[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සම්බුද්ධ චීවරයේගෞරවය රැකීමේ වගකීම හා වගවීම

සම්බුද්ධ චීවරයේ ගෞරවය රැකීමේ වගකීම හා වගවීම

බෞද්ධ භික්ෂුවක් බාහිර වශයෙන් හඳුනාගැනීමට ඇති ප්‍රධාන සාධකය සහ සංකේතය වන්නේ චීවරය හෙවත් සිවුරයි.

එය දෙපට සිවුර, තනිපට සිවුර, අඳනය ලෙසින් විධි තුනකින් සෑදී ගත්තකි. බෞද්ධ සංඝයා වහන්සේ දෙනමකි. ඒ සාවක සංඝ සහ භික්ඛු සංඝ වශයෙනි. එයින් සාවක සංඝයා යනු තථාගතයන් වහන්සේ දෙසූ ධර්ම විනය අසා ඒ ආකල්ප ශක්තියෙහි පිහිටා සසර කතරින් එතෙරට පත් උතුමෝ ය.

භික්ෂු සංඝයා යනු තථාගත ධර්ම විනය දැන, ඒ ආකල්පවල පිහිටා නිවන් පුර රුවන් දොර හැර ගන්නට උත්සාහයෙහි යෙදී සිටින උතුමෝ ය.

බෞද්ධ සමාජය ආධ්‍යාත්මික ව හඳුනාගැනීමට භාවිත කෙරෙන බෙදීම් විශේෂයක් ඇත. ඒ සම්මා සම්බුද්ධ, අසේඛ, සේඛ ලෙසට තුන් ආකාරයකට ය. සම්මා සම්බුද්ධ යනු කාම, රූප, අරූප තුන් ලෝකය කෙරෙහිමත්, එයින් එතෙර තත්ත්වයන් පිළිබඳ වත් ඇති එක ම නායක සාධකයයි.

එහෙත් “අසේඛ” උතුමෝ බොහෝ ය. ඒ අසේඛ උතුමන්ට සාපේක්ෂව “සේඛ” යෝ බොහෝ ය.

අසේඛ චරිතයෝ බෞද්ධ දර්ශන මාර්ගයේ ඉම දැන, දැක පිහිටා හෙවත් අවබෝධයේ සැබෑ හඬ සැබෑ ලෙසින් අසා දැන, දැක භාවිතයට පත් උතුමන් ය. ඒ උතුමෝ ස්වභාවයෙන් ම බුදු සසුනට ඇතුළු වූවන් ය. එහෙයින් උන්වහන්සේට ‘සබ්බ දුක්ඛ නිස්සරණ, නිබ්බාන, සච්ජි කරණත්ථයා ඉමං කාසාවං ගහෙත්වා (ඒතං කාසාවන් දත්වා) ලෙස වාක්‍ය කියා ඉල්ලා ගන්නට වුවමනා නැත. කුමක් නිසා ද යත්, දැනටමත් සසරින් මිදී ඇති හෙයිනි.

මේ වාතාවරණය යටතේ අසේඛ සංඛ්‍යාත සාධක සංඝයා වහන්සේට චීවරය අනිවාර්ය පිරිකරක් නොවේ.

ඒ එසේ වුව ද, තථාගතයන් වහන්සේ වැඩ සිටි සමයේ බොහෝ සාවක සංඝයා වහන්සේ් කල්යල් ගත කළේ් චීවරධාරී ව ම ය. එසේ නොවූ සාවක සංඝයා අතර හමුවෙන උතුමාණන් වහන්සේ නමකි, තථාගතයන් වහන්සේ වෙතින් “ඒතදග්ගපාලියෙන්” අසූ මහ සාවක ගොන්නට ද ඇතුළත් වූ ‘බාහිය දාරු චිරිය’ මහ රහතන් වහන්සේ.

තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයට ඇතුළත් සාමාජිකයකුට සහතික කෙරෙන නිල ඇඳුම් සිවුරයි.

ඒ ”සිවුර” යන වචනයෙහි නිරුක්ති ගත අර්ථය සතරාකාර රක්ෂාවරණය සලසා දෙන්නේ. සිවුර නම් වේ යනුයි. එයින් අහස් මාළිගා නොතකා නිතර නිතර සිවුරේ වගවීම පිළිබඳ ව උපකල්පනය කරන්න යැයි තථාගතයෝ අනුශාසනා කළහ. එහිලා නිතර සිහිපත් කළ යුතු සිවුරෙන් ගෙනදෙන සතර ප්‍රත්‍යවේක්ෂාව රැකවරණ මෙසේ ය.

සීතල නිසා වන ගැහැටින් ද, උණුසුම නිසා වන ගැහැටින් ද රකියි. ලේ බොන ඇට මැස්සන්ගෙන්, විද ලේ බොන මදුරුවන්ගෙන්, සුළඟින්, අව්වෙන් විෂකුරු සර්පාදී සතුන්ගේ තැවරීම්වලින් වළකයි. ලජ්ජා භයස්ථාන ආවරණය කරයි. මෙකී රැකවරණ සලසන්නේයි.

සිවුර නම් වූ ඒ වස්ත්‍රයෙහි සැඟවී ගත් වෙනයම් භෞතික වූ වටිනාකමක් නැත. එසේ වුව ද ඒ සිවුරු හැඳ පොරවා, සසුන්මඟ නිසියාකාර ව වැඩමවා ආර්ය මඟ පල ලබා ගත් සේක් නම්, සමස්ත තුන් ලෝකයෙන් ම වැඳුම් පිදුම් ලබන්නට නිසි වන්නේ ම ය. ඒ කරණකොට උතුමන් දරන සිවුර ද වැඳුම් පිදුම් ලබන්නේ ය.

පෙර භික්ෂු සංඝයා වහන්සේ නමක් බැදි මඟෙකින් වැඩම කරන සේක්. එකල පැවති සිරිතට අනුව රෙදි කඩෙක ඔතා කැලේ දමා ගොස් තුබූ මිනියක් දුටු සේක. ඒ දැක මිනිය රැඳි රෙද්දක් ගැනීම අකැප කටයුත්තෙක් නොවූයෙන් ඒ ළඟට ගොස්, එය ගන්නට සිතීය. එහෙත් ඒ රෙදිකඩ අතින් අල්ලන්නටවත් බැරි සේ කැත කුණෙන් ගැවසී ගත්තකි. මොනවා කරන්න ද? අසල වූ කෝටුවක් ගෙන එයින් රෙදිකඩ වතුර කඩිත්තක් වෙත ඇද ගෙන ගියේය. පසුව වතුරේ ඔබා පයෙන් මැඬ අතින් ඇල්ලිය හැකි පමණට සකස් කරගෙන, රෙදිකඩ ගලක අතුල්ලා පිරිසිදු කොට රැගෙන ගොස් සිවුරක් මසා ඒ දරමින් අප්‍රමාදී ව මහණ දම් පුරා කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක.

ඒ නිසා උන්වහන්සේ නරයන්ගෙන්, සුරයන්ගෙන්, බඹුන්ගෙන් පවා වැඳුම් ලැබීමට සුදුසු වූ සේක. ඒ වැඳුම් ලදුයේ සිවුරෙන් බැහැරව නොව සිවුරත් සමඟ ම ය. සිවුර ද වැඳුම් පිදුම් ලදුයේ ය. හුදු වස්ත්‍රයක් වූ ඒ සිවුර “බුදු සිවුරක්” බවට පරිවර්තනය කර ගත් නිසා ය. හෙවත් ඒ හැඳ පෙරව සැබෑ අවබෝධය ලද නිසා ය.

“බුදු සිවුර” යනු කුමක්ද? ඒ භෞතිකමය වස්තුවෙක් නොවේ. ආධ්‍යාත්මික වස්තුවකි. තථාගතයන් වහන්සේගේ දර්ශනයේ අභිමතාර්ථය “සබ්බ දුක්ඛ නිස්සරණ”ය යි. සියලු දුක්වලට රඳන්න, නවතින්න තැනක් නැති කිරීමයි. ඒ සඳහා මූලික ව සමස්ත තුන්ලෝකය ම දුකෙහි ම පිහිටා ඇති බවට ස්ථාවර විය යුතු ය. එහි හේතුව විමසිය යුතු ය. ඇති වීමක නැතිවීම ද ඇතුළත් ය යන මේ ද්විඝටනය පිළිගත යුතු ය. එය නැතිකර දෙවනුවට පරිත්‍යාගශීලි උත්සාහයක් දැරිය යුතුය. ඒ ලැබීම බුද්ධත්වය හෙවත් සැබෑම අවබෝධය යි.

මේ වූ ආධ්‍යාත්මික ගමන යෑමට පෙළගැසිය යුත්තේ ගැඹුරින් සිතා බලා සසර පිළිබඳ ඇති කර ගත් කලකිරීමෙනි. ඒ සද්ධම්ම සවන, සත් පුරුෂ සේවන, යෝනිසෝමනසිකාර යන පිහිටීම්වල පදනම යි. ඒ පදනමෙහි පිහිටීම ම ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨියට පත්වීම යි.

ඒ පිවිසි කල කෙනකුට හිංසා කිරීම පලකට නැති දෙයක් බවට පිළිගැනීමක් ඇති වේ. (අවිහිංසා සංකප්ප) එසේම කෙනකුට ක්‍රෝධ කිරීම, වෛර කිරීම නිසරු බව ඒත්තූයයි. එයින් ඇති වන මානසික පෙරළිය නිසා ගිහි ගෙය හැරපියා පැවිදිවෙනු රිසි වේ. ඒ අව්‍යාපාද සංකප්පය හා නෙක්කම්ම සංකප්පය යි. මෙසේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ඇතුළත් වීමෙන් අනතුරුව ඉතිරි මාර්ග ස්වයං ව ම සිදුවේ.

ඒ ආර්ය මාර්ගයෙහි ගමන් කිරීමෙහිලා ඉතාමත් ම වැදගත් සාධකයෙක් වූ “සිවුර” වැඳුම් ලැබීමට පවා සුදුසු පිරිකරක් බවට පත් කිරීම ඒ දරන්නාගේ ආධ්‍යාශය විය යුතු ය. ඒ වගවීම තහවුරු වෙන්නේ බුදුසරණ යෑමෙනි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම බෞද්ධයකු වෙන්නේ ම ය. මක් නිසාද යත්, “බුද්ධස්ස භාවෝ බෞද්ධං” යන විග්‍රහයට අනුගතව ය. එසේ වූ කල වස්ත්‍රයකට පමණක් සීමා වූ “සිවුර” යන නාමය, විභක්ති සමාස විධියෙන් බෝධියට හෙවත් බුද්ධත්වයට හේතු කාරක වූ යන අර්ථයෙන් බුද්ධ චීවරය හෙවත් “බුදු සිවුර” යන නාම පදයට උරුම කියයි. එය පූජා වස්තුවකි. වැඳුම් පිදුම් ලැබීමට සුදුසුකම් ලබයි. ඒ උත්තරීතරම තත්ත්වයට පත් කරවීමට ඒ දරන්නාගේ වගකීම හා වගවීම බව ශාසනධ්‍යාශයෙන් මහත් කර සිටින්නෙමු.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ.
01 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]