[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

විඤ්ඤාණය විෂම චින්තන ධාරාවකි....

විඤ්ඤාණය විෂම චින්තන ධාරාවකි....

විඤ්ඤානය යනු සිතෙහි එක්තරා ශක්තියකි. නිවන් මඟ සොයන හැම පුද්ගලයකුට ම විඤ්ඤාණ තත්ත්වයෙන් පවතින තම සිත පිළිබඳ යථාවබෝධයක් ලබාගත යුතුය. විඤ්ඤාණය (වි+ඥානය) යන පදයෙහි තේරුම විවිධ වූ විෂම වූ දැනුම් ලබා දෙනුයේ යන්න යි.

සංඥා මඟින් ඉන්ද්‍රියයන් හරහා මනසට දැනෙන දැනුම වෙන්කර හඳුනා ගැනීමට උපකාර වන සිත විඤ්ඤාණය යි. චිත්තක්ෂණයක් පාසා විවිධ තත්ත්වයන්ට හා විෂම තත්ත්වයන්ට පත්වීමට හැකි සිත විඤ්ඤාණය යි. විඤ්ඤාණයේ නියත ගති ලක්ෂණය වෙනස් වන සුලු ස්වභාවය යි. ඒ අනුව දොම්නසයට, සොම්නසයට, උදහසට, උද්දාමයට, උද්වේගයට, ශෝකයට, භයට පත්වන සිත විඤ්ඤාණය යි.

නාම - රූප දෙක එකතු කර පුද්ගලයකු සත්ත්වයකු නිර්මාණය කළේ ද විඤ්ඤාණය යි. ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන ධාතු කොටස් එක්කොට ගත - හිත යනුවෙන් අප හඳුන්වන ‘වත’ සකස් කරගත්තේ ද විඤ්ඤාණය යි. එවිට රූප, වේදනා, සංඥා, සංඛාර යන කොටස් පංචස්කන්ධයට එකතු කර ගැනීමක් වේ.

උපන් හැම සත්ත්වයකුට ම නියත වශයෙන්ම විඤ්ඤාණයක් තිබේ. විඤ්ඤාණයක් නොමැති ව සත්ත්වයකුට මනුෂ්‍ය ලොව උපතක් ලැබිය නොහැකි ය. පංචස්කන්ධය ලෙස පෙන්වන උපාදානය කරගත් කොටස් පහෙන් විඤ්ඤාණය ලෙස හඳුන්වන කොටස සිතෙහි එක්තරා අවස්ථාවකි. එය චිත්ත අවස්ථාව නොවේ. විභංගප්‍රකරණයේ සිත පිළිබඳ සඳහන් කර ඇති විග්‍රහයේ දී චිත්ත යනු පිරිසුදුම අවස්ථාවයි. මනසේ ක්‍රියාත්මක වන න්‍යාය නම් මනො, මානසං, හදයං, පණ්ඩරං, මනො, මනායතනං, මනින්ද්‍රියං, විඤ්ඤානං, විඤ්ඤානක්ඛන්ධො, තජ්ජා මනො විඤ්ඤානධාතු යනාදී ආකාරයෙන් මනෝ විඤ්ඤා ස්කන්ධයන් හට ගන්නා ආකාරයට දැක්වේ.

චිත්ත අවස්ථාව ඉතා පිරිසුදු පැහැපත් ජලය මෙනි. එම ජලයට විවිධ අමිශ්‍ර අපැහැදිලි දෑ එක්වීමෙන් එම ජලයෙහි පිරිසුදු බව නැති ව යයි. විඤ්ඤාණය ද මෙවැනි කිළිටි තත්ත්වයක් සේ පෙන්වා දිය හැක ිය. පිරිසුදු සිත (චිත්ත) රාග, ද්වේෂ, මෝහ එකතු කර ගැනීම නිසා කිළිටි වී බිහිවන තත්ත්වයට විඤ්ඤාණය යැයි කියති. මෙකී අවස්ථාව යහපත් හා අයහපත් අයුරින් පවතී. මෙමඟින් මනෝ මූලික අරමුණු විඤ්ඤාණයේ පහළ වේ. සෑම සිතක ම ඇති වන විඤ්ඤාණය සුඛ සහගත, දුක්ඛ සහගත, අදුක්ඛමසුඛ සහගත වේ. එකල්හි විඤ්ඤානයේ ප්‍රභේදයන් පහත පරිදි වේ.

1. ආනුභූතික විඤ්ඤාණය

2. පශ්චාත් ආනුභූතික විඤ්ඤාණය

3. කර්ම විඤ්ඤාණය හෙවත් ස්ථිතිත්ව විඤ්ඤාණය

ආනුභූතික විඤ්ඤාණයෙහි දී සිත හා සම්බන්ධ දැනීම් ක්‍රියාවලිය පිළිබඳ විඤ්ඤාණය යෙදෙන අපූර්වත්වය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත හැකි ය. එහි දී දැනීම ලෙස ක්‍රියාත්මක වන්නේ යම් කිසිවක් ඇති බව පිළිබඳ දැනීම යි. මේ අනුව සෑම දෙයක් ඉලක්ක වන දැනීම් ක්‍රියාවලිය විඤ්ඤාණය හා සම්බන්ධ වෙයි. මෙම දැනීම් පංච ඉන්ද්‍රියයන් හා සම්බන්ධව ලබන දැනීම් ය. ඇස, රූපය ද ප්‍රත්‍යය කොටගෙන චක්කු විඤ්ඤානය උපදී. මේ අයුරින් ඉන්ද්‍රියයන් හා ගැටීමෙන් ඇතිවන විඤ්ඤාණ ෂඩ් ආකාරය යි. චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය වශයෙනි. විඤ්ඤාණය ඉන්ද්‍රියයන්ට අදාළ ව පහළ වන බව මෙහිදී පැහැදිලි ය. එනම් විඤ්ඤාණයෙන් ඈත් ව අරමුණක් තිබිය හැකි ය. එහෙත් විඤ්ඤාණයක් නොමැති ව අරමුණක් පහළ වීමක් නොමැත. තත් කරුණ ධම්ම පදයේ මුල් ගාථා දෙකෙන් ද පැහැදිලි වේ. (ඛුද්දක නිකාය, ධම්මපදය, 1/2 ගාථා)

පශ්චාත් ආනුභූතික විඤ්ඤාණය නම් විඤ්ඤාණ ක්‍රියාවලිය හා බැඳුණු සංස්කාර ධර්ම නිසා පශ්චාත් ආනුභූතික විඤ්ඤාණය ඇති වේ. ඇසත්, රූපයත් ග්‍රහණය වීමෙන් ඇතිවන විඤ්ඤාණය ආනුභූතික විඤ්ඤාණ යි. චක්ඛු ඉන්ද්‍රියෙන් මලක් දැක මල යන දැනීම ඇති වේ නම් එය ආනුභූතික විඤ්ඤාණය නම් වේ. පශ්චාත් ආනුභූතික විඤ්ඤාණය යනු මෙහි දෙවැනි අවස්ථාව යි. ඇස හා රූපය ගැටීමෙන් පසු ඇතිවන චක්ඛු විඤ්ඤාණය විවිධ හේතු මත වර්ධනය කර ගැනීම පශ්චාත් ආනුභූතික විඤ්ඤාණය නම් වේ. නිදසුනක් ලෙස ඇසින් මලක් දුටු විට එය නිර්මාණය වීමෙහිලා බලපෑ සාධක, එය පවතින ස්වභාවය එමෙන් ම එය විනාශ වන ස්වභාවය ආදිය කෙරෙහි විමසා බැලීමෙන් ඇතිවන සංවර්ධිත විඤ්ඤාණය පශ්චාත් ආනුභූතික විඤ්ඤාණය ලෙස පෙන්වා දිය හැකි ය. විඤ්ඤාණය ඇතිවීමට විඤ්ඤාණ කාය සයක් අවශ්‍ය බව සඳහන් වෙයි. චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන යන සයයි. මෙම ඉන්ද්‍රිය සය තුළින් බාහිර ලෝකය පිළිබඳ දැනුම ලබා ගනියි. ඇස ඇසුරෙන් ඥානය ලබා ගැනීමට කරුණු තුනක් සම්පූර්ණ විය යුතු වේ.

1. නොබිඳුණු ඇසක් තිබීම.

2. බාහිර වශයෙන් ඇති රූපය එම ඇසට ක්ෂේත්‍ර ව අසුවිය යුතු ය.

3. එම වස්තුව පිළිබඳ සුදුසු අවධානයක් යොමු කළ යුතු ය.

මේ අනුව ඉන්ද්‍රියත් අරමුණත් සම්බන්ධ වීමෙන් විඤ්ඤාණය හට ගන්නා බව මෙහිදී දත හැකි ය. විඤ්ඤාණය ඇති වීම යනු මනසේ සිත් උපදවන වේගය ඇතිවීම යනුයි. රූප ශබ්ද ආදි වශයෙන් දැනීම ලැබීම යි. මෙම විඤ්ඤාණය මනසට ගෝචර වන රූප ශබ්ද දී අරමුණු අනුභව කරයි. එනම් ඉන්ද්‍රියත්, අරමුණත්, විඤ්ඤාණයත් එක්තැන් වීමෙන් ඵස්සය උපදියි. චක්ඛු සම්ඵස්ස, සෝත සම්ඵස්ස, ඝාණ සම්ඵස්ස, ජිව්හා සම්ඵස්ස, කාය සම්ඵස්ස, මනෝ සම්ඵස්ස වශයෙන් ඒ ඒ ස්පර්ශය ඉන්ද්‍රිය අනුව සය වැදෑරුම් වේ. මෙකී ස්පර්ශ ප්‍රත්‍යයෙන් වින්දනය සිදු වේ. අරමුණු පිළිබඳ මනාප බව හා අමනාප බව මෙයින් අදහස් කරයි. එමෙන් ම වින්දනය කරන අයුරින් දැනීම සිදු වේ. හඳුනා ගැනීම ඇති තැන සිත අරමුණට නැඟීම විතක්කය යි. විතර්කය කර්මය වූ චේතනාව නියෝජනය කරයි. (මජ්ක්‍ධිම නිකාය 01, මධුපිණ්ඩික සූත්‍රය, 280 පිටුව) මෙය පශ්චාත් ආනුභූතික විඤ්ඤාණය නම් වේ.

කර්ම විඤ්ඤාණය යනු පුද්ගල විඤ්ඤාණයට දැනීම් ක්‍රියාවලියක් ලැබුණු පසු එය විතර්කයට හෙවත් කල්පනාවට ලක් කිරීමයි. මෙයින් අරමුණු පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරනු ලැබේ. අරමුණු අභිනන්දනයට, අභිවාදනයට, අජ්ඣෙසනයට ලක් වන ස්ථානය නිසා එය කර්ම විඤ්ඤාණය ලෙස හඳුන්වා ඇත. කර්ම විඤ්ඤාණය සාංසාරික පැවැත්ම කෙරෙහි ද බලපාන බව පෙන්වා දෙයි. දුක් ඇති වන්නේ විඤ්ඤාණය ප්‍රත්‍යය කර ගැනීමෙන් මෙන්ම විඤ්ඤාණය නැති වීමෙන් දුක නැති වන බවත් ය. කර්ම විඤ්ඤාණය නැති කිරීම පංචස්කන්ධයේ නැති වීමයි. මනෝ විද්‍යාත්මක මෙන් ම පාර භෞතික අර්ථයෙන් ද විඤ්ඤාණය යන්න භාවිත කර තිබේ.

බෞද්ධ දර්ශනයේ මූලික සංකල්පයක් ලෙස විඤ්ඤාණය හැඳින්වීමට හැකි ය. බුදු සමයේ දී විස්තර කරනුයේ පුද්ගල ස්කන්ධයන් අරමුණු කොටගෙන ය. එනම් පංචස්කන්ධය තුළ ඇති විඤ්ඤාණස්කන්ධය මෙහිදී විස්තර වේ. පුද්ගලයා හා ස්කන්ධයන් අතර පවත්නා සබඳතාව බුදු දහමේ මැනවින් ප්‍රකට කරත්, අන්‍යොන්‍ය ක්‍රියාකාරිත්වයක් වූ විඤ්ඤාණය මොහොතක් පාසා විවිධාකාරයෙන් පැවතුණ ද එක ම සිතක් අරමුණු කොටගෙන විවිධ විඤ්ඤාණයෝ පහළ වෙති.

“යථා හි අංගසම්භාරො

හොති සද්දෝ රථො ඉති

ඒවං ඛන්ධෙසු සත්තේසු

හෝති සත්තෝති සම්මුති....”

(සංයුක්ත නිකාය, වජිරා සූත්‍රය 246 පිටුව)

බුදු දහම තුළ විඤ්ඤාණ ස්කන්ධය පිළිබඳව කරුණු දැක්වීමේ දී වජිරා සූත්‍රයෙහි රථයක් උපමා කොටගෙන විඤ්ඤාණයේ ස්වරූපය දක්වයි. රථයකට අමතර කොටස් එකතු කළ විට රථය යන්න යෙදෙයි. එහෙත් රථයේ කොටස් වෙන වෙනම තබා ඇති කල්හි රථය යැයි හැඳින්විය නොහැකි ය. එපරිද්දෙන් යම් වස්තු පදාර්ථයක් විසුරුණු කල්හි නිර්මාණාත්මක බැවින් තොර අතර, ඒ ඒ පදාර්ථයන් එකිනෙකට එකතු වූ කල්හි සාර්ථක නිමැවුමක් දක්නට ඇත. විඤ්ඤාණය යන්න නිමැවුම් වනුයේ තවත් පදාර්ථ කීපයක මූලාධාරයෙනි. පංචස්කන්ධය තුළ විඤ්ඤාණ ධාතුව පවතින්නකි. රූප කොටස්, රූපස්කන්ධයටත්, වේදනා වේදනා ස්කන්ධයටත්, සංඥාවෝ සංඥා ස්කන්ධයටත්, සංඛාර සංඛාර ස්කන්ධයටත්, විඤ්ඤාණ විඤ්ඤාණ ස්කන්ධයටත් අයත් වෙයි. මෙකී ස්කන්ධ සංයෝජනය වීම තුළින් පුද්ගල ශරීරය නිර්මාණය වන අතර, බුදු දහමට අනුව රූපය නමැති ස්කන්ධය නිර්මාණ වී ඇත්තේ සතර මහා භූත ආශ්‍රයෙනි.

පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන මෙකී භූත රූපයන්ගෙන් සුසැදි මිනිස් ශරීරය තුළ පහළ වන සිතිවිලි හෙවත් චෛතසික ලෙස වේදනා සංඥා, සංඛාර දැක්විය හැකි ය. මිනිස් සත්ත්වයා විසින් සිදු කරනු ලබන යහපත් වූ, අයහපත් වූ සියල්ල සංඛාර ස්කන්ධය තුළ පවතී. පෙර භවයන්හි ද මෙකී මනුෂ්‍ය භවයේ ද සිදු කරනු ලබන සියල්ල සංස්කාර ස්කන්ධයෙහි අන්තර්ගත වේ. බාහිර ලෝකය තුළ ඇති විවිධ රූප ඉන්ද්‍රියයන් සමඟ ගැටීමෙන් පහළ වන්නේ විඤ්ඤාණය යි. එයින් පසු එකිනෙක ස්පර්ශ වීමෙන් වේදනා ස්කන්ධයෝ පහළ වෙති. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉඳුරන් ගැටීම තුළින් විඤ්ඤාණ උපදී. එකල්හි ත්‍රිවිධ වේදනාවන් පහළ වේ.

සුඛ වේදනා

දුක්ඛ වේදනා

අදුක්ඛමසුඛ වේදනා

පුද්ගලයා සංස්කාරයන් හේතු පාදක කොටගෙන මෙකී අවස්ථාවන් උද්දීපනය කරගනු ලබත්. සංඛාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය හටගනී. විඤ්ඤාණය හරහා ඉන්ද්‍රියයන් ලබන දැනීම් ක්‍රියාවලිය ඉන්ද්‍රියන් මූලික කොටගත් වූවකි. “විජානාතීති ඛෝ භික්ඛවේ, තස්මා විඤ්ඤාණන්ති වුච්චති. කිඤ්ච විජානාති.....” (සංයුත්ත නිකාය, 03, ඛජ්ජනීය සූත්‍රය 150 පිටුව)

චිත්ත, මනෝ, විඤ්ඤාණය යන පදවලින් ද හඳුන්වනුයේ එකම අර්ථය බව උක්ත විස්තරයන්හි දී අපට ගම්‍යමාන වේ. සිත මූලික කොටගෙන විඤ්ඤාණය උපදී. මෙය වචනාර්ථයෙන් වර්ග වුව ද අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකට බැඳී පවතින්නකි. බුදු දහමේ පෙන්වා දෙන අකුසල සහගත චිත්තයන් දුරු කිරීම සඳහා සවිඤ්ඤාණයෙන් යුතු ව පුද්ගල චිත්ත සන්තානය පවත්වා ගත යුතුය.

ක්ලේශ ධර්මයන් දුරු කරගෙන යහපත් විඤ්ඤාණයෙන් යුතුව කටයුතු කිරීම තුළින් සම්මා සමාධියට පත්විය හැකි ය. ලෝභ, දෝස, මෝහ යන අකුසල ධර්මයන් දුරුකොට ගෙන අලෝභ, අදෝස, අමෝහ යන කුසල මූලයන් උද්දීපනය කර ගනිමින් යහපත් විඤ්ඤාණයෙන් එදිනෙදා ජීවිතයේ ගැටලු මඟ හරවාගෙන කටයුතු කිරීමට හැකි ය. කිළිටි වූ වස්ත්‍රයක් මැනවින් පිරිසුදු කරන්නාක් සේ පුද්ගලයා ද අවිඥානික සිතිවිලි හෙවත් අකුසල සහගත සිතිවිලි දුරු කළ යුතු ය. යහපත් විඤ්ඤාණයන් මැනවින් පවත්වා ගැනීමෙහිලා මූලික වශයෙන් සිත්හි උපදින ක්ලේශ ධර්මයන් දුරු කිරීමට උත්සුක විය යුතු ය. පුද්ගලයා අපිරිසුදු වන කාරණාවන් අවබෝධ කොටගෙන අකුසල ධර්ම දුරුකොට කුසල ධර්මයන් වර්ධනය කරගත යුතු ය.

උජුං කරෝති - සෘජු ක්‍රියා ඇති

චිත්තස්ස දමතෝ -

සිත දමනය කළ යුතු ය

චිත්තං රක්ඛේථ -

සිත ආරක්ෂා කළ යුතුය.

චිත්තං සඤ්ඤමෙස්සන්ථි - සිතේ සංයමයක් ඇති කරගත යුතු ය.

සම්මා පණිහිතං චිත්තං - සිත මනාව සකස් කළ යුතු ය. (ඛුද්දක නිකාය, ධම්මපදය, චිත්ත වග්ගය 15 ගාථාව)

සිත එක අරමුණක පවත්වා ගැනීම මෙහි මූලික අරමුණ යි. විවිධ අරමුණු කෙරෙහි සිත නො පිහිටුවා යම් එක් අරමුණක් කෙරෙහි සිත පිහිටුවා ගැනීම මෙහිදී අවධාරණය කෙරේ. එනම් යහපත් කුසල මූලයක සිත පිහිටුවා ගත යුතු ය. පවට බියඇති, පවට ලැජ්ජා ඇති සිත සංයමයෙන් පවත්වා ගත යුතුය. විවිධ පවිටු වූ අරමුණු කරා සිත නොයොදවා සිත ආරක්ෂා කළ යුතු ය. එකල්හි සවිඥානිකව සිත පවතී. රාගාදී ක්ලේශයන්ට සිත නොයොදවා සිත ආරක්ෂා කළ යුතු ය. එකල්හි සවිඥානික ව සිත අන් අයුරින් අකුසලයට වසඟ නොවී පවත්වා ගැනීමට හැකි ය.

නවම් අව අටවක

පෙබරවාරි 09 සඳුදා
පූ.භා. 05.03 න් අව අටවක
ලබා 10 අඟහරුවාදා
පූ.භා. 07.29 න් ගෙවේ.
09 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍පෙබරවාරි 09    

Full Moonඅමාවක

පෙබරවාරි 16

First Quarterපුර අටවක

පෙබරවාරි 24   

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]