළ තිබෙන රෝග කාරක රූප කාරක අතුරුදහන් වෙලා නිරෝගී හා ශක්තිමත් රූප කාරක වර්ධනය වෙනවා.

ඒ මාර්ගය පැහැදිලිවම බුදුදහමෙන් කියා දෙනවා. ඒ සියල්ලටම ප‍්‍රධාන වන්නේ මනස දියුණු කර ගැනීමයි.

අප සමඟ සිටියා ඔය වගේ ලෙඩ රෝග සුවපත් කරගත් විදේශික ඇත්තන් පවා. ඊට පස්සේ ඒ ඇත්තෝ මේ ධර්මය අත්හැරියේ නැතිව තව තවත් ඒ වෙත ළං වුණා. පිළිකා විතරක් නොවෙයි බොහෝ රෝග භාවනා කිරීමෙන් සුව කරගන්න පුළුවන්. මිනිසාගේ සිත මනස නිරෝගී කර ගත්තොත් ඉබේම කයත් නිරෝගී වෙනවා.

බුදු දහමට අනුව ජීවිත ගත කිරීම වර්තමාන සමාජය තුළින් අසන්නට දකින්නට ලැබෙන්නේ ඉතා අල්ප වශයෙන් නේද?

සමහරවිට අපේ ඇතැම් දෙනා නමට පමණක් බෞද්ධයින් වෙලා තියෙන්න පුළුවන්. නමුත් කොතරම් අකටයුතු තිබුණත් සත්‍ය ධර්මය රට තුළ තිබෙනවා. ධර්මය නැත්තේ පුද්ගලයා තුළ විය හැකියි.

සත්‍යවූ ඒ ධර්මයේ ප‍්‍රායෝගිකව යෙදෙනවා නම් විනාශයන් වෙන්නේ නෑ. මතකතියා ගත යුතු වැදගත්ම කරුණ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට සතිපට්ඨානයට අනුව කටයුතු කරනවානම් බුද්ධ ශාසනය රහතන් වහන්සේලාගෙන් හිස්වන්නේ නෑ කියලා.

අප දැන් ධර්ම ප‍්‍රචාර කටයුතු වලට යනවා විදේශ රටවලට ඒ බෞද්ධ රටවල දුප්පත් පොහොසත් කවුරුත් රැකියා ස්ථානයට යන්න කලින් එන්නේ පන්සලට, පන්සලට, පැමිණ වැඳුම් පිදුම් කරලා පුරුදු පුහුණු කරපු භාවනා එහෙම කරලා පිටත් වී තමයි යන්නේ. ඒ නිසා රැකියා කරන අවස්ථාවේ මොන ප‍්‍රශ්න ආවත් මනස සන්සුන් කරගෙන ඔවුන්ට වැඩ කටයුතු කරන්න හැකි වෙලා තියෙනවා.

ඒ වගේම හැම දෙනාම බෞද්ධ දර්ශනය දකින්න ඕනෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ සංසාර සාගරයෙන් මිදෙන මාවතයි. එය අප තේරුම් ගන්න ඕනෑ. සිතෙන් කය නිදහස් වුනහම තියෙන්නේ මොනතරම් සැනසිල්ලක්ද? ඉතින් කවුරුත් නිදාගන්න පළමුව ටික වේලාවක් හරි භාවනා කරන්න පුරුදු වෙන්න ඕනෑ. මනස පිරිසුදුව තියා ගත්තොත් තමන්ගේ එදිනෙදා වැඩකටයුතු අවුලකින් තොරව පහසුවෙන් කර ගන්න පුළුවන්.

පවුල් ජීවිතයක් ගත කරන කාන්තාවන් තම පවුල් ජීවිතයේ ඇතිවන විවිධාකාර ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ධර්මය ප‍්‍රායෝගිකව යොදාගත යුත්තේ කෙසේද?

කාන්තාවන් ලෙස අපට තිබෙන එකම සහනය බුදුසරණ පමණයි. මෙයින් අපට අපමණ සැනසිල්ලක් ළඟාකර ගන්න පුළුවන්. ඒවගේම පවුල් ජීවිතයක් ගත කරන කාන්තාව තම ස්වාමියාට ඉටු කරන හැම කටයුත්තක්ම මෛතී‍්‍රයෙන් කරන්න පුරුදු වෙන්න ඕන. එතකොට තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා කියන සතර බ‍්‍රහ්ම විහරණ වැඩෙන්නේ. ස්වාමියා වරදක් කළත් ඉවසීමෙන් කටයුතු කරන්න පුරුදුවෙන්න ඕනෑ. තමාගේ ඉවසීම, කරුණාව, මුදිතාව, උපේක්‍ෂාව බලවත් නිසාම එතකොට නිරන්තරයෙන් ස්වාමි පුරුෂයා හැදෙනවා. මේක මහ බලවත් කර්ම වේගයක්.

දෙදෙනෙක් එක වහලක් යට ඉන්නවා කියන්නේ කර්ම වේගයක් සිත් දෙකක් බොහෝ දුරට පවුල් අවුල් වෙන්නේ ඒ නිසා තමයි. මොකද? හේතුඵල විපාක අනුවනේ ඔය කර්ම විපාක සකස් වන්නේ.

දැන් එතකොට පින්වත් ධාර්මික ජීවිතයක් ගත කරලා සති සමාධි වඩලා උදේ පාන්දරින්ම නැගිටලා බුදුන්, දහම්, සඟුන් සරණ ගිහින් තමාගේ කටයුතු ආරම්භ කරන්න ඕනෑ. එවිට ගෙදර අයගේ කටයුතු කරද්දීවත් තමාට තරහවක් ඇති වන්නේ නෑ.

අනුන්ගේ අඩුවක් දැක්කත් ඒක තමාගේ සිතට ගන්න හොඳ නෑ. දැන් අපි හිතමු ස්වාමි පුරුෂයා තරහ වුනහම ස්වාමි පුරුෂයාගේ අඩුවක් දැක්කහම බිරියට ශක්තියක් තියෙනවා ති‍්‍රවිධ රත්නයට තමා තුළ වූ ශ‍්‍රද්ධාව ගැන හිතලා තමා කළ කුසල කි‍්‍රයාවක් ගැන හිතලා, එයා දියුණු කරපු මනසින් සත්‍ය, කි‍්‍රයාවක් කරලා මහත්තයාගේ සිත මෙල්ල කරලා මහත්තයාගේ ඒ වැරැදි කි‍්‍රයා වළක්වන්න. ඒ වගේ අප අත්දුටු දේවල් කොතෙකුත් තියෙනවා.

ගෙදර දරුවෙකුට අසනීපයක් නම්, රෝහලකට ගෙනියන්න ක‍්‍රමයක් නැතිනම්, කවුරුත් පිහිට වෙන්නෙත් නැතිනම්, තමන් තුළ තිබූ ගුණධර්ම ගැන හිතලා ඒ කියන්නේ තමා මෙපමණ දවසකට වෛර කළේ නෑ. ක්‍රෝධ කළේ නෑ. ඊර්ෂ්‍යා කළේ නෑ.

මා මේ වගේ පින් දහම් කරලා තියෙනවා. ඒ සත්‍යයේ බලයෙන් මාගේ දරුවා සුවපත් වේවා කියලා සත්‍යකි‍්‍රයා කරනවා. බුද්ධ ශාසනයේ සත්‍ය කි‍්‍රයාව පුදුම බලවත් දෙයක්.

හැබැයි ඒ ගුණාංග තමා ප‍්‍රගුණ කරලා තියෙන්න ඕනෑ. ඒ වගේම අප හැම දෙනාම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සද්ධර්මයේ ජීවත් වෙනවා නම් රටත් හැදෙනවා තමනුත් හැදෙනවා. කිසිම යුධ බියක් ඇතිවෙන්නේ නෑ. මේ හැම දේකටම හේතුව මිනිස්සු ධර්මයෙන් ඈත් වීමයි.

නිකිණි අව අටවක

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් මස 03 වන දා සඳුදා අපරභාග
09.07 ට ලබයි.
4 වන දා අඟහරුවාදා
අපරභාග 07.12 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 04 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය සැප්තැම්බර්
10 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]