[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පුරපෑලවිය සඳ - 29 කොටස

පුරපෑලවිය සඳ - 29 කොටස

සාමණේරයන් වහන්සේ නමකගේ ජීවිතය අලලා ලියැවුණු නවකතාව

කය සහ වචනය සංවර කර ගත් පමණින් ම පැවිද්දකුගේ සීලය සම්පූර්ණ නොවේ. 

සීලය සම්පූර්ණ වීමට නම් ඒ සඳහා ‘වත්’ සම්පූර්ණ විය යුතු ය. වත යනු වතාවත් කිරීම ය.

විහාරස්ථානයකට අයත් බුදු මැඳුර, දන්ගෙය, මුළුතැන්ගෙය, ආවාසය, වැසිකිළිය ආදී ස්ථාන පවිත්‍රව, පිරිසිදුව තබා ගැනීමත්, පැවිදි ගුරුවරුන්ට වැඩිහිටියන්ට උපස්ථාන  කිරීමත් ඊට ඇතුළත් වේ.

කෙතරම් සීලය ආරක්ෂා කළ ද ඉහත වත් පිළිවෙත් ඉටු නො කරන්නා වූ පැවිද්දා සීලයෙන් සම්පූර්ණ යැයි නො සැලකේ.

 එබැවින් උදෑසනම අවදි වී ‘වත්’ සම්පූර්ණ කිරීමට දමිත සාමණේරයන්ට නිරතුරුව ම නන්ද හිමියන්ගෙන් උපදෙස් ලැබී තිබේ. උපදෙස්වලටත් වඩා නන්ද හිමියන්ගේ චරිතයේ කැපී පෙනෙන්නේ උසස් වූ ආදර්ශය යි. එබැවින් නන්ද හිමියන් අනුගමනය කිරීමට දමිත සාමණේරයන් බෙහෙවින් ම කැමති ය.

ඉගෙනීම පිණිස පිරිවෙනට වඩිනාමුත් සාමණේරයන්ට එහි රැඳී සිටීමට සිතක් නොමැත. නමුත් දුර වැඩිකම නිසා දින පහක් එහි නැවතී සිටීමට සාමණේරයන්ට සිදුවේ. සිකුරාදා වනතුරු සාමණේරයන් බලා සිටින්නේ ඇඟිලි ගනිමිනි. පිරිවෙන අවසන් වී සිකුරාදා විහාරස්ථානයට පැමිණෙන සාමණේරයන් වහන්සේ නැවත සඳුදා පාන්දරින් ම පිරිවෙනට පිටත් වී යති.

පිරිවෙනේ ද  පිරිසිදු කිරීමේ වැඩ වැඩි කොටසක් පැවරී තිබෙන්නේ සාමණේරයන්ට ම ය. සමහර විට වත් පිළිවෙත් පැහැර හරින වැඩිහිටි සිසුන්ගේ වත් කොටස ද සාමණේරයන්ට ම කරන්නට සිදුවේ.

පන්සලේ දී මෙන් නොව පිරිවෙනේ දී වැඩ කළ යුත්තේ නියමිත කාල සටහනකට ය.

හීල් දානය සහ දහවල් දානය වැළ¼දීමට ද කාලසීමාවක් යොදා තිබේ. පිරිවෙනේ නේවාසික සිසුන් එම වේලාවට පෙර වැළ¼දීම සිදු කළ යුතු ය. එසේ නොවන විටක දානය වැළ¼දීමට අවස්ථාවක් නො ලැබෙන්නේ ඒවායෙහි වත් භාර පැවිද්දන් විසින් ආහාර ඉවත් කර දමන නිසාවෙනි.

මේ හේතුවෙන් සාමණේරයන්ට රිසි සේ දන් වැළ¼දීමට ඉඩකඩක් ලැබෙන්නේ කලාතුරකිනි. එසේ වන්නේ ‘වත්’ අවසන් කිරීමට අන්‍යයන්ට වඩා වැඩි කාලයක් සාමණේරයන්ට ගතවන බැවිනි. 

දානය වළඳන්නට ද සාමණේරයන්ට ලැබී තිබෙන්නේ දාන ශාලාවේ කෙළවරම අසුන ය. ඒ තමා අලුතෙන් ම පිරිවෙනට පැමිණි නවක ශිෂ්‍යයකු නිසා වන්නට ඇතැයි සාමණේරයන් සිතයි.

කෙළවර අසුනය කියා හෝ ඉදිරියේ අසුනය කියා හෝ දානය වළඳා කුසගිනි නිවා ගැනීමට නම් බාධාවක් ඇත්තේ නැත. එබැවින් අසුනෙහි ස්ථානය පිළිබඳ ව සිතීමේ අවශ්‍යතාවක්  සාමණේරයන්ට නැත.

සාමණේරයන්ට ඒවාට වඩා දැන් කල්පනා කරන්නට කාරණා තිබේ. ඒ අතර වැදගත් ම කරුණක් වන්නේ තමාගේ මතක ශක්තිය සහ ඉගෙනීමේ හැකියාව දියුණු කර ගැනීම සම්බන්ධව ය.

උදෑසන වත් අවසන් කොට දානය වළඳා නන්ද තෙරුන් වහන්සේ හමුවීමට ගොස් මේ පිළිබඳව උපදෙස් පැතිය යුතු යැයි සාමණේරයන්ගේ අදහසයි.

උදෑසන දානය ගැනීමට දාන ශාලාවට පිවිසෙද්දී ම සාමණේරයන්ට මුණ ගැසුණේ සුදු බබාවයි. සුදු බබා යන්නට ගියේ සාමණේරයන්ට ගස්සාගෙන ය.

දානය වැළඳූ ධම්මාලංකාර හිමියෝ ශාලාවට පිවිසෙන සාමණේරයන් දුටුවේ ය.

“ ආ මේ පාත්තරෙත් සෝදලා, තමනුත් දානෙ ටිකක් වළඳනවා...

බලනවා දාන ශාලාවෙ හැටි. නිකං කකා බිබී ඉන්නෙ නැතුව ටිකක් අස්පස් කරලා දානවාකො “

දමිත සාමණේරයන් පැවසුයේ ‘එහෙමයි’ යනුවෙන් පමණි.

ඊයේ රාත්‍රියේ ඉඳුල් භාජන ආදී සියල්ල සෝදා මුළු දාන ශාලාව ම පවිත්‍ර කරන ලද්දේ ද සාමණේරයන් විසිනි. මේ උදේ වරුවට පමණක් දාන ශාලාව දෙකක් වන්නට අපවිත්‍ර වී තිබේ.

මේසය මත ඉඳුල් විසිරී තිබේ. එසේම ඒ මත කා අවසන් වූ කිරි හට්ටියකි. නොසෝදා දමාගොස් ඇති පිඟාන සුදු බබා කෑ පිඟාන වන්නට ඇත. 

ධම්මාලංකාර හිමියන්ගේ පාත්‍රය සෝදා තැන්පත් කළ සාමණේරයන් දානය වැළඳීමට සූදානම් විය.

පාත්‍රයට බත් බෙදාගෙන ව්‍යංජන වසා තිබූ කූඩය ඉවත් කළ සාමණේරයන්ගේ මුහුණ මැලවී ගියේ ය.

මතු සම්බන්ධයි

බක් පුර පසළොස්වක

අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ.
01 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]