[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

රුහුණු මාගමයටාල වෙහෙර

රුහුණු මාගමයටාල වෙහෙර

යටාල වෙහෙර හෙවත් දළදා දාගැබ දකුණු පළාතේ පිහිටි පුරාණ දාගැබකි. මහානාග රජු විසින් කරවන ලදැයි සඳහන් මෙම දාගැබ් වහන්සේ රහතන් වහන්සේ වැඩසිටි ස්ථානයක් වූ රුහුණු මාගම රාජධානියේ ඉදි කරන ලද ප්‍රථම චෛත්‍ය ලෙස ද සැලකේ. හම්බන්තොට කතරගම මාර්ගයේ දෙබරවැව සහ අකුරුගොඩ අතර, තිස්සමහාරාම දාගැබට කිලෝ මීටරයක් පමණ දුරින් යටාල වෙහෙර පිහිටා තිබේ. පැරණි ඉතිහාසමය මූලාශ්‍රවල මෙම වෙහෙර මණි චේතිය සහ යත්තලය නමින් ද හඳුන්වා තිබේ.

මහානාග රජු තම ගැබිනි බිසව ද රැගෙන අනුරාධපුරයේ සිට රුහුණට පලා යන අතරතුර මෙම දාගැබ පිහිටි ස්ථානයේ දී පුතකු ඉපදුණු බවත්, ඔහුට යටාල යන නම තැබූ බවත්, පසුව එම සිද්ධිය සිහිවීමට මෙම විහාරය කරවා තිබෙන බවත්, එසේ කරවූ වෙහෙර ත්‍රිපිටකාරිට්ඨ හිමියන්ට පූජා කළ බවත් ථූප වංශය, ලළාට ධාතු වංශය, සද්ධර්මලංකාරය, පූජාවලිය යන ඓතිහාසික කෘතිවල සඳහන් වේ.

මෙම වෙහෙර වටා සතර දිසාවට විවර වූ වාහල්කඩ සතරක් දැක ගත හැකි අතර, එහි සිදු කළ පුරාවිද්‍යා ගවේෂණ අනුව එහි ඉදිකිරීම් ප්‍රධාන යුග තුනකට අයත් බව තහවුරු කර තිබේ.

පැරණි ම කොටස ක්‍රිස්තු පූර්ව යුගයට අයත් වන අතර, දෙවැනි කොටස සේ සැලකෙන තනි පේසාව කොටස ක්‍රිස්තු වර්ෂ හතර වැනි සියවසට අයත් බව පැවසේ. 1884 දී කළ ඉදිකිරීම් තුන් වැනි සමයට අයත් වේ.

වෙහෙර වටා ගල් කණු, ගල් පුවරු සහ පැරණි ගඩොල් ආදිය විසිරී පවතී. විහාරයේ නව සංඝාවාසය අසල විශාල ආසනඝර ගොඩනැඟිල්ලක නටබුන් දැක ගත හැකි ය. මෙම පුදබිම ක්‍රිස්තු පූර්ව පළමු වැනි සියවසට වඩා පැරණි බව මහාචාර්ය කඹුරුපිටියේ වනරතන හිමියන් සඳහන් කරන්නේ, මේ ආසනඝරයේ නටබුන් අනුවයි. මෙම ආසනය පිහිටි ගල්ලෑල්ල දිගින් අඩි 22ක් ද, ඝනකමින් අඟල් 22ක් ද වන අතර, මෙය පිහිටුවා ඇත්තේ අඩි 68ක් දිග අඩි 66ක් පළල ගොඩනැඟිල්ලක ය.

බුබ්බුලාකාර හැඩැති දාගැබ් මළුව වටා ගඩොලින් කළ ඉපැරණි ඇත් පවුරකි. මහා විහාර සම්ප්‍රදායට අයත් මෙම පුදබිමේ කැනීම් කරන විට ඇත් පවුරේ මුදුන තිබී ඇත්තේ පොළෝ මට්ටමේ සිට අඩි තුනක් පමණ යටිනි. ඇත් පවුරේ පදනමේ සිට බලන විට පොළොව මට්ටම ඇත්තේ අඩි අටක් පමණ ඉහළිනි.

හුණුගලින් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ, බුද්ධ ප්‍රතිමා ශීර්ෂ, මුරගල් සහ සෙල් ලිපි කොටස් පුරාවස්තු ලෙස මෙහි තැන්පත් කර තිබේ. මෙම බුද්ධ ප්‍රතිමාවේ මුලින් ම සොයා ගනු ලැබුවේ ගල් පඩි අතර තිබූ ගෙවී ගිය සිරස කොටසයි. දෙපා කැඩී ඇති ප්‍රතිමාවේ උස අඩි පහකට වැඩි ය. පපුව හරහා කතිරයක් මෙන් දෑත් තබාගෙන සිටින පිළිමය නෙළා ඇත්තේ තිවංක ඉරියව්වෙනි. වම් පාදය දණහිස ළඟින් මඳක් නැවී ඇති අතර, ප්‍රතිමාවේ උරහිස සහ තුනටිය ද යම් තරමකට නැවී තිබේ. සිවුර ඒකාංශ කර පොරවා තිබේ. එය අනුරාධපුරයේ පිළිමවල චීවර රැල්ලට සමාන බවක් දක්වයි. මෙය අට වැනි සියවසට අයත් බව මහාචාර්ය පී. එල්. ප්‍රේමතිලක මහතා සඳහන් කර තිබේ. මෙම මළුවේ පිළිම ගෙයක හුණුගලින් කළ බෝධි සත්ත්ව රූපයක් ද දක්නට ඇත. ඩොලමයිට් මාර්බල් පාෂාණයෙන් නිම කර ඇති මෙම බෝධි සත්ත්ව රූපයේ මකූටයේ සලකුණු අපැහැදිලි ය.

මෙම දාගැබ් පරිශ්‍රයෙන් හමු වූ තවත් හුණුගලින් නිර්මාණය කර ඇති බෝධි සත්ත්ව ශීර්ෂයක් සහ මෛත්‍රී බෝධි සත්ත්ව පිළිමයක් ලෙසට හඳුනාගත හැකි පිළිමයක් යටාල කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. මෙම පිළිම ගෙවල් අට අතරින් එක් පිළිම ගෙයක හුණුගලින් නිර්මිත බුදු පිළිම තුනක් හමුවී ඇති අතර, හුණුගලින් තැනූ දකුණතින් අභය මුද්‍රාව නිරූපිත පිළිමය දැනට යටාල කෞතුකාගාරයේ තැන් පත් කර ඇත. අනෙක් පිළිම දෙක එම පිළිම ගෙය තුළ ම දැකිය හැකි ය. මින් එක් පිළිමයක හිස දැකිය නොහැකි ය. සෑ මළුවේ එක් කෙළවරක දෙක බැගින් ඉදි කර ඇති මෙම ප්‍රතිමා ගෘහ අතරින් චතුරශ්‍ර සැලසුමකට ඉදි කර ඇති එක් ප්‍රතිමා ගෘහයක පාදම සලපතළ මළුවේ මට්ටමට වඩා පහළින් ඇති නිසා එය මුලින් ඉදි කරන්නට ඇති බවටත්, ඉතිරි ප්‍රතිමා ගෘහ පසු කාලයක දී ඉදි කරන්නට ඇති බවටත් සඳහන් ය.

 

පුර අටවක

අගෝස්තු 19 බදාදා අ.භා. 07.24න් පුර අටවක ලබා බ්‍රහස්පතින්දා අ.භා. 9.22න් ගෙවේ.
20 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 20 

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]