UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පාපය-අකුසලය දුරලන උපාය මාර්ග

බුදුන් වහන්සේ මගපෙන්වන්නේ සිත පවින් ඉවත් කරවාගෙන කුසලයට ම යොමුකර තබාගැනීමට පුරුදු පුහුණූ කරවීමට ය. මෙය එතරම් පහසු දෙයක් නොවන බව, ඒ සඳහා උත්සාහ කරන ඕනෑම කෙනකුට පැහැදිළි කරගත හැකිය. අපේ සිත්වල තිබෙන්නේ සිතට පුරුදු කළ දේ ය. ඒ මේ ජීවිතයේදී මෙන් ම, සසර පුරුදු ලෙස ගෙන එන ඒවා ද විය හැකි ය. මේ ජීවිතයට අවශ්‍ය ගතිගුණ පුරුදු කරවීම අරඹන්නේ මවුපියන් ප‍්‍රධාන පවුලේ සමීපතමයන් විසිනි” යන්නවේ භාජනේ ලග්නඞ, සංස්කාරෝ නාන්‍යතා භවේත්” යන විෂ්ණු ශර්මන් පඬිවරයාගේ වදනට අනුව මේවා අමු මැටි බඳුනක අඳින රේඛා සටහන් සේ කල්පාන්තරයක් ගත වුව ද මැකීනොයයි. ගුරුවරුන්, අසල්වැසියන් සහ නෑ හිතමිතුරු සියල්ලන් එක් ව සමහර විට අලුත් පුරුදු ඇතිකරවන අතර, ඇති වී තිබුණු පුරුදු වැඩිදියුණු කරවීම ද කරනු ලබයි. මෙහි ලා අපේ මූලික ස්වභාව විසින් ඉටුකරලන වැඩ කොටසක් ද තිබේ. එනම් හැමවිටම ගැලපෙන අය සමග එකතු කරවීම ය. අප කෙසේ හෝ හොයාගෙන ගොස් එකතුවන්නේ ද අප වටා කෙසේ හෝ එක් රැස්වන්නේ ද අපට ගැලපෙන අය ය. නොගැලපෙන්නන් කෙසේවත් එකතුකර තැබිය නොහැකි ය. ගැලපීම සිදුවන්නේ මූලික ස්වභාවයන්ට අනුව යැයි බුදුරජාණන් වහන්සේ දක්වති.

මූලික ස්වභාවයන් මේ ජීවිතයේදී ලැබූ දේ නොවන අතර, සසර පුරා අපේ සිත්වල ට පුරුදු කරගෙන තිබෙන දේය. පිළින්දවච්ඡ මහරහතන් වහන්සේට සසර පුරුදු අතහැර ගැනීමට නොහැකිවීමෙන් කරදරයට පත්වූයේ, අසරණ ගොවියෙකි. මේ අයුරින් තම තමන් ගැන ම කල්පනා කර බලන ඔබට , ගැලපෙන මෙන් ම නොගැලපෙන ගති සිරිත් ද වශයෙන් කොතරම් ප‍්‍රමාණයක් නම් ඔබේ ජීවිතයට ඇබ්බැහි වී තිබේදැයි දැක ගත හැකි ය. ඔබට සැප හෝ දුක සකස් කර දෙන්නේ මෙම ගති සිරිත් මගින් වන නිසා ඒවා නොතකා හැරිය හැකි දේ නොවේ.

සතුටු වන හැම විටම කල්ලි ගැසී පිරිස පිරිවරා ගැනීමට අපි පුරුදුව සිටිමු. මහගම සේකරයන් කී පරිදි ඔබ හිනැහෙන විට මුළු ලොව ඔබ සමග සිනාසෙන බවත් නමුත්, ඔබ හඬන විට ඒ ලොව ඔබ අතහැර සිනාසෙන ඒ කිසිවිටෙකත් ඔබට නොවැටහෙයි. බුදුරජාණන් වහන්සේ දක්වන පරිදි මේ සතුට හෝ දුක කවරක් වුව ද, එය සැකසෙන්නේ ඔබේ සිත පුරුදු කර තිබෙන පිළිවෙළ අනුව ය.

ඔබේ සිතෙහි තිබෙන්නේ කුමක්දැයි යන්න හරියටම දන්නේ ඔබ ය.ශාරීරික කි‍්‍රයාකාරිත්වයට අවශ්‍ය රසායනික කොටස් සිරුර තුළ නිපදවෙන්නේ ඔබේ සිතිවිලිවලට අනුවය. ඒවායේ බලපෑම මත මුහුණේ සහ සිරුරෙහි ස්වභාවයත් ඇතැම් අසනීප ආදියත් සැකසෙන නිසා, ඔබ කවර අයුරකින් අන් අයට ඇගවීමට උත්සාහ කළ ද ඔබේ කල දවස ගතවන්නේ සැප සේ, සතුටෙන් නොවේ නම් ඒ බව ලෝකයාට හෙළිදරව්වීම කෙසේවත් වැළැක්විය නොහැකි ය. මෙනිසාම සකසා ගත් සිතින් ලැබෙන ආශිර්වාදය අන් කවර ආශිර්වාද පූජාවකිනුදු ලැබිය නොහැකිය. බුදුරජාණන් වහන්සේ පෙන්වන පරිදි කිසිවෙකුටත් උදුරාගත නොහැකි පර ම ධනය, එය ය.

සාමාන්‍ය මිනිස් සිත කිසිම වගාවකට යොදා නොගත්, සරුසාර බිම්කඩක් වැනි ය. එය ඉතාමත් ඵලදායි ලෙස දියුණු කළ හැකි ශක්ති බීජයන්ගෙන් පිරුණකි. එහෙත්, ඔබේ අවධානය නොයෙදෙන්නේ නම් එහි වැවෙන්නේ කිසිදු පලක් නොමැති වල් පැළෑටි ය.

පිරිස් පිරිවරාගෙන සතුටුවන සමහර මෝඩයන් , තම සරුසාර ඉඩමෙහි වල්පැළෑටි වැවෙන්නට හැර, එයිනුදු ආස්වාදයක් ලබන්නට පුරුදුව සිටිනු දැකිය හැකිය. රැස් පිරිවර සමග සතුටු වන මේ අය, මැටියෙන් තනා, පිටතින් රන් ආලේප කිරීමෙන් දිළිසෙන කර්ණාභරණ වැනි යැයි බුදුරජාණන් වහන්සේ වදාළහ.

සිත පිරිසිදු කිරීම වල් අලියකු හීලෑ කිරීමක් වැනි යැයි කියති. පළමුවෙන් ම කළ යුත්තේ අලියාගේ ප‍්‍රමාද දෝෂයක් බලා සිට , උපක‍්‍රමශීලිව ඌ අල්ලාගැනීම ය.

ඉන්පසු පහසුවෙන් උදුරා දැමිය නොහැකි ගසකට තබා ශක්තිමත් කඹයකින් බැද දැමිය යුතුය. තුන්වන පියවරෙහි දී උගේ සුපුරුදු ආහාරපාන, පාලනය කර කායිකව ද දුර්වල කළ යුතු ය. මුලදි දඟලමින් , කෑගසමින්, කිට්ටුවන්නට බැරිතරම් සැඩපරුෂ ලෙස හැසිරෙන සතා ටිකෙන් ටික දමනය වී, සන්සුන් වෙයි. පසුව අවශ්‍ය කටයුත්තකට මෙහෙයවිය හැකි පරිදි පුහුණු කරවිය හැකි ය. සිත පුහුණු කිරීම ද මෙසේ පියවරින් පියවර කළ යුතු අතර, නොකළ යුතු එකම දෙය වන්නේ සිත අල්ලා ගැනීමට එය දුර්වල වන අවස්ථාවක් එළඹෙන තුරු බලා නොසිටීමය.

මජ්ඣිම නිකාය ද්වේධාවිතක්ක සූත‍්‍රයෙන් පැහැදිලි කැරෙන පිළිවෙළ පුරුදු පුහුණු වීම ඉතා පහසුය. දිනක් බෝසතණාන් වහන්සේ, තැන්පත්ව තම සිතෙන් ඒ සිත ම , පරීක්‍ෂා කරමින් වැඩ සිටින විට , එහි නිමක් නොමැති ව මතුවන, අනේකවිධ සිතිවිලි දුටහ.

ඒ දෙස හොඳින් පරීක්‍ෂාකාරීව බැලීමෙන් හොඳ සිතිවිලි මෙන් ම නරක සිතිවිලි ද විටින් විට මතුවන බව දුටු උන්වහන්සේ, මේවා එකිනෙක නම් කරන්නට පුරුදු වූහ. ලෝභ සහගත සිතිවිල්ල ලෝභ සහගත සිතිවිල්ලක් ලෙස නම් කර, පසෙකට කළහ. ද්වේශ සහගත සිතිවිල්ල, ද්වේශ සහගත සිතිවිල්ලක් ලෙස නම් කර පසෙකට කළහ. කරුණාව ඇතිවී නම් එය කරුණාවන්ත සිතිවිලි ගොඩට දැමූහ. මේ අයුරින් සිතෙහි ඇතිවන විවිධ සිතිවිලි නම් කර, හොඳ සහ නරක වශයෙන් ගොඩවල් දෙකකට ඒවා වෙන්කර තැබීමට පුරුදු වූහ. නැවත ඇතිවන අවස්ථාවල දී එම සිතිවිලි ඉතා ඉක්මනින් හඳුනාගන්නට පහසුවක් වන මේ පළපුරුද්ද යහපත් සිතිවිලි ගොඩෙහි තිබෙන ඒවා නැවත නැවත ඇතිකර ගැනීමේදීත්, අයහපත් ගොඩෙහි තිබෙන ඒවා ඇති වන විට ඒවා කෙරෙහි නොසැළකිලිමත් වෙමින් ඇතිවූ තැන ම ලොප්කර දැමීමේදීත් ,ඉක්මනින් කි‍්‍රයාත්මකවීම සඳහා මහත් පිටුවහලකි. මේ ක‍්‍රම අනුගමනය කරමින් නොබෝ කලෙකින් යහපත් සිතිවිලි සිතෙහි තහවුරු කරගන්නටත් අයහපත් සිතිවිලි සිතෙන් බැහැර කරවන්නටත් සමත් වූ උන්වහන්සේ එය ම ආදර්ශයට ගන්නා ලෙස මජ්ම නිකායෙහි ම විතක්ක සණ්ඨාන සූත‍්‍රයෙහි දී පෙන්වා දෙති.

බුදුවරු, බෝසත්වරු අනුගමනය කළ තවත් පිළිවෙළ කිහිපයක් සහිත එම ආදර්ශය කවරකුට වුව ද අනුගමනය කිරීම එතරම් අපහසු නොවේ. අනුන්ගේ වගතුග සොයමින්, කන බොන ලද දේ ආ ගිය තැන් ගැන පුරසාරම් දෙඩීමට ගතකරන කාලය මෙවන් පුහුණුවකට යොමු කරගත හැකි නම්, එයින් අත්කර ගත හැකි යහපත, මෙතෙකැයි කියා නිම කළ නොහැකිය.

තැන්පත් සිතක් පවත්වාගැනීමට වෑයම් කරන විට, ආශාව, තරහ හෝ මුළාව මුල්කරගත් සිතිවිලි ඇතිවන්නේ නම්, ඒවා ඔබේ සිත, කය , වචනය අසංවර කරවා, ඔබව සීලයෙන් පිරිහීමට පත්කරවයි. සිත නොසන්සුන් වී, සමාධිය සිතින් දුරුකරවයි. මුළාව ඉස්මතු වී යමක් නිවැරැදිව තේරුම් ගැනීමට අවශ්‍ය ප‍්‍රඥාව යටපත් කරවයි. එම නිසා ම මෙබඳු සිතිවිලි පාප සහගත ය. නරක යනුවෙන් වටහගෙන ඒවා ඇතිවුවහොත් එවිගස ම තමාට ගැලපෙන, යහපත් සිතිවිල්ලක් ඇතිකර ගනිමින් එම පාප සහගත සිතිවිල්ල යටපත් කරගැනීමට තරම් තමන් ඤාණවන්ත විය යුතුය. බොහෝ විට දක්නට ලැබෙන්නේ තමාගේ සිතෙහි පව්කාර සිතිවිලි ඇතිකරගෙන , ඒවා දියුණුවන්නට හැර , එසේ වූයේ මවුපියන් නිසාය. ගුරුවරුන් හෝ වෙනත් පරිබාහිර කිසිවකු නිසා යැයි චෝදනා කරමින් අලසව සිටීමට මාන බලන අය ය. නමුත් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ, තමාට තමන් මිස අන් කිසිවකුත් නැති, නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතිමින්, මරණයෙන් කෙළවර වන, යළිත් කිසියම් තැනක නැවත උපදින ජීවිතයක් ගත කරන අන් අයට චෝදනා කරමින් තමා පිළිබඳ වගකීම නොතකා කටයුතු කර පිරිහීමට ගත කරන අප අන් අයට චෝදනා කරමින් තමා පිළිබඳ වගකීම නොතකා කටයුතු කර පිරිහීමට පත්වීමේ දී සිදුවන හානිය , වෙනත් ක‍්‍රමයකින් ආවරණය කළ නොහැකි බවය.

සිතක අයහපත් සිතිවිල්ලක් ඇතිවන්නේ නම්, වහා ම ආවරණය කළ නොහැකි බවය. යහපත් සිතිවිල්ලක් ඇතිකරගනිමින් ඒ අයහපත් සිතිවිල්ල යටපත් කරදැමීමට සැළකිළිමත් වීමය. මෙහිදී උපකාර කරගතහැකි වටිනා ලක්‍ෂණයක් ස්වභාව ධර්මය අපට පෙන්වාදෙයි. ඒ හැම දෙයකටම ප‍්‍රතිවිරුද්ධ දෙයක් ද තිබෙන බව දකින්නට සලස්වා තිබීමයි. අඳුරට අකමැති අය කළ යුත්තේ ආලෝකය ඇති කර ගැනීමය. එමෙන්ම ලෝභකම පරිත්‍යාගයෙන් ද, තරහ මෛති‍්‍රයෙන්ද, මුලාව නුවණින්ද යටපත් කරවන්නට උත්සුක විය හැකිය. ඕනෑම සිතිවිල්ලක් ඊට ප‍්‍රතිවිරුද්ධ සිතිවිල්ල ඇති කරගෙන යටපත් කරවිය හැකිය.

සාමාන්‍ය ලෝකය තුළ වුව ද පාපයට විශාල පිළිගැනීමක් තිබෙන බවක් පෙනේ. පාපය ලස්සන ය. බොහෝ දෙනෙක් එයට කැමතිය. පව්කිරීම ඉතා පහසුය. ඒවා කරන අයට පිරිස් ඕනෑතරම් සිටිති. එහෙත් ඒ බොහෝ කලකට නම් නොවේ. ඒ නිසා පාප සහගත සිතිවිල්ලක් ඇති වූවිට, එහි පාප සහගත බව සිහිපත් කරමින් එය සිතෙන් බැහැර කරවිය හැකිය. එය නරක බව සිතට ඒත්තු ගන්වා, එය අනුගමනය කිරීමෙන් ඇතැම්විට සතුටු විය හැකි නමුත් පාපය දුකට මුල් වන බව දැක, එය වැරැදි ය යන බව ම සිතට ඒත්තු ගැන්වීම ය. මෙහි දී කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ගෙලෙහි බැඳි බලු කුණක් හා සමානකොට සලකා පාපය බැහැර කළ යුතු බවයි.

තවත් සමහර විටක දී අනුගමනය කළ හැකි පිළිවෙළකි පාපය සිහිපත් නොකර සිටීම . එය හරියටම අකැමැති දෙයක් දකින්නට සැලසුණු විට , ඇස් පියාගෙන එය මඟහැර යෑම වැනිය. ඕනෑම සිතිවිල්ලක් නැවත නැවත මෙනෙහි කිරීම නිසා සිතෙහි වඩවඩාත් තහවුරුවන බව වඩ වඩාත් ශක්තිමත්ව මුල්බැස ගන්නා බව, අත්දැකීමෙන් ම දන්නා ඔබට, මේ පිළිබඳ අමුතුවෙන් විස්තර කළ යුතු නැත.

නැවත සිහිපත් නොකර සිටීමෙන් ද යටපත් නොවන තරම් බලසම්පන්න පාප සිතිවිල්ලක් නම් එය මතුවන්නේ කවර කාරණයක් මුල් කර ගෙන දැයි සිතා බලා, එහි නිශ්ඵල බව සිතට පෙන්වාදී, එය යටපත් කර දැමීමේ ක‍්‍රමයක් ද තිබේ. එය තමන්ට කරන්නට සිතෙන කිසියම් නිශ්ඵල දෙයක් එසේ කරන්නට සිතන්නේ ඇයි දැයි තමා විසින් ම දිගින් දිගටම ප‍්‍රශ්න කරමින් , විමසමින් අවලංගු කර දැමීම වැනිය.

අවසන් වශයෙන්, තවදුරටත් පාපය බලවත් ව තිබේ නම් දත් සපාගෙන, දිව උඩුතල්ලට තදකරගෙන අධිෂ්ඨානශීලිව උත්සාහකිරීමෙන් එය යටපත් කර දැමිය හැකි යැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති.

පාපය කෙසේ හෝ යටපත් කළ යුතුම දෙයක් වන බැවින්, මේ කවර උපක‍්‍රමයක් හෝ යොදාගෙන කළ යුතුව ඇත්තේ තම සිතෙන් පාපය බැහැර කර ගැනීමය. කුසල් දහම්වලට දියුණුවීමට අවශ්‍ය පරිසරය නිරායාසයෙන්ම එවිට ගොඩනැගෙනු ඇත.

නිකිණි අව අටවක

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් මස 03 වන දා සඳුදා අපරභාග
09.07 ට ලබයි.
4 වන දා අඟහරුවාදා
අපරභාග 07.12 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 04 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය සැප්තැම්බර්
10 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]