[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පින්කම් නවයක් සපිරෙන ආදරණීයයන්ගේ පින්කම

පින්කම් නවයක් සපිරෙන ආදරණීයයන්ගේ පින්කම

මියගිය ඥාතීන් උදෙසා සත් දවසෙන්, තුන් මාසෙන්, අවුරුද්දෙන් වැනි සංකේතාත්මක දිනවලදීි දානාදී පින්කම් කිරීම සිදු කෙරේ.

දස පින් කිරියවත්වල සඳහන් පින්කම් නවයක් ම සපුරා ගැනීමට මෙහිදී උත්සාහ දරන බව පෙනේ.

දානය :– මෙහිදී මහා සංඝරත්නයට හෝ වෙනත් සිල්වතුන්ට හෝ දුගී මගී යාචකාදීන්ට හෝ ආහාරපාන, වස්ත්‍ර, බෙහෙත් ආදිය පරිත්‍යාග කරනු දක්නට ලැබේ. සමහරු ඇඳ, පුටු ආදී ආසන, පැදුරු, කොට්ට, කොසු ඉඳල්, පාවහන්, කුඩ, වටාපත් ආදිය ද පූජා කරන්නේ දාන අංග සම්පූර්ණ වීමට ය.

සීලය :– දන්දීමට පෙර තිසරණ සහිත පංච සීලයෙහි පිහිටා සිල්වතුන් පිරිසක් බවට දායකයෝ පත් වෙති. දන් පිරිනමන්නේ ද අෂ්ටාර්ය පුද්ගල සංඝ රත්නය වැනි සිල්වත් පිරිසකට ය.

පත්තිදාන :– පරලොව ගිය නෑයන් සිහිකර පින්දීමයි. තමා සිදු කළ පින් සිහිපත් කොට, ඒවා වචනයෙන් ප්‍රකාශ කොට දෙවියන්ට හා මියගිය

ඥාතීන්ට අයිති කර දිය යුතු ය. ඥාතීන් වැඩි පිරිසක් සිහිපත් කරන විට ඒ පින බෙදී ගොස් තම ඥාතියාට පින් අඩුවෙන් ලැබෙතැයි සමහරු සිතා සිටිති. එය වැරැදි අදහසකි.

පත්තානුමෝදනා :– පින්කම කරන තැනැත්තා දෙවියන්ට, මියගිය ඥාතීන්ට, උදවු උපකාර කළ අයට, පැමිණ දැක සතුටු වූ අයට පින්කම ගැන අසා “අනේ හොඳයි” යනාදි වශයෙන් කියමින් සතුටු වූ අයට පින් දෙන විට තම තමා සිදු කර ගත් පිනක් සේ කිසිදු අඩුවක් නැති ව පින් රැස් කර ගත හැකි ය. අනුමෝදනා යන්නෙහි තේරුම, අනෙකකු කරන පිනක් දැක හෝ අසා හෝ සතුටු වීමයි.

මියගිය ඥාතීන් ද මේ පින්කම දැක, තම තමන් කර ගත් පිනක් සේ සිතා සතුටු වෙති. එවිට ඔවුන්ට පින් ලැබේ. සැරියුත් මාහිමියන් ආත්මභාව පහකට පෙර තමාට මවු වී සිටි ඥාති පේ‍්‍රතියකට පින් දුන් අයුරු පේතවත්ථුවේ සඳහන් වේ. සැරියුත් හිමියන්ට පින් සිදු නොවුණත් ඥාති පේ‍්‍රතිය පින් සිදු කරගෙන සැපවත් වූවා ය. මෙහිදී බොහෝ දෙනා නොදැන කරන වරදක් ඇත. “ඒ ඥාතීන් මේ පින් අනුමෝදන් ව ඒ අභව්‍ය ස්ථානයෙන් මිදී සුගතියක උපදීවා!” යනුවෙන් කියති.

මෙය පේ‍්‍රතයාට පින්දීමක් නොව මැරෙන්නට ආරාධනා කිරීමකි. පේ‍්‍රතයෝ කොපමණ දුක්ඛිත වුව ද ඒ අත්බවින් මියයෑමට කැමැති නොවෙති. තිරිසනකු මරන්නට හදන විට ඌ ඊට කැමැති වෙනවාද? නැත. පේ‍්‍රතයන් ද එබඳු ය. ඔවුහු තම ජීවිතයට ආසා කරති.

“ඒ පේ‍්‍රතයෝ මේ පින් ගෙන ජීවිතය සැපවත් කර ගනිත්වා!” යි කීම නිවැරැදි ක්‍රමයයි. එවිට ඒ පින් අනුමෝදන් වන පේ‍්‍රතයෝ එකෙණෙහි ම එහි විපාක වශයෙන් ආහාරපාන, වස්ත්‍ර, නිවාස ආදිය ලබති.

වෙය්‍යාවච්ච:– ප්‍රතිග්‍රාහක පක්ෂයට අසුන් පැනවීම්, පා දෙවීම්, දන් පිළිගැන්වීම් ආදි ගරු බුහුමන් දැක්වීමයි.

අපචායන :– සීලාදි ගුණයෙන් උසස් ප්‍රතිග්‍රාහකයන්ට වැඳුම් පිදුම් කිරීමයි.

දේසනා:– දානයට පෙර දින රාත්‍රියෙහි නිවෙසේ ධර්ම දේශනා පින්කමක් සිදු කරවීමයි.

සුති :– බණ අසා සිටීම සහ බොහෝ දෙනාට බණ අසන්නට සැලැස්වීමයි.

දිට්ඨිජු :– කර්මය හා කර්මඵල විශ්වාස කිරීමේ නුවණ ඇති කර ගැනීමයි.

මේ පින්කම් නවයම මියගිය ඥාතීන්ට පින්දීමේ පින්කම්වල දී බොහෝ විට සිදුවේ. අටුවාවන්හි දස පුණ්‍ය ක්‍රියා ගැන සඳහන් වෙතත් සූත්‍රවල දැක්වෙන්නේ දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ය. ඉහත කී දස පින් ක්‍රියාවත් මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල ම ඇතුළත් වන බව අටුවාචාරී බුද්ධදත්ත හිමියෝ ප්‍රකාශ කරති.

ලෝකන්තරික යනුවෙන් පේ‍්‍රත කොට්ඨාස සතරක් ඇත. මෙම සූත්‍රයේ දැක්වෙන්නේ පරදත්තූපජීවි පේ‍්‍රතයන් ගැන ය. පරදත්ත - අනුන් දුන් දෙයින්, උපජීවි සහ ජීවින් වන නිසා ඔවුන්ට ඒ නම ලැබී ඇත.

මිය පරලොව ගිය අය පරදත්තූප ජීවි පේ‍්‍රත තලයෙහි උපන් විට ඔවුහු තමා මිය යෑමට පෙර සිටි ගෙවල්වලට පැමිණ බිත්ති මුළු, දොරටු, කණුූ ආදිය ඇති තැන්වල සහ ගෙදරට හැරෙන තුම්මං දෙමං සන්ධි ආදි තැන්වල තම ඥාතීන් තමා සිහිපත් කොට පින් දෙන තුරු බලා සිටිති. තම නෑයන්ට තමා සිහිපත් නොවීම නිසා මේ පේ‍්‍රතයෝ එම තැන්වල බොහෝ කල් සිටිති. මෙසේ වන්නේ ඔවුන් ජීවත්ව සිටින කාලයේ දී දන් නොදීම, අනුන්ගේ සැපත දැක ඊර්ෂ්‍යා කිරීම, අනුන්ට ලැබෙන්න තියෙන දේ වැළැක්වීම යන අකුසල කර්මවල විපාක වශයෙනි.

එම පේ‍්‍රතයන්ගේ ස්වභාවය අටුවාවෙහි දක්වා ඇත්තේ මෙසේ ය. අවුල් වී ගිය කෙස් සහ රැවුල් ඇත. මුහුණ අඳුරු පැහැයෙන් යුක්ත ය. සම එල්ලා වැටෙන ස්වභාවයෙන් පවතී. මුඛය ඉදිකටු සිදුරක් තරම් කුඩා වුවත් උදරය විශාල ය. අධික කුසගිනි ඇතත් ආහාර ගැනීම අපහසු ය. තුවාල සැරව, කුණු ලේ, මළ මූත්‍රා ඔවුන්ට දිව බොජුන් වැනි ය.

දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය, තිරිසන් ආදි අනේක සත්ත්වයන්ට ඔවුන්ට ම ආවේණික ආහාර ඇත. පරදත්තූපජීවි පේ‍්‍රතයන්ට යැපීමට එවැනි ආවේණික ආහාර නැත. එබැවින් මෙලොව සිටින ඥාතීන් ඔවුන්ට පින් දිය යුතු ය.

“ඉතෝ දින්නේන යාපෙන්තී - පේතා කාලකතා තහිං’

ඔවුන් යැපෙන්නේ මෙලොවින් පින් දුන්නොත් පමණි.

“අදාසි මේ අකාසි මේ - ඥාති මිත්තා සඛා ච මේ

පේතානං දක්ඛිණං දජ්ජා - පුබ්බේකතමනුස්සරං”

ඒ ඥාතියා ජීවත්ව සිටියදී මට මේ මේ දේ දුන්නා. මේ මේ යුතුකම් කළා. මොහු මගේ නෑයෙක්, මිත්‍රයෙක් ආදි වශයෙන් තමන් හා පැවැත්වු සම්බන්ධතාව සිහිපත් කරගෙන කළගුණ දන්නා අය දානාදී පින්කම් කොට මළගිය නෑයන්ට පින් අනුමෝදන් කරති. එසේ නැතිව මියගිය ඥාතියා සිහිකර හැඬීමෙන්, වැලපීමෙන් ඒ මියගිය තැනැත්තාට කිසිදු යහපතක් සිදු නොවේ.

දායකයන් අරමුණූු කරගත් නෑයන්ට පමණක් නොව දීර්ඝ සංසාරයේ සිටි වෙනත් නෑයෝ ද පරදත්තූපජීවි පේ‍්‍රත කොට්ඨාසයෙහි ඉපිද සිටිත් නම් ඔවුන්ට ද මේ පින් අනුමෝදන් වන බව බුදුරජාණන් වහන්සේ ජාණුස්සෝනි බමුණා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දේශනා කළහ. (අංගුත්තර නිකාය, දසත නිපාතය, ජාණුස්සෝනි සූත්‍රය)

පින් දෙන තැනැත්තා කරුණු තුනකින් යුක්ත විය යුතු ය.

කර්මය හා විපාකය විශ්වාස කිරීම නමැති කම්මස්සකතා සම්මා දිට්ඨියෙන් යුක්ත වීම,

දක්ෂිණාර්හයන් කෙරෙහි ගෞරව බහුමානය ඇතිකර ගැනීම සහ නොවිසුරුණු සිතින් පින්කම සිදු කිරීම ය.

මේ දෙන පින් අනුමෝදන් වීමට ඥාති පේ‍්‍රතයාට කරුණු තුනක් සම්පූර්ණ වී තිබිය යුතු ය.

මෙලොව සිටින නෑයන් හෙවත් පෙර තම ආදරණීයන් තුළ පින් දීමේ කැමැත්ත තිබීම සහ ඔවුන් ඒ පින්දීම වචනයෙන් ප්‍රකාශ කිරීම,

පින්කම සඳහා අවශ්‍ය දානෝපකරණ සම්පූර්ණ වී තිබීම හෙවත් වස්තු සම්පත්තිය හා එම පින දැක බලාගෙන තමා විසින් ම කර ගත් පිනක් ලෙස සතුටුවීමේ හැකියාව තිබීම ය.

පරලොව ගිය ඥාතීන්ට පින් දීමේදි සමහරු

“ඉදං වෝ ඥාතීනං හෝතු - සුඛිතා හොන්තු ඥාතයෝ”

මේ පින ඔබේ නෑයන්ට වේවා! ඒ නෑයෝ සුවපත් වෙත්වා!

යනුවෙන් කියති. මෙය නිවැරැදි නොවේ. තමා කළ පින තමාගේ නෑයන්ට අත්වේවා! කියනවා මිස ඔබේ නෑයන්ට අත්වේවා යැයි කීම නුසුදුසු ය. එබැවින් කිව යුත්තේ

“ඉදං මේ ඥතීනං හෝතු - සුඛිතා හොන්තු ඥාතයෝ”

මේ පින මගේ නෑයන්ට වේවා! ඒ නෑයෝ සුවපත් වෙත්වා යනුවෙනි.

මෙසේ ශබ්දනඟා නෑයන් සිහි කරමින් පින් දිය යුතු ය. නෑයන්ට පින් දීමට ය කියා පැන් වැඩීමෙන් පමණක් නෑයන්ට පින් නොලැබේ. මෙසේ නිසි ක්‍රමයට පින් දුන් විට ඒ පින් ලබා සැපවත් වූ ඒ නෑයෝ මෙලොව සිටින නෑයෝ බොහෝ කල් ජීවත්වෙත්වා! යි ආශීර්වාද කරන බව තිරෝකුඩ්ඩ සූත්‍රයේ සඳහන් වේ. (චිරං ජීවන්තු හෝ ඥාතී - යේසං හේතු ලභාමසේ)

පව් නොකර පින් කළ අය වුව ද මරණාසන්න අවස්ථාවෙහි තමන්ගේ දරුවන් ගැන හෝ සුරතලුන්, දේපළ හෝ ආසාව ඇති කර ගතහොත් පරදත්තූපජීවි පේ‍්‍රත කොට්ඨාසයෙහි උපත ලද හැකි ය. එබැවින් අවසාන මොහොතේ පින්කම් සිහිවීමට තමා කළ පින්කම් නැවත නැවත සිහි කරමින් සිතට පුරුදු කරගත යුතු ය.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ.
01 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]