නුවණ පිරිසිදු කරන අවස්ථා අටක්
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
බුත්තල
ඤාණාධාර හිමි
බුදුරදුන් පෙන්වා වදාළ නිර්වාණගාමී මාර්ගය හෙවත් ශික්‍ෂණ මාර්ගය ත්‍රිවිධය යි.
සත්වයාගේ බාහිර කාය - වාග් සංවරයෙන් චිත්ත සන්තානයේ සංසිඳීම ඇති කර ගනී. එහි කෙළවර
නුවණැස පහදා ගනිමින් ලෝක යථාර්ථය ප්‍රත්‍යක්‍ෂව අවබෝධ කරගැනීමෙන් ඇති වන ප්‍රඥාවේ
පාරිශුද්ධ භාවය යි.
ප්‍රඥාවේ ස්වභාවය හා එහි සංවර්ධනය පිළිබඳ ව සම්බුදුරදුන් වදාළ දේශනා අපමණ ය.
මෙම විග්‍රහයේ දී පෙන්වා දෙන්නේ මිළින්ද ප්‍රශ්නයෙහි සඳහන් වන නුවණ පිරිසිදු බවට
පත් කර ගැනීම හෙවත් විශද කර ගැනීමට උපකාරි වන කරුණු අටක් පිළිබඳ ව යි.
වයෙන යස පුච්ඡාහි -
තිත්ථ වාසෙන යොනිසො
සාකච්ඡා සෙනෙහ සංවාසෙන -
පතිරූපවාසෙනව
මෙම ගාථාවේ සඳහන් වන්නේ පෙර සඳහන් කළ කරුණු අට යි. ඒවා නම් වයස, යසස, ප්‍රශ්න
කිරීම, තීර්ථ වාසය, යෝනිසෝ මනසිකාරය, සාකච්ඡා කිරීම, ස්නෙහ සංවාසය, පතිරූප දේස වාසය
යනුවෙනි.
වයස
පුද්ගල ජීවිතයේ ප්‍රඥා දශකය ලෙස සඳහන් කෙරෙන එසේම කාගේ වුවත් නුවණ විශද වන කාලය
වන්නේ උපතින් සතළිස් විය තර වන විටයි. බාල තරුණ කාල ඉගෙනීමට හොඳ වුවත් සතළිස ඉක්ම
වූවකුට උගත් දේ පිරිසිදුව වැටහෙන්නේ ය. ගැඹුරු කරුණක් ගැන ද සිතා මතා තීරණ ගැනීමට
හැකි වන්නේ සතළිස් විය ඉකුත් කල්හි ය. බාල තරුණ කාලවල දී වහ වහා පාඩම් කර ගත හැකි
ය. එහෙත් එහි තීරණාත්මක දැනුමක් ලැබෙන්නේ නුවණ මුහුකුරා ගිය පසුව ය. එබැවින් නිසි
වයසට පත්වීම නුවණ පිරිසිදු වීමට හේතු වන බව සඳහන් කොට තිබේ.
යසස
යසස යනු කීර්තිය යි. එහෙත් මෙහිදී කීර්ති මාත්‍රය පමණක් ම යසස ලෙස ගණන් ගනු නො
ලැබේ.
“ඉස්සරිය භෝග සම්මාන සංඛාතොව යසො” යි කීයෙන් අධිපති භාවය ය, උපභෝග පරිභෝග වස්තුව ය,
ගරු බුහුමන් ය, කීර්තිය ය යන සතර ම ගැනේ.
නිදහස් ව සිතන්නට අවකාශයක් නැති ව, අනුන් යටතේ මෙහෙකරමින් නොයෙක් දෙනාගේ රැවුම්
පිප්පුම්වලින් මිරිකෙන්නකුගේ නුවණ දියුණු නොවේ.
එදිනෙදා කටයුතුවත් කර ගත නොහැකි අසරණ දුප්පතකුට නුවණ දියුණු කර ගැනීමට කෙසේ නම්
අවකාශයක් ලැබේ ද? එබැවින් ධනයක් ඊට අවශ්‍ය යි.
නිතර නින්දා අපවාද ලබමින් වසන්නකුට ඒ නින්දා අපහාස ගැන තැවෙමින් සිතමින් කල්ගත
කරන්නට සිදු වේ. නින්දා අපවාදයෙන් මිදී කීර්ති ප්‍රශංසා ලබන තැනැත්තාට සිතේ
කණස්සල්ලක් නැතිව ලෞකික නුවණ දියුණුවට පත් කර ගත හැකි ය.
ප්‍රශ්න කිරීම
කාගෙන් හෝ නොදන්නා දෙයක් දැන ගැනීමට හෝ දන්නා දේ පිළිබඳ මනා අවබෝධයක් ඇති කර ගැනීමට
හෝ ප්‍රශ්න කිරීම අවශ්‍ය ය. “මේ අසවල්ලු ය, එහෙයින් මොවුන්ගෙන් අසා දැනගැනුම අපට
තරම් නොවේ ය” යැයි පුහු හැඟීම් උපදවාගෙන ප්‍රශ්න නො කරන්නෝ මානාධික හිස් පුද්ගලයෝ
ය. ඔවුන්ට නුවණ ලබාගැනීම උගහට ය. “සුස්සූසා ලභතේ පඤ්ඤා” යන දේශනා පාඨයෙන් පෙන්වා
දෙන පරිදි සිසුන් ගුරු වදනට කන්දිය යුතු අතර, ප්‍රශ්න නඟමින් විමසීමෙන් නුවණ මෝරන
බව පැහැදිලි ය.
තීර්ථ වාසය
නොයෙක් තරාතිරමේ උගතුන් ගොඩබස්නා තොටුපළවල වාසය කිරීම නුවණ දියුණුවට උදව් වේ. එබඳු
තීර්ථවාසයෙක්හි විසීමෙන් ඔවුන් හා සාකච්ඡා කිරීමට ලැබෙනවා පමණක් නොව, ඔවුන් විසින්
පවත්වන සාරවත් දෙසුම්වලට කන් දෙන්නටත් ප්‍රස්තාව ලැබේ. “එකො වා සපත්තනෙ වා වනෙ වා”
යි භර්තුහරි පඬිවරයා විසින් පවසා තිබෙන්නේ මිනිසකු විසිය යුත්තේ නගරය හෝ වනය යන
දෙතැනින් එක තැනක බව යි. වනයෙහි වසන්නන්ට අභ්‍යන්තර ව්‍යපසමයත් සමඟ නුවණ වඩාගත හැකි
ය. නගර වැසියාට උගත්කම ලබා ගැනීමට අවට පරිසරය උපකාරී වේ.
යෝනිසෝමනසිකාරය
යෝනිසෝමනසිකාරය නම් යමක ඇති තතු නුවණින් සලකා බැලීම යි. උපාය මනසිකාරය යනු ද මීටම
නම්, අනිත්‍ය දෙයෙහි අනිත්‍ය වශයෙන් සිහිකිරීම ය, දුකෙහි දුක වශයෙන් සිහිකිරීම ය,
අනාත්මයෙහි අනාත්ම වශයෙන් සිහිකිරීම ය ආදී වශයෙන් පවත්නා නිවැරදි සිහිකිරීමයි.
යෝනිසෝමනසිකාරය පුරුදු කරන්නකුට “මනසිකාර සමපත්තසේසතං භික්ඛවේ භික්ඛුනො පාටිකංඛං
අරියං අට්ඨංගිකං මග්ගන්ති ” යි තථාගතයන් වහන්සේ ඒ බව වදාළ සේක. මෙසේ
යෝනිසෝමනසිකාරයෙන් යුතු අරි අටඟි මඟ වඩන්නකු නිවන් දෙසට යොමුවනවා මිස සසරට බය නොවනු
ඒකාන්ත ය.
අයෝනිසෝමනසිකාරය නම් වූ නුනුවණින් සිහිකිරීම් එකාන්තයෙන් ම සංසාර ප්‍රවෘත්තියට
හේතුවන බව “අයෝනිසො මනසිකාර මූලං වට්ටං” යනුවෙන් ප්‍රකාශ වන්නේ ය. ඇස්, කන් නාසාදි
ඉඳුරන්ට මුහුවන රූපාදී අරමුණු විෂයයෙහි වග විභාගයක් නොමැතිව එළවා යෑම මහා අනර්ථ කර
හෙයින් ඒ හැම විට ම යෝනිසෝමනසිකාරය තිබිය යුතු ය.
සාකච්ඡාව
නොයෙක් කරුණු ගැන හුරුබුහුටිකම් ඇති උගතුන් සමඟ සාකච්ඡා කිරීම ද නුවණ දියුණුවට අදාළ
වන්නකි. වැදගත් කරුණු ගැන පවත්නා සාකච්ඡා අසා සිටීම ද මෙයට ම අයත් ය.
ස්නේහය
අවංක හිතින් සෙනෙහෙ කරන්නවුන්ගේ ඇසුර ද එකකි. අහිතයන් මැද වසන්නාට නිතර ම සැකෙන්
බියෙන් කල් ගත කරන්නට සිදුවේ. එවැන්නකුට නැණ දියුණුවට ඉඩ නො ලැබේ.
හිතවතුන් මැද වසන්නන්ට එබඳු සැක විමති කිසිවක් නැති හෙයින් සිය නුවණ දියුණුවට සෑම
උපකාරයක් ම සැලසෙන්නේ ය. නිදහසේ නුවණ දියුණු කර ගැනීමට පිළිවන් ය.
පතිරූපදේශ වාසය නම්
සුදුසු පළාතක විසීම යි. සුදුසු පළාත් නම් ඍතු භෝජන-පුද්ගලාදී සප්පයයෙන් යුතු පළාත
යි.
මේවා නැතිව නුවණ තබා ජීවිතය වත් නො වැඩේ. මෙසේ නුවණ දියුණුවට නොයෙක් කරුණු හේතු වන
බව පෙනේ. පිරිසිදු නුවණක් ඇති කර ගැනීමට හේතුවන කරුණු තව බොහෝ වේ. පූර්වෝක්ත කරුණු
හත පිළිබඳ ව අවබෝධයෙන් සිය නුවණ දියුණු කර ගැනීමටත්, එය පිරිසිදු යහපත් දිවියක්
සඳහා උපයෝගි කර ගැනීමටත් දෙලොව සුවයෙන් ම සැනසී නිවන් සුව අවබෝධයටත් උපකාර වේවා. |