[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 සවනක් ගණ බුද්ධ රශ්මි මාලාවෙන් හෙළදිව ආලෝකවත් වූ දා

 සවනක් ගණ බුද්ධ රශ්මි මාලාවෙන් හෙළදිව ආලෝකවත් වූ දා

මේ උතුම් දිවයින දෙවැනි වරටත් බුදු සිරිපා පහසින් පිවිතුරු වූයේත්, දම් රජාණන් වහන්සේගේ සවණක් ඝණ බුද්ධ රශ්මි මාලාවෙන් මුළු හෙළදිව ම ආලෝකවත් වූයේත්, දහම් අමා මිහිරෙන් නොයෙක් දනන් නිවී සැනසී ගියේත් අද වන් බක් පුන් පොහෝ දිනයක දී ය.

සම්බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේ දී සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේගේ කරුණා නෙත් ‘චූලෝදර - මහෝදර’ නා රජුන් දෙදෙනා කෙරෙහි යොමු වූයේ, මිණිපළඟට සටන් වැදීමට සූදානම් ව සිටිය දී ය. මහා කාරුණිකයන් වහන්සේ නාගයන්ට සෙත - සුව සදනු පිණිස බක් මස පුන් පොහෝ දා සෘද්ධියානුභාවයෙන් නාගදීපයට වැඩම කළ සේක.

මහා බලසම්පන්න වූ මහෝදර නා රජු මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනෙහි අධිපතිකම් කරමින් සිටියේ ය. නා රජුගේ නැඟණිය වූ තිරවිකා නම් නාග කන්‍යාව කන්වඩමන් නම් පර්වතයෙහි නා රජුට පාවා දෙනු ලැබුවා ය. ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා ‘චූලෝදර’ නම් විය.

ගොඩබිම් වැසි නාගයෝත්, මුහුදු වැසි නාගයෝත් මහා බල සම්පන්නයෝ වූහ. චූලෝදර නා රජුගේ සීයා වන නාග ප්‍රධානියා කලුරිය කරන කල්හි, තමා සතු ව තිබූ ඉතා අගනා මිණිපළඟ පුතාට නොදී, චූලෝදරගේ මව වන දියණියට දුන්නේ ය. චූලෝදර - මහෝදර නා රජුන් දෙදෙනා අතර යුද්ධයට හේතු වූයේ මේ මිණිපළඟයි.

භාග්‍යවතුන් වහන්සේ නාගදීප ගමනට, දෙව්රම් වෙහෙරේ කිරිපළු රුකට අරක්ගෙන සිටි ‘සමිද්ධි සුමන’ නම් දෙවියා ද කැඳවූ සේක. ඒ දෙව්රද සිය භවන වූ කිරිපළු රුක උදුරා ඡත්‍රයක් සේ ඔසවාගෙන, පෙර භවයේ තමා විසූ නාගදීපයට පැමිණියේ ය. සමිද්ධි සුමන දෙවියන්, දෙව්රම් වෙහෙරේ කිරිපළු රුක අධිගෘහිත වන්නට පෙර භවයේ නාගදීපයේ මිනිසකු ව ඉපිද සිටියේ ය. එකල කිරිපළු වෘක්ෂයක් යට වැඩ සිට දන් වළඳන පසේ බුදුවරුන් දැක, පාත්‍ර පිරිසිදු කර ගන්නට කොළ කඩා දුන්නේ ය. ඒ පින් බෙලෙන් හෙතෙම දෙව්රම් වෙහෙර කිරිපළු රුකෙහි දෙවියකු ව උපන්නේ ය.

භාග්‍යවතුන් වහන්සේ බක් මස අවපසළොස්වක පොහෝ දා උදෑසන හෙළදිව නාගදීපයට වැඩමවා ආකාශයෙහි වැඩ හිඳිමින්, එහි යුද වැදීමට සූදානම් ව සිටි දෙපසෙහි නාගයන් දමනය කරනු පිණිස මහත් අඳුරක් මැවූ සේක. එයින් නාගයන් බියපත් වූ විට, සෘද්ධිමත් ආලෝකයක් විහිදුවා තමන් වහන්සේ ඔවුන්ට දකින්නට සැලැස්වූ සේක. එයින් ඉමහත් සොම්නසටත්, සැනසීමටත් පත් නාගයෝ සම්බුදු සිරිපා අබියස වැඳ වැටුණහ. ලෝකනාථයන් වහන්සේ දෙරජුන් ප්‍රමුඛ නාග සේනාවන් සමඟි කරවීමට ධර්මය දේශනා කළ සේක.

කාකෝලුක, ඵන්දන, වට්ටක ආදී ජාතක දේශනාවලින් වෛර කිරීමෙහි ඇති ආදීනවත්, සමඟියේ අනුහස් ද පෙන්වා දුන් සේක. සසරේ ආදීනව, ඊර්ෂ්‍යාව, එකට එක කිරීමේ නපුර ඉස්මතු කරමින් දහම් අවවාද දුන් සේක. යුද වැදීමට සිටි නා රජුන් දෙදෙනා ධර්ම ශ්‍රවණයෙන් අපමණ පී‍්‍රතියට පත්ව, යුද්ධයට හේතු වූ මිණිපළඟ භාග්‍යවතුන් වහන්සේට පූජා කළහ. අහසින් බිමට වැඩම කර එහි වැඩහුන් ලෝකනාථයන් වහන්සේ නාගයන් විසින් පිළිගැන්වූ, දිව්‍යමය ආහාර පාන වළඳා, අසූ කෝටියක් නාගයන් තිසරණ පන්සිල් හි පිහිට වූ සේක.

පාරිභෝගික චෛත්‍යයක් ලෙස වන්දනාමාන කිරීමට කිරිපළු රුක සහ මිණිපළඟ නාගයන්ට පවරා දුන් සේක. මහෝදර නා රජුගේ මාමා වූ මණිඅක්ඛිත නා රජතුමා කැලණිපුරයේ සිට බෑණාට සහාය වීමට සටන් බිමට පැමිණ සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ පළමුවර මහියංගනයට වැඩි දා දහම් අසා සරණ සීලයෙහි පිහිටා සිටි මණිඅක්ඛිත නා රජු තථාගතයන් වහන්සේට නැවත වරක් තම වාස භවනය වූ කැලණියට වඩින ලෙස ආරාධනා කළේ ය. භාග්‍යවතුන් වහන්සේ නා රජු කෙරෙහි කරුණාවෙන් එම ආරාධනය නිහඬ ව පිළිගත් සේක.

මෙබඳු උත්තම සිදුවීම් දාමයකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පුන් පොහොය හෙළ බොදුනුවන්ට මහත් වූ නිරාමිස පී‍්‍රතිය ඇති කරවන දිනයකි. සිය ශාස්තෘන් වහන්සේගේ අනන්ත සම්බුදු ගුණ මහිමය මනසට සිහිපත් වන පූජනීය දිනයකි. තුන් ලෝවාසීන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් යුතු භාග්‍යවතුන් වහන්සේ සිරි ලක්දිව කෙරෙහි සුවිශේෂී අනුග්‍රහයන් කළ බවත්, ලක්වැසියන් කෙරෙහි විශේෂ ශාසනික බලාපොරොත්තුවකින් කටයුතු කළ බවත් ඉතා පැහැදිලි ය. ශාස්තෘන් වහන්සේ තැබූ ඒ විශ්වාසය අපේ මුතුන් මිත්තන් වූ හෙළ බොදුනුවන් මහත් ආත්ම පරිත්‍යාගයකින් යුතුව, ඒ අයුරින් ම සුරැකි බවට අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය සාක්ෂි දරයි. එය තවදුරටත් සුරැකීමට අධිෂ්ඨානශීලී වන්නට බක් පුන් පොහෝ දිනය අතිශයින් ම උචිත දිනයකි.

නාගදීප සෑ රජාණන් වහන්සේ සොළොස් මහා පූජ්‍යස්ථාන අතරින් එක් පින්බිමකි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පහසින් පිවිතුරු බවට පත් නාගදීප නාමය අතීතයේ දී මුළු යාපනය අර්ධද්වීපය ම හැඳින්වීමට භාවිත කර ඇත. දෙවැනි ශත වර්ෂයේ දී යාපනයේ පැවති භාෂාව සිංහල බවත්, අනුරාධපුර රජුගේ ඇමැතියකු විසින් යාපනය පාලනය කළ බවත්, බෞද්ධ වෙහෙර විහාර හා සිද්ධස්ථාන එහි ගොඩනඟන ලද බවත්, වල්ලිපුරම් හී තිබී හමු වූ රන්පතින් පුරා විද්‍යාඥයන්ට හෙළිදරව් වී තිබේ. නාගදීපය නමින් හැඳින්වෙන පුණ්‍ය භූමිය අතීතයේ දී හෙළ බොදුනුවන්ගේ වැදගත් ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථානයකි. මෙම ප්‍රදේශය යාපා පටුන නමින් හැඳින්වූයේත්, එහි ද්‍රවිඩ බලය වැඩි වූයේත්, පොලොන්නරු යුගයෙන් පසුව බව සැලකේ. නමුත් පුරාණයේ නාගදීපය පිහිටි මුළු යාපනය අර්ධද්වීපය ම බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් පැවති බවට සාධක ඇත.

භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි මිණිපළඟ නිදන් කොට තනවන ලද නාගදීප සෑ රදුන් හෙළ බොදුනුවන්ගේ මහත් සම්භාවනාවට පත් පූජනීය ස්ථානයකි. නාගදීපයේ අද දක්නට ලැබෙන්නේ පෞරාණික දාගැබ ම නොව අභිනවයෙන් සාදවන ලද දාගැබකි. අප බොදු බැතිමතුන් වෙහෙස මහන්සි නො බලා, දුර ගෙවා මහත් ආයාසයෙන් නාගදීපය සෑ රදුන් වෙත ශ්‍රද්ධාවෙන් යුතු ව පැමිණෙන්නේ, සම්බුදු පා පහසින් පූජනීයත්වයට පත්, නිර්මල බුද්ධ ශාසනය පැතිර ගිය උතුම් පුණ්‍ය භූමියක් නිසාවෙනි.

විසි නව වයස් සපිරි සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ උයන් ක්‍රීඩාව සඳහා ගමන් කරද්දී, පළමු කොට ම මහල්ලෙක් දකින ලද්දේ බක් මස පුන් පොහෝ දිනයේ දී ය.

සුද්ධෝදන පිය රජතුමා ප්‍රමුඛ ශාක්‍ය ඥාතීන්ට නිවන්සුව අත්කර දෙනු පිණිස, විසි දහසක් නිකෙලෙස් මහරහතුන් පිරිවරාගෙන, මැදින් පුන් පොහෝ දා බුදුරජාණන් වහන්සේ ගමන් ඇරඹූහ. එහිදී රජගහ නුවර වේළුවනාරාමයේ සිට පියවි ගමනින් යොදුන් තිහක ගමන් මාර්ගය ගෙවා අවසන් කළේ ද බක් මස පුර පසළොස්වක පුන් පොහෝ දිනයක දී ය.

අපගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ, දෙවැනි වර ලක්දිවට වැඩම කළ මේ උතුම් බක් පුන් පොහෝ දින අපත් ආමිස ප්‍රතිපත්ති පූජාවලින් භාග්‍යවතුන් වහන්සේ පුදමින්, ධර්මයේ හැසිරෙමින් ඒ අමා නිවන් සුව ලබනු පිණිස ශ්‍රද්ධාදී ධර්ම දියුණු කර ගනිමු.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ.
01 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]