[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නෑදෑයන් දෙන පින් ලබාගෙන සුගතියක ඉපදෙන්නට සිතනවා ද?

නෑදෑයන් දෙන පින් ලබාගෙන සුගතියක ඉපදෙන්නට සිතනවා ද?

" මරණින් පසු දුගතිගාමී නොවන බවට තමාට තහවුරු කර ගත හැකි පරිදි යහපත් ජීවිතයක් ගත කරමින් දස පින් කිරියවත්වල යෙදීමට උපාසක උපාසිකාවන් උත්සාහ ගත යුතු ය."

දිනක් අනේපිඬු සිටුතුමා දෙව්රම් වෙහෙරට පැමිණි විට බුදුරජාණන් වහන්සේ සිටුතුමාට ඇසෙන පරිදි එතැන සිටි සැරියුත් හිමියන් අමතා මෙසේ වදාළහ.

“ශාරිපුත්‍රයෙනි, සුදු වස්ත්‍ර හඳීන, පන්සිල් ආරක්‍ෂා කරන යම් කිසි ගිහියකු මේ ජීවිතයේ දී ම සැප සේ වාසය කළ හැකි, පිරිසුදු සිත ඇසුරු කළ සතර ධර්මයන්, කැමති ආකාරයට දුකින් තොරව බොහෝ කොට ලබන්නේ නම්, ඔහුට තමා කැමැති නම් මෙසේ ප්‍රකාශ කළ හැකි ය.

නිරයගාමී වන කර්ම මට නැත. තිරිසන් යෝනියෙහි උපදින කර්ම මට නැත. ප්‍රේත ලෝකයෙහි උපදින කර්ම මට නැත. සැපයෙන් පහ වූ, නපුරු වැටීම් ඇති තැන් ක්‍ෂය කළෙමි. අපායට නොවැටෙන ස්වභාව ඇත්තෙමි. සම්බෝධිය (අර්හත්වය) නියත කොට ඇත්තෙමි. සෝවාන් බවට පත් පුද්ගලයෙක් වෙමි.”

පිරිසුදු සිතින් මෙලොව දී ලබන සුඛ විහරණ

* මේ කරුණින් බුදුරජාණන් වහන්සේ අරහත් ය, සම්මා සම්බුද්ධ ය යනාදී වශයෙන් බුදුරදුන් කෙරෙහි (නොසෙල්වෙන) අචල ශ්‍රද්ධා යුක්ත වෙයි. යනුවෙන් සිතීම සැපයකි.

* මේ කරුණින් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය මැනවින් දේශනා කොට ඇත, (ස්වාක්ඛාතය) මේ ජීවිතයේ දී ම ප්‍රතිඵල අත්විඳීය හැකි ය. (සන්දිට්ඨික ය) යනාදී වශයෙන් ධර්මයෙහි ගුණ මෙනෙහි කරමින් අචල ශ්‍රද්ධාවෙන් යුක්ත වෙයි. එය ඔහුට සුඛ විහරණයකි. (ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති)

* මේ කරුණින් සංඝයා මනා පිළිවෙතට පිළිපන්නේ ය. නිවන් ලබන ඇද නැති පිළිවෙතට පිළිපන්නේ ය. (සුපටිපන්නෝ උජුපටිපන්නෝ) යනාදී වශයෙන් සංඝයාගේ ගුණ මෙනෙහි කරමින් අචල ශ්‍රද්ධාවෙන් යුක්ත වෙයි. මෙලෙසින් ඔහු මේ ජීවිතයේ දී ම සැප සේ වාසය කරයි. (සංඝේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති)

* සතරවනුව, ආර්යයන් කැමති වන, නොකැඩුණු, සිදුරු නැති, තැනින් තැන සිල්පද බිඳී නොගිය, නුවණැත්තන්ගේ ප්‍රශංසාව ලබන, තණ්හාවට වසඟ නොවූ, චිත්ත සමාධිය ඇති කිරීමට උපකාරී වන ශීලයෙන් යුක්ත වෙයි.

තමා සිල්වතෙකැයි සිතන ඔහු මෙලොව දී ම සැප සේ වාසය කරයි. (අරියකන්තේහි සීලෙහි සමන්නාගතෝ හෝති)

මේ සැප හතර ලැබිය හැක්කේ සෝවාන් ඵලයට පත් වූ පුද්ගලයකුට පමණි. සෝවාන් බවට පත් විය නොහැකි නම්, මරණින් පසු දුගතිගාමී නොවන බවට තමාට තහවුරු කර ගත හැකි පරිදි යහපත් ජීවිතයක් ගත කරමින් දස පින් කිරියවත්වල යෙදීමට උපාසක උපාසිකාවන් උත්සාහ ගත යුතු ය. එසේ නොකොට දුශ්චරිතයෙහි ගැලී පාපකාරී ජීවිතයක් ගත කොට මිය ගොස් දුගතියෙහි උපන් පසු මෙලොව සිටින නෑයන් දෙන පින් ලබා ගෙන සුගතියට යාමට සිතන්නේ නම්, එය මුළාවකි.

උඳුවප් අව අටවක පෝය

දෙසැම්බර් 26 ඉරිදා අපරභාග 20.08 අව අටවක ලබා 27 සඳුදා අපරභාග 19.28 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]