[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සසුනඹරේ සුපුන් සඳ බෝදාගම චන්දිම නාහිමිපාණෝ

සසුනඹරේ සුපුන් සඳ බෝදාගම චන්දිම නාහිමිපාණෝ

සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කරන තායිවානයේ ප්‍රධාන සංඝනායක, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති, ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණෝ පසුගියදා සිය ජීවන ගමනේ හැට අට වැනි ජන්ම දිනය සමරූහ.

අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය, තායිවානයේ තායිපේ විශ්වවිද්‍යාලයෙන් චීන භාෂාව පිළිබඳ ව ශාස්ත්‍රපති උපාධිය සහ රුහුණු විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලැබූ උන් වහන්සේ කලක් මෙරට ධර්ම ශාස්ත්‍රීය සේවයේ නිරත විය. පසුව තායිවානයේ ස්ථිර පදිංචියට වැඩම කළ උන් වහන්සේ තායිපේ නගරයේ ථේරවාදී සමාධි ආශ්‍රමය පිහිටුවා ඇරඹූ ලෝක ශාසනික සේවාව අද්විතීය වේ. මේ වන විට තායිවාන බෞද්ධයන්ගේ ආධාරයෙන් ශ්‍රී ලාංකික බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී මෙහෙයක් ඉටුකරන්නට බෝදාගම චන්දිම හිමියන්ට හැකිව ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

තායිවාන බෞද්ධ සංගමයක් විසින් අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ ඩ්ඥඵනඥපඪච නගරයකට ආසන්නව අක්කර 170ක භූමි භාගයක බෞද්ධ නගරයක් නිර්මාණය කරන්නට චන්දිම හිමියන්ට පැවරීම ඊට කදිම නිදසුනකි. 2025 වර්ෂයේ මැද භාගයේ දී එම නගරයේ නගරාධිපතිවරයාගේත් ආශීර්වාදය ඇතිව සියලු බෞද්ධ සම්ප්‍රදායන්ට අයත් විහාරස්ථානයක් එම භූමියේ ගොඩනඟන්නට පියවර ගත්හ.

බෝදාගම චන්දිම හිමියන් විසින් කැලණිය, මානෙල්වත්ත නාගානන්ද විශ්වවිද්‍යාලය ආරම්භ කර එයින් දෙස් විදෙස් ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව දී සිදු කරන සේවාවෙන් ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රය නැවත වරක් අපට උරුම වූවා සේ දැනේ.

අංගුත්තර නිකායේ මිත්ත සූත්‍රයේ දී බුදුපියාණන් වහන්සේ කල්‍යාණ මිත්‍රයකු සතු ගුණධර්ම හතක් විස්තර කළහ. ප්‍රිය මනාප පුද්ගලයකු වීම, ගරු බුහුමන් ලැබීමට සුදුස්සකුවීම, වැරැද්ද හා නිවැරැද්ද අවබෝධ කොට අන් අයට එය පෙන්වා දීම, සාවදානව සවන් දෙන්නකු වීම, ඉවසීම, ගැඹුරු ගැටලු මනා ලෙස පහදා දීම, අයහපතෙන් මිතුරා වළක්වා ගැනීම එම කරුණු සතයි. අපේ බෝදාගම චන්දිම නාහිමි සතු ව එකී ගුණධර්ම මනාව පිහිටා ඇති බව උන්වහන්සේ ඇසුරු නිසුරු කිරීමෙන් මම අවබෝධ කොට ගතිමි.

ජන්ම දිනය වෙනුවෙන් දානාදි පින්කම් සිදු කිරීම චන්දිම හිමියන්ගේ සාමාන්‍ය සිරිත වුව ද, මෙම වර්ෂයේ දී ඇති වූ කාලගුණික විපර්යාසයෙන් විනාශ වූ වෙහෙර විහාරස්ථාන පිළිසකර කිරීම ද උන් වහන්සේ අතින් සිදු වන මහඟු පින්කමකි. දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වෙහෙර විහාරස්ථාන විශාල ප්‍රමාණයක් මෙම පින්කමට අනුබද්ධිතව පිළිසකර කිරීමට උන්වහන්සේ අදහස් කර ඇත.

අපේ බෝදාගම චන්දිම නාහිමියන්ට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමි.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ.
01 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]