උත්තරීතර ජීවිතයක මිහිර
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
ජීවිතාර්ථයක් වෙනුවෙන්, කාමයෙහි ගැලෙමින් වල්මත් වී........සිහිසුන් මිනිසුන්
සෙයින් මත්වතුරෙන් සැනසිල්ල සොයන......හැඳිවත් උනා දමමින්, අන් අයට ගරහමින්, නින්දා
අපහාස කරමින්......එහි ම ගැලෙමින් අත්හැර ගනු නොහැකි ව එය ම සැනසිල්ල යැයි සිතමින්
අඳබල් ලෙසින් සිහිනුවණ හසුරුවමින් තමන්ට මෙන් ම අනුන්ට ද හිසරදයක් වෙමින් මෙලොවත්
වනසා ගෙන, පරලොවක් ගැන නොසිතන.......අනුවණකමින් සියල්ල වැටහෙන්නකු සේ සිතා සිටිනා
ලෝකයෙහි........
මේ සියල්ල අතහැර ජීවිතයෙහි යථාර්ථයක් දැකීම පිණිස ගෙපිළිවෙළින් ලද අහරින් කුස පුරවා
ගෙන, අවිහිංසාවෙහි ම යෙදෙමින්, තමා ගැනත් අන් අය ගැනත් කාරුණික නෙත්
යොමා....කසාවතින් විලි වසාගෙන, වදන ද සංවර ව පැවති, ගමන ද දුටු දුටුවන්ගේ නෙත්
සනහන, බැල්මෙන් සිත් නිවාලන, සිහි නුවණින් කුසල් සිතට නැඹුරු ව, කටුක වදනට නොසැලෙන,
සුදනන් ඇසුරට පි‍්‍රය කරන, ලොවෙහි දෙවි මිනිසුන්ට සැප සලසාලන පිවිතුරු ජීවිතයක
අසිරිය ලොවට ම මැනවින් පෙන්වා දෙන ලොව උත්තරීතර ජීවිතය වනාහි ‘පැවිද්ද’ වේ.
දිවියෙහි සාරය නොදකිමින්, ජීවිතයෙහි යථාර්ථය යැයි සිතා මිසදිටු මතවාදවල ගැලෙමින්,
කරුණාව, දයාව අවැසි ලෝකයට අවියත්, දඬු මුගුරුත් පෙරටු කොට පර පණ නසමින්, තමා ගැනත්,
තමාගේ ආරක්ෂාව ගැනත් සිතමින් අන් සතුන් වෙහෙසවමින්, තළා පෙළා දමමින්, කෲර වූ
සිතිවිලි තුළ තම ජීවිතය හසුරුවමින්, ලොවට ම ඉහළින් තමා ව ම හුවා දක්වමින්, ලොවෙහි
අනුකම්පාව ලබා ගැනීම පිණිසත්, අන් අයව පාගා දමමින්, තමා ගැන පමණක් සිතා අන් අයට
හිංසා පීඩා දෙන ලෝකයෙහි, කරුණාව ම පෙරටු කොට මෙත් සිතින් වසනා, කුරා කුහුඹියකුට හෝ
හිංසාවක් කිරීමට නොසිතන, බිහිසුණු සසරෙහි ස්වභාවය දකිමින් හැමට ම මැදහත් සිතින්,
නොකැලඹුණු ජීවිතයකට ආල වඩන, තමාගේ යහපතත්, අනුන්ගේ යහපතත් සිහිනුවණින් ම දකිමින්,
වැඳුමින් පිදුමෙන් අන් අයට සැපය සලසමින් ගුණයට ම නැඹුරුව නිරහංකාර වූ, නිහතමානී
ජීවිතයකට තම සිත හසුරුවමින්, නිවී ගිය සිතකට රුචි කරනා, දඬු මුගුරින් තොර, සැර පරුෂ
වචනයෙන් තොර ලොවෙහි යථා තතු සැමට පෙන්වා දෙන, අන් අයව ද දහමට නැඹුරු කරමින් විරාගී
දිවියක් පතනා ලොවේ උත්තරීතර ම ජීවිතය වනාහි ‘පැවිද්ද’ වේ.
වෙසඟනන්ගේ පහස සොයමින්, පර අඹුවන් සොයා ඇදෙමින්, කාමුක සිතුවිලිවලින් සිත පුරවා ගෙන
අසැබි දේ නරඹමින්, කාමුක ලෝකයෙහි ම සැනසිල්ල සොයමින්, එහි ගුණ දකිමින්, විරාගි බවට
ගරහමින්, විරාගි බව පහත් කොට සලකමින්, තම මනස - වචනය සහ කය ද වරදෙහි පිහිටුවමින්,
ලජ්ජාව, බිය බැහැර කොට, අසංවර ලීලාවෙන්, සිරුරෙහි වැසිය යුතු තැන් ලොවට පෙන්වමින්,
ගුණවත් බවට ගරහමින්, අශෝභන හැසිරීමෙන් ද තම ජීවිතය පුරවා ගෙන, වරදෙහි බැඳෙන්නට
මොහොතක් හෝ බලා සිටිමින්, කාමුක සැපයෙහි ම ගැලෙමින් සිටිනා ලෝකයෙහි, විරාගි බවට
කැමති ව, විරාගි මනසක් පතා, ඉඳුරන් සංවර ව හසුරුවමින්, කයෙහි යථා තතු දකිමින්,
පිළිකුල් වූ සිරුරෙහි ඇති තතු විනිවිද දකිනා, විදසුන් නුවණ පෙරටුව, නොකැලඹුණු සංවර
සිතක සිතිවිලි මත නිවී ගිය, කාමයෙන් සිත මුදා, ගුණයෙහි පිහිටුවා, දහම් සිතිවිලි
මෙනෙහි කරමින්, අනිත්‍ය වූ ලොවෙහි විඳීමට ඇති දුක් ගැහැට දකිමින්, මමත්වයට ගැති නො
වී, දහම් සුවය තුළ නිවී ගිය කාමුක සිතිවිලි පසෙක තබා, බඹසර සිතිවිල්ලෙහි සිත රඳවා,
දැහැන්ගත දිවියක සුවය සොයමින්, බිහිසුණු සසරෙහි බිය දකිමින්, ලද මිනිස් දිවියෙහි
අරුත සොයන පුළුල් නුවණින්, ගැඹුරු නුවණින් ජීවිතයේ තතු දකින්නට, දහම් මනසිකාරය තුළ
සිත රඳවමින් හැමට සෙත සදන ලොව උත්තරීතර ම ජීවිතය ‘පැවිද්ද’ වේ.
වතුපිටි, ඉඩකඩම්, දේපළ රැස්කරමින්, මිල මුදල් පසුපස ම හඹා යමින්, දුරාචාරයට නැඹුරු
ව, දරු මල්ලන් ද පෝෂණය කරමින්, කටුක, අමිහිරි දුක් පීඩා මැද ජීවිතය ගෙවමින්, විඳින
දුක් පීඩා නොදකිමින්, සැප යැයි සිතා දුකෙහි ම ගැලෙමින්, තෘෂ්ණාවෙන් සියල්ල ග්‍රහණය
කොට, තෘෂ්ණාවට දාස වෙමින්, සිතෙහි උපදින ක්‍රෝධ, වෛර, ඊර්ෂ්‍යා, ගුණමකුකම්,
අහංකාරකම්, උද්දච්චකම් තුළ සිර වී අන් අය ව පෙළමින්, නොමැරෙන කෙනකු සේ ජීවත්වන
මිනිසුන් පිරි ලෝකයෙහි......,
දහමට දිවි පුදා, ගිහියකුට බඳු කල්පනා බැහැර කොට, මුදලට යට නොවී, අකුසලයට ද යට නොවී,
සියලු ලෝකයෙහි ඇති අනිත්‍ය බව විදසුන් නුවණින් දකිමින්, ලොවෙහි කිසිවකුට වසඟ නොවන
සිතක් හුරුකරමින්, තෘෂ්ණාවෙන් කිසිවක් ග්‍රහණය කර නොගනිමින්, නිමල දහමෙහි පිළිසරණ
පතමින් සැම කල්හි ම මරණයට සූදානම් ව, සියල්ල අත්හරින දහම තුළ සිත හසුරුවමින්,
දහමින් ලද සැනසිල්ල තුළ දිවියේ සුවය විඳිමින්, තමාගේ යැයි සිතන්නට කිසිවක් නැති,
අල්ලා ගන්නට කිසිවක් නැති, දහම තුළ හුදෙකලා වූ ජීවිත සුන්දරත්වයක් අත්විඳින, තමා ලද
සුවය ලැබ දුන් නිමල දහම අන් අයට ද සුරැකි ව ලැබ දෙමින්, නිවී සැනහී ගිය, සියලු ලොව
අත්හළ, ලොව සුන්දර ම ජීවිතය වනාහි ‘පැවිද්ද’ වේ. |