යුද්ධය
දිනන බලගතු අවිය
ශාස්ත්‍රපති අධ්‍යාපනපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි
බුදු දහම යුද්ධය සහ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් දක්වන්නේ ඉතාමත් ඍජු සහ පැහැදිලි
පිළිවෙතකි.
ලෝකයේ පවතින අනෙකුත් මතවාදවලට වඩා බුදුදහම වෙනස් වන්නේ යුද්ධය සාධාරණීකරණය කිරීමට
කිසිදු බලපත්‍රයක්, එහි නොමැති බැවිනි. බුදුදහම පවසන්නේ පිටත ලෝකයේ යුද්ධය නතර
කිරීමට නම්, මිනිසා මුලින්ම තම සිතේ ඇති වෛරය සහ බලලෝභීත්වය නමැති යුද්ධය නතර කළ
යුතු බවයි. වෛරයෙන් වෛරය නො සංසිඳේ.
බුදු දහමේ උගන්වන සාම පණිවුඩයේ හදවත වන්නේ ධම්මපදයේ එන අදහසයි. වෛරය නොවීමෙන්,
මෛත්‍රිය ඇති වේ. මෙය සනාතන ධර්මයකි.
යුද්ධය හා යුද්ධ නතර කිරීමට මෙම මෛත්‍රි සහගත බව තිබිය යුතු වෙයි. මෙහි සරල අදහස
නම්, එක් බෝම්බයකට තවත් බෝම්බයකින් පිළිතුරු දීමෙන් සිදුවන්නේ වෛරයේ දාමයක්
නිර්මාණය වීම පමණකි. යුද්ධයේ මූලික හේතු හඳුනා ගැනීම වැදගත් වේ.
බුදු දහමට අනුව ඕනෑම යුද්ධයක් හෝ ගැටුමක් හෝ හටගන්නේ අකුසල් මූලයන් තුනක් නිසා ය. ඒ
ලෝභය, ද්වේෂය සහ මෝහය යි. යුද්ධය නැවැත්වීමට නම් ඒ අකුසල පාලනය කළ යුතුයි. භූමිය හෝ
බලය කෙරෙහි ඇති දැඩි ආශාව පාලනය කිරීම, අනෙක් ජාතිය හෝ ආගම හෝ කෙරෙහි ඇති ක්‍රෝධය,
වෛරය පාලනය කිරීම, තමන් පමණක් හරි යැයි සිතන මුළාව සහ යුද්ධයෙන් ජයගත හැකි යැයි
සිතන මෝඩකම පාලනය කළ යුතු ය.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යුද්ධයක දී ජයග්‍රහණය කරන තැනැත්තා සතුරන් ඇති කර
ගන්නා බවත්, පරාජය වූ තැනැත්තා දුකෙන් පසුවන බවත් ය. සැබෑ සාමය උදා වන්නේ ජය පැරදුම
යන දෙකම අත්හැරීමෙන් පමණි.
තමන් උපමාවට ගෙන අනෙක් අය දෙස අත්තූපනායික ධර්ම පර්යායෙන් බැලීම යුද්ධයක දී වැදගත්
ය. සියලු සත්වයෝ දණ්ඩනයට බිය වෙති. මරණයට බිය වෙති. තමන් උපමාවට ගෙන අනෙකාට හිංසා
කිරීමෙන් වැළකිය යුතු ය. මෙය යුද වදින සොල්දාදුවාගේ සිට රාජ්‍ය නායකයා දක්වා සැමට
පොදු පණිවුඩයකි.
අතීතයේ මහා ලේ වැගිරීම් කළ අශෝක අධිරාජයා බුදුදහම වැළඳ ගැනීමෙන් පසු දිග් විජය
අත්හැර ධර්ම විජය ආරම්භ කළේ ය. යුද්ධය නතර කිරීමට ලොවට දිය හැකි හොඳම ඓතිහාසික
පණිවුඩය මෙයයි.
බුදුදහමේ යුද්ධය සාධාරණය කිරීමට කිසිදු ඉඩක් හෝ අනුමැතියක් හෝ නොමැත.
බුදු දහමේ මූලික පදනම වන්නේ චේතනාව යි. යුද්ධයක දී කෙතරම් සාධාරණ හේතුවක් ඉදිරිපත්
කළත්, එහිදී සිදුවන්නේ මිනිසුන් ඝාතනය යි. මිනිස් ඝාතන සඳහා පවතින්නේ වෛරී සහගත
චේතනාවකි. බුදුදහමට අනුව, යහපත් චේතනාවකින් මිනිස් ඝාතනය යනුවෙන් දෙයක් පැවතිය
නොහැකි ය. යුද පිටියේ මිය යන සොල්දාදුවාට කුමක් වේද?
බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී ‘තාලපුට’ නම් සෙන්පතියා ඇසූ ප්‍රශ්නයක් යෝධාජීව
සූත්‍රයේ දැක්වෙයි. බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු දෙමින් දේශනා කළේ, යුද්ධයක දී
සතුරන් මරා දැමිය යුතු ය යන දූෂිත සහ දරුණු චේතනාවෙන් සටන් කරන සොල්දාදුවකු යුද
පිටියේ දී මිය ගියහොත් ඔහු උපදින්නේ නිරයේ හෝ තිරිසන් ලෝකයේ හෝ බවයි.
බුදුදහම පවසන පරිදි රජකු හෝ පාලකයකු හෝ රටක් පාලනය කළ යුත්තේ දස රාජ ධර්මයෙන් ය.
එහි එක් අංගයක් වන්නේ අවිහිංසාව යි. රටක් ආරක්ෂා කර ගැනීමට හමුදාවක් පවත්වා ගැනීම
රාජ්‍ය පාලනයේ කොටසක් ලෙස හඳුනා ගත්ත ද, බුදුදහම කිසි විටෙකත් ආක්‍රමණශීලී යුද්ධයකට
අනුබල දෙන්නේ නැත. චක්කවත්ති සීහනාද සූත්‍රයට අනුව, රජකු තම රටේ සාමය ආරක්ෂා කළ
යුත්තේ දඬුවමින් හෝ අවියෙන් හෝ නොව, ධර්මය පදනම් කරගත් පාලනයකිනි. බුදුදහමට අනුව
ලොව පවතින එකම සාධාරණ යුද්ධය නම්, තමන්ගේ සිතේ පවතින කෙලෙස් සමඟ කරන යුද්ධය පමණි.
බුදුන් වහන්සේ යුද්ධය සහ ප්‍රචණ්ඩත්වය නිවාරණය කිරීමට විවිධ අවස්ථාවල දී සූත්‍ර
දේශනා රාශියක් දේශනා කර තිබෙනවා. උන්වහන්සේ හුදෙක් දේශනා පැවැත්වීම පමණක් නොව, යුද
පිටියට ම වැඩම කර යුද්ධ වැළැක්වූ අවස්ථා ද ඉතිහාසයේ සඳහන් වෙයි.
යුද නිවාරණය සහ සාමය සම්බන්ධ වැදගත් දේශනා සහ සිදුවීම් කිහිපයක් දැක්විය හැකි ය.
බුදුදහමේ යුද නිවාරණය පිළිබඳ ඇති ප්‍රබලම නිදසුන නම් ශාක්‍ය සහ කෝලිය වංශිකයන්
රෝහිණී නදියේ ජලය බෙදාගැනීමට ඇති කර ගත් ආරවුල යි. එය යුද්ධයක් දක්වා වර්ධනය වූ
අවස්ථාවේ ඒ මැදට වඩින බුදුරජාණන් වහන්සේ යුද වදින අයගෙන් ප්‍රශ්නයක් අසති. ජලයේ
වටිනාකම වැඩිකොට සලකන්නෙහිද? නැතහොත් මිනිස් ජීවිතවල වටිනාකම වැඩිකොට සලකන්නෙහි ද?
යන්නයි. ජලයට වඩා මිනිස් ජීවිත වටිනා බව වටහාගත් ඔවුහු අවි බිම තබා සාමකාමී වූහ.
මහා පරිනිබ්බාන සූත්‍රය, චක්කවත්ති සීහනාද සුත්‍රය, කූටදන්ත සූත්‍රය වැනි සූත්‍ර
දේශනාවල යුද කරනවාට වඩා රටක්, ජාතියක් ගොඩනඟන්නට රජුන් කළ යුතු දේ දක්වයි. සංයුක්ත
නිකායේ අරණ විභංග සූත්‍රයේ දී උන්වහන්සේ අර්බුද රහිත සමාජයක් ගොඩනඟන්නට නම් ආර්ය
අෂ්ඨාංගික මාර්ගයට අනුව ජීවිතය සකස් කර ගැනීමේ වැදගත්කම දක්වති.
සම්බුදු දහම පෙන්වා දෙන්නේ යුද්ධය යනු, අහම්බෙන් සිදුවන දෙයක් නොව, මිනිසාගේ සිත
ඇතුළේ ඇතිවන කෙලෙස්වල විශේෂයෙන් ලෝභය, ද්වේෂය සහ මෝහය නිසා වන බාහිර ප්‍රකාශනයක් බව
යි. එබැවින් බාහිර යුද්ධය නතර කිරීමට නම් අභ්‍යන්තර සාමය ඇති කරගත යුතු ය යන්න බුදු
දහමේ පණිවුඩය යි. එය යුද්ධය දිනීමේ ප්‍රබලතම මාර්ගය යි. |