|
අධි වෙසක් අව
අටවක පෝ දා 2026-05-09
තමන් දිනීම
ඇවිලෙන ගින්නකට දර දැමූ කල්හි ගිනි දැල් බුර බුරා නඟින්නේ ය. අවට ඇති දේ ද
ගින්නටම හසු කර ගන්නේ ය. ගින්න සංසිඳෙන්නේ දර නැති කල්හි ය. කෙලෙස් භරිත සිත ද
එවැනි ය. වෛරය, ක්‍රෝධය ආදි කිලිටි සිතිවිලිවලින් ගිනි ගත් කල සිත නොසංසිඳෙයි.
මෛත්‍රිය නමැති සිසිලසින් සංසිඳවීමට නොහැකි නම් එවැනි සිත නිවා දැමිය නොහැකි ය.
තමන්ටත් නොදැනීම තමන් ම දැවී හලුවීම එහි දුක්ඛිත අවසානය යි.
ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියයන්ගෙන් සැදුම් ලත් මේ මිනිස් කයෙහි සැබෑ
ව තේරුම් ගන්නට නොහැකි අඥාන දන, අන්ධව ගිය මනසින් සුදුසුදේත්, නුසුදුසු දේත්
ඇළෙන්නට ගැටෙන්නට යෑම නිසා එසේ දුක්ඛිත අවසානය උරුම කර ගන්නා ආකාරය අද සුලබ දසුනකි.
ඉපදෙමින්, මිය යමින් අනන්ත සසර පුරා අනේධවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් පැමිණි
ගමනේ අපි එක් නැවතුමකට පැමිණ සිටින්නෙමු. එහෙත් ඒ කුමන කාලයකට දැයි නොදනිමු.
ඇතැම්විට එය තව මොහොතක් විය හැකි ය. එසේ නොවේ නම් පැය කිහිපයක්, දිනක්, දෙකක් හෝ ඊට
වැඩිවිය හැකි ය.
එහෙත් සදාකල් මෙහි නැවතිය නොහැකි ය ඒ ඒ පුද්ගලයා ගෙන ආ ආයු කාලය අවසන් වූ තැන මේ
නැවතීමෙන් පිටව යා යුතු ම ය. එවැනි අස්ථිර නැවතුමක සිට අප අන්‍යයන් සමඟ ඇලීම්,
ගැටීම් ඇති කර ගන්නේ කුමට ද? එයින් දිනාගත හැකි වන්නේ කුමක්ද? මේ බවයේ ද පශ්චත්තාප
වී, මතු බවයේ ද දුගතිගාමී වීම ය. අභාග්‍යය එය තේරුම් ගෙන සිතිවිලි පිරිසුදු කර
ගන්නට අප අතරින් බොහෝ පිරිසක් පොහොසත් නොවීම ය.
ජීවිතයට අපූර්ව පාඩම් කියා දෙන, අප යහමඟට ගෙන යන බෞද්ධ අපේ හස්තසාර ග්‍රන්ථය ලෙස
පිදුම් ලබන ධම්මපදයේ මෙසේ ඉගැන්වේ.
අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ තං උපනය්හන්ති
වෙරං තෙසං නසම්මති’
අප බොහෝ අවස්ථාවන් හි අනුන් හා ක්‍රෝධ කරන්නේ ඔවුන් කළ කී දේ ගැන නිරන්තරයෙන්
සිහිපත් කිරීම නිසා ය. එහෙත් ‘අසවලා මට බැන්නේ ය. මට ගැසුවේ ය. බොරු කීමෙන්, වාද
කිරීමෙන්, එකට එක කිරීමෙන් මා පැරදවූයේ ය. මා සතු දෙය පැහැර ගත්තේ ය. යනාදී ලෙස
නැවත නැවත සිතමින් ක්‍රෝධ බඳින අයගේ වෛරය නොසන්සිඳෙන බව මේ ගාථා ධර්මය තුළ අපට පහදා
දෙයි.
ජීවිතයේ සැබෑව තේරුම් ගෙන මේ ධර්ම කරුණුූ ජීවිතයට ප්‍රායෝගික කර ගත හැකි නම් තමන්ට
තමන් ම දිනිය හැකිය. එකල්හි අනුන් දිනා ගැනීම ගැන කවර කතා වේ ද?
අනුන්ගෙන් අවැඩ සිදුවීම කිසිවකුට වැළැක්විය නොහැකි ය. ඒ, මිනිසුන්ගේ නුවණ, අකල්ප,
හැදියාව විෂම නිසා ය. එහෙත් එවැනි ඇවැඩ ගැන නැවත නැවත සිතමින් ක්‍රෝධය, වෛරය නොකර
සිටීමට හැකි ය. ඒ අපූර්ව හැකියාව ඇත්තේ ඒ නුවණැති පුද්ගලයාටය.
දුර්ගන්ධවත් කුණු මාංශයක් තණ පතකින් හෝ වෙනත් යමකින් ඔතා කැබූ කල එහි දුර්ගන්ධය
වර්ධනය වන්නා සේ කෙනෙක් තමන්ට කළ නපුර ගැන නැවත නැවත සිතමින් වෛරී සිතිවිලි වර්ධනය
කර ගත් විට තමන්ගේ සිත ද දුර්ගන්ධවත් වන බව, දැවෙන බව ඔහු දනී. ඒ නිසා වෛරී
සිතිවිලි මෛත්‍රිය නම් දිය දහරින් සුවපත් කොට මේ ජීවිතය ද පරලොව ද සුවපත් කර ගනී.
බෞද්ධයා යා යුතු එතැනට ය. |