ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ අධි වෙසක් පුර පසළොස්වක පෝ දා 2026 මැයි 01 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී පවතින රාජමහා විහාරවලට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇත්තේ රාජමහා විහාර අතළොස්සකි. ඒ අතරින් කොළඹ, කඩුවෙල කොරතොට රාජමහා විහාරයට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. ඉපැරණි සෙල්ලිපි සහිත කටාරම් කෙටූ මහා ගල් ලෙන් කිහිපයක් ම පිහිටි කොරතොට රාජමහා විහාරයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 2ත් 3ත් සියවස් දක්වා දිව යයි. මෙහි පවතින ලෙන් ලිපි ක්‍රිස්තු පූර්ව 2 හෝ 3 සියවස්වලට අයත් බවට කාල නිර්ණය කර ඇත්තේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතා ය. මෙම ලෙන් ලිපි කරවූ රජවරුන් පිළිබඳ මතවාද කිහිපයක් පවතී. විහාර කන්ද ලිපිය නමින් හැඳීන්වෙන එක් සෙල්ලිපියක මහ රජුගේ දියණිය වූ මහබ් විසින් පිදූ ලෙනක් ලෙස සටහන් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ මහ රජතුමන්ගේ දියණියක වූ මහබ් විසින් මෙම ලෙන සතරදිගින් පැමිණි නොපැමිණි මහා සංඝයාට පූජා කර ඇත යනුවෙනි. මෙහි පවතින මනාපදස්සන ලෙන් ලිපියෙහි දශනෙ නම් පරුමක සුමන ප්‍රධානියාගේ පුත් වූ පරුමක සුමනගේ ලෙන සතර දිගින් පැමිණි නොපැමිණි මහා සංඝයාට පුදන ලද බව සටහන් කර ඇත. තවත් විද්වතුන් පිරිසකගේ මතයක් වන්නේ මෙහි සඳහන් සුමන යනු වේළුසුමන යෝධයා බවයි. අතීතයේ කැලණිය පාලනය කළ කැලණිතිස්ස රජුගේ දියණිය වූ විහාරමහාදේවිය, වේළුසුමන යෝධයා සමඟ කොරතොට විහාර කන්දේ ලෙන් පූජාවකට සහභාගී වූ බව ජනප්‍රවාද කතාවක දැක්වෙයි. ඒ අනුව එම ලෙන් ලිපිය කැලණිතිස්ස රාජ්‍ය සමයට අයත් බවට ද මතයක් පවතී. කෙසේ නමුත් මෙම ලිපි සියල්ල බ්‍රාහ්මී අක්ෂරවලින් ලියා තිබේ. අතීත අනුරාධපුර යුගයේ දී වළගම්බා රජු සහ මහාතිස්ස රාජ්‍ය සමයන්හි මෙම විහාරය ආශ්‍රිත ප්‍රදේශයට රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබී ඇත. විහාර කන්ද සෙල්ලිපියේ දැක්වෙන රජු වළගම්බා රජු බවත්, එහි මහබ් යනු රජුගේ වැඩිමහල් දියණිය බවත් මතයක් පවතී. තවත් ජනප්‍රවාද කතාවකට අනුව මෙහි දැක්වෙන රජු මීට වසර දෙදහස් දෙසීයකට පමණ පෙර මෙම ප්‍රදේශය පාලනය කළ ප්‍රාදේශීය රජ කෙනෙක් බවට ද විශ්වාස කෙරේ. මෙය කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පැරණිතම මෙන්ම දීර්ඝතම ලෙන් ලිපිය ලෙස ද තහවුරු කර ඇත.
අප්‍රේල් 30 බ්‍රහපතින්දා අ.භා. 09.16න් පුර පසළොස්වක ලබා 01 සිකුරාදා අ.භා. 10.56න්. ගෙවේ. 01 සිකුරාදා සිල්
පසළොස්වක
මැයි 01
අව අටවක
මැයි 09
අමාවක
මැයි 16
පුර අටවක
මැයි 23
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]