සතර කමටහන්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
බළන්ගොඩ ආනන්ද චන්ද්‍රකීර්ති හිමි
සමථ භාවනාවේ භාවනා ක්‍රම 40 කි. ඒ අතරින් සෑම කෙනෙක් ම අනිවාර්යයෙන් ම කළ යුතු
භාවනා ක්‍රම හතරක් ඇත. ඒවාට ඉහත නම් ව්‍යවහාර වේ.
ශ්‍රද්ධාව නැතිකම, තරහව, පංචකාමයට ලොල්වීම, මරණයට බිය ස අලසකම යනු අනතුරු. මේ
අනතුරුවලින් ආරක්ෂාවීමට බුද්ධානුස්සති, මෙත්තාච, අසුභං, මරණස්සති යන භාවනා හතර ඖෂධ
හතරක් වැනි ය. ආරක්ෂකයින් හතර දෙනෙක් වැනි ය. ඒ නිසා චතු + ආරක්ඛා = යැයි කියයි.
බුදුගුණ භාවනාව
බුදුගුණ නවය එක හුස්මට නොකියා දීර්ඝ හුස්ම නවයකින් සජ්ඣායනා කොට වන්දනා කිරීමට
යෝජනා කරමි. එක් එක් බුදුගුණයක් පිළිබඳ වෙන වෙන ම අර්ථ දැක්වීමට සෑම බෞද්ධයකුටම
හැකියාව තිබිය යුතු ය. බුදුගුණ දන්නා තරමට බෞද්ධකම තීරණය වන බව සූවිසි මහා ගුණයෙහි
දක්වා ඇත. බුදුගුණ වැඩීමේ අනුසස් නවයක් ඇති බව විසුද්ධි මාර්ගයෙහි දැක්වේ.
බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගෞරවය වැඩිවීම, ශ්‍රද්ධාව, සතිය, ප්‍රඥාව, පුණ්‍යවන්තකම
වැඩිවීම, පී‍්‍රතිප්‍රමෝදයෙන් වසන්නෙක් වීම, කුඩාමහත් බිය ඉවසීමට හැකිවීම, දුක්
ඉවසීමට හැකිවීම, බුදුගුණ වඩන ශරීරය දාගැබක් මෙන් පිදිය යුතු තත්ත්වයට පත්වීම,
බුදුවීමට සිත යොමුවීම, පව් කිරීමට යෑමේදී බුදුන් ඉදිරියෙහි සිටිනා අයුරු දැනී
ලැජ්ජා භය ඇතිවීම, සුගතිගාමී වීම යනුවෙනි.
භාවනාව (මෙත්තා)
මිතුරුකම වර්ධනය කිරීම මෛත්‍රිය යි. අනෙකාගේ යහපත සැලසීමට කැමැති වීම, සුහද වීම,
හිතවත්වීම, මිත්‍ර වීම මෛත්‍රිය වශයෙන් හැඳින්විය හැක. මෛත්‍රී භාවනාව කිරීමේ දී
සෑම කෙනෙක් ම පළමු කොටම තමාට මෛත්‍රී කිරීමට පුරුදු විය යුතු ය. තමාගේ යහපත සලසාගත
නොහැකි කෙනෙක් අනුන්ගේ යහපත කෙසේ සලසන්නද? මම වෛර නැත්තෙක් වෙම්වා. තරහා නැත්තෙක්
වෙම්වා වශයෙන් ද මාගේ හිත සුවපත් වේවා. බෙල්ල සුවපත් වේවා. අත්දෙක සුවපත් වේවා.
යනුවෙන් කොටස් වශයෙන් මෛත්‍රී කිරීමෙන් ද විවිධාකාරයෙන් මෛත්‍රී භාවනාව කළ හැකි ය.
මේ වචන පමණක් කියමින් හෝ සිතමින් මෛත්‍රී කළ යුතු යැයි වෙන් කොටගත් විශේෂ ක්‍රමයක්
නැත. අහං අවේරෝ හෝමි අභ්‍ය පජ්ජෝ හෝමි අනීඝෝ හෝමි යනුවෙන් පිරිත් පොතේ දැක්වෙන පාලි
පාඨයක් ද ඇත.
කෙසේ හෝ තමාට මිතුරුවීම සහ අනුන්ට මිතුරුවීම මෛත්‍රිය වශයෙන් හැඳින්විය හැක. මම
අකැමැති දෙයක් සිදුවන විට මෙන්ම මම අකැමැති දෙයක් යම් කෙනෙක් කියන විට සිතේ
ඇතිවන්නා වූ නොරිස්සුම් සහගත බවත් සමඟ ගැටෙන ස්වභාවයක්, හැප්පෙන ගතියක් සිතේ ඇති
වේ. පටිඝය, තරහව, ද්වේෂය යනුවෙන් හඳුන්වන්නේ එයයි. ඇතැම් විට හේතුවක් නැතුව ද තරහා
ඇතිවිය හැකි ය. සිත කියන්නේ පුදුමාකාර දෙයකි. නිතරම ආත්මාර්ථකාමීත්වය රජ කරයි. සිත
ඇකැමැති ඕනෑම දේකට තරහා ඇතිවිය හැකි ය. ඒ නිසා නිතර ම තරහ සිතේ භයානකකම, හානිදායක
බව, විනාශකාරී බව මැනවින් හඳුනාගෙන තරහා නොගෙන කටයුතු කිරීම බුද්ධිමතාගේ ලක්ෂණය යි.
සුවදායක සිතක් ඇතිකර ගැනීම, මැනවින් නිදාගැනීම, සුව සේ නින්දෙන් පිබිදීම, නපුරු
සිහින නොදැකීම, මිනිසුන්ට, දෙවියන්ට පි‍්‍රයවීම, මුහුණ ශරීරය පැහැපත් වීම වැනි
අනුසස් එකොළහක් මෛත්‍රීය, පිළිබඳ බණ පොතේ දක්වා ඇත. මේ නිස තරහා ගින්නක් වශයෙන්
සලකා මෛත්‍රිය සිසිලසක් වශයෙන් සලකමින් මෛත්‍රියෙන් ම කටයුතු කිරීමට සෑම කෙනෙක් ම
සිතිය යුතු ය.
අසුභ භාවනාව
කේසා, ලෝමා, නඛා දන්තා වශයෙන් ශරීරයේ පවතින කුණප කොට්ඨාශ තිස්දෙක සිහිකිරීම
පිළිකුල් භාවනාවයි. කය පිළිබඳ සිහිකිරීම යන අර්ථයෙන් කායගතාසති යනුවෙන් ද, කුණප
කොටස් තිස්දෙක සිහිකිරීම යන අර්ථයෙන් ද්වත්තිංසාකාරය යැයි ද මේ එකම භාවනාව ම
හඳුන්වන වචන කිහිපයක් ඇත. පටික්කූල මනසිකාර යනු පිළිකුල සිහිකිරීම යන්නෙහි පාලි
යෙදුමයි. මේ අනුව ශරීරය අසුභ වශයෙන්, පිළිකුල් වශයෙන් සිහිකරමින් ශරීරය කෙරෙහි ඇති
අධික ආශාව ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචඉන්ද්‍රියයන් පිනවමින් සිටීමට ඇති
කැමැත්ත අඩුකර ගැනීම මෙම භාවනාවේ ප්‍රධාන අපේක්ෂාවයි.
අසුභ භාවනාව යනු මළ සිරුරෙහි, ආරම්භයේ පටන් දහවන දිනය දක්වා අපිරිසුදුවීම
සිහිකිරීමයි. වර්තමානයේ එය සිදුකිරීමට ඇති අපහසුතාව නිසා පිළිකුල් භාවනාව වැඩීමෙන්
එම කාරණය සම්පූර්ණ කර ගැනීමට කටයුතු කළ හැකි ය.
මරණය සිහි කිරීම
නොමැරෙන කෙනකු වශයෙන් සිතීමට කල්පනා කිරීමට අපි පුරුදු වී සිටිමු. මරණය මතක් කිරීම
කතා කිරීම ඇතැම් විට අසුභ දෙයක් වශයෙන් සලකයි. මරණය ගැන කියන විට අතින් කට වැසීමට
පවා සමහරු පුරුදු වී සිටිති. “ඔයා මැරෙන්නේ නැහැ. මගේ පුතා මැරෙන්නේ නැහැ” කියමින්
මරණය සිදු නොවන දෙයක් ලෙස කටයුතු කිරීමට පුරුදු කරවයි.
එසේ වුවත් මරණ ධම්මෝම්හි මරණං අනතීතෝති අභිණ්ණං පච්චවෙක්ඛිතබ්බං යනුවෙන් අභිණ්
පච්චවෙක්ඛණ සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් මරණය සිහිකළ යුතු යැයි දේශනා
කොට ඇත. බත් කටක් කෑමට ගතවන වේලාව සහ එක හුස්මක්ගෙන පිටකරන කාලය ගතවීමට පෙර මරණය
සිදුවිය හැකි බව අවධාරණය කොට ඇත. ඒ අනුව “ජීවිතං අනියතං මරණං නියතං ජීවිතය අනියත ය.
මරණය නියතය” යනුවෙන් නිතරම සිහිකරන්නා තමා මැරෙන කෙනෙක් බව දැනගෙන අවබෝධයෙන් යුතුව
ක්‍රියාකරයි. අපවත් වී වදාළ අම්පිටියේ රාහුල හිමියෝ මරණානුස්සති භාවනාව යනුවෙන්
කුඩා පොතක් ලියා ඇත. මරණය පිළිබඳ දැනගත යුතු කරුණු රාශියක් එහි දැක්වේ. කෙසේ හෝ
නිතර මරණය සිහිකිරීම මරණයට තියෙන බිය නැති කර ගැනීමට අලසකම, කුසීතකම මඟහැර උත්සාහය,
උනන්දුව වැඩිකර ගැනීමට ප්‍රමාදය අතහැර අප්‍රමාදී වීමට පාපය අතහැර පිනෙහි යෙදීමට
හේතුවනු ඇත. මේ නිසා මරණය සිහිකිරීම අනිවාර්ය භාවනාවක් වශයෙන් සෑම කෙනකුම කල්පනාවට
ගත යුතු ය.
මෙම සතර කමටහන් හෙවත් සතර ආරක්ෂක භාවනා උපකාර භාවනා වශයෙන් සහාය පිණිස පවතින භාවනා
වශයෙන් අකටයුතුකම් දුරුකරන භාවනා වශයෙන් සැලකිය යුතුය. සතර කමටහන් තුළින් භාවනාවට
ඇති බාධා දුරුකරගෙන සක්මන් භාවනාව, ආනාපානසති භාවනාව සහ සිහියෙන් වැඩකිරීම හෙවත්
සම්ප ජඤ්ඤ භාවනාව දියුණු කරගෙන සතිමත්භාවය වර්ධනය කරගැනීමෙන් පුද්ගලයාට තම ජීවිතයේ
ඕනෑම අරමුණක් ජයගත හැකි බව නො බියව පැවසිය හැකිය.
එනිසා මිනිසෙක් වශයෙන් ඉපදුණු අපි හැම කෙනෙක්ම මනස දියුණු කිරීම ප්‍රධාන කටයුත්ත සේ
සලකා ක්‍රියා කරන්නේ නම් තිබෙන සියලුම ගැටලු ඉතා පහසුවෙන් දුරුකර ගත හැකි බව බොහෝම
පැහැදිලිව පැවසිය හැකිය. තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ
පහළ වන්නේ මේ කරුණ පෙන්වා දීමට යි. ඒ නිසා ත්‍රිවිධ රත්නයේ නාමයෙන් මනස හෙවත් සිත
දියුණු කිරීමට කටයුතු කරන මෙන් ඉතා ඕනෑකමින් සහ අප්‍රමාණ කරුණා මෛත්‍රියෙන් යුතුව
පවසා සිටිමි. |