[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ උරුමය ලොවට ගෙන ගිය පුරාවිද්‍යාඥයා

මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ 125 වැනි ජන්ම දිනය මේ මස 26 වැනිදාට යෙදී තිබුණි. ඒ වෙනුවෙන් පළවන විශේෂ ලිපියකි.

බෞද්ධ උරුමය ලොවට ගෙන ගිය පුරාවිද්‍යාඥයා

"“මට සැරයක් දෙකක් ශ්ලෝක කීවාම ඒවා හොඳට මතක හිටිනවා. මම තව ආසයි ශ්ලෝක ඉගෙන ගන්න”.සෙනරත් පරණවිතාන දරුවා තුළ තිබූ එම ස්මරණ ශක්තිය වැඩිදියුණු වූ බව ඉතා ප්‍රකට කරුණකි."

ගාලු දිස්ත්‍රික්කයේ මැටරඹ ගමේ 1896 දෙසැම්බර් 26 දා සෙනරත් පරණවිතාන දරුවා උපත ලැබුවේ ය. පිරිවෙන සහ පන්සල ළමා අවදියේ සිට ම ඔහුට හුරු වූයේ ය. එහිදී සිදු වූ එක්තරා සිදුවීමක් මෙසේ ය.

යටගල පන්සලට ගිය එක දිනක දී ඒ පන්සලේ ගුණරතන හිමියෝ කුඩා සෙනරත්ට පාඩම් කරනු පිණිස සංස්කෘත ශ්ලෝකයක් ලියා දුන්හ. පසුදා යළිත් පන්සලට ගිය සෙනරත් ඒ ශ්ලෝකය හාමුදුරුවන් ඉදිරියේ කටපාඩමින් නිවැරැදිව කීවේ ය. එපමණක් නොව “හාමුදුරුවනේ, අද මට තව ශ්ලෝක දෙකක් ලියා දෙන්නැ”යි ඉල්ලීමක් කළේ ය. එයින් බලවත් සතුටට පත් වූ නායක හිමියෝ එදා තවත් සංස්කෘත ශ්ලෝක දෙකක් ලියා සෙනරත් දරුවාට දුන්හ. එයට පසු පන්සලට නැවත ගිය සෙනරත් දරුවා ඒ සංස්කෘත ශ්ලෝක දෙක කට පාඩමින් කීවේ ය. “අද මට ශ්ලෝක හතරක් ඕනෑ හාමුදුරුවනේ” කියා කීවේලු.

“සෙනරත් කොහොමද ඔපමණ ශ්ලෝක ඉගෙන ගන්නේ. ඔච්චර ඉක්මණින් සෙනරත් කොහොම ද නිවැරැදිව කියන්නේ. ඔය ළමයට වෙන වැඩක් නැද්ද? ගුණරතන නාහිමි ඇසූ පැනයට සෙනරත් කලබල නොවී ය. සෙනරත් මෙසේ පිළිතුරු දුන්නේ ය. “මට සැරයක් දෙකක් ශ්ලෝක කීවාම ඒවා හොඳට මතක හිටිනවා. මම තව ආසයි ශ්ලෝක ඉගෙන ගන්න” යනු ඔහුගේ පිළිතුර විය. (මහ ඇදුරු පරණවිතාන ඉන්ද්‍රාණි වීරසිංහ. පි. 8 - 1995)

සෙනරත් පරණවිතාන දරුවා තුළ තිබූ එම ස්මරණ ශක්තිය වැඩිදියුණු වූ බව ඉතා ප්‍රකට කරුණකි. මෙසේ සෙනරත් පරණවිතාන මහතාට අධ්‍යාපන පසුබිම ලැබුණේ ගමේ පාසලේ ඉගෙනීමෙනි. ඉන්පසු ගාල්ලේ බොනවිස්ටා විද්‍යාලයෙන් ඉංගී‍්‍රසි අධ්‍යාපනයත්, සවස් වරුවේ හීනටිගල රංවලගොඩ විද්‍යාවර්ධන පිරිවෙනෙහි සිංහල, පාලි හා සංස්කෘත යන භාෂා ඉගෙනීමට අවස්ථාව සැලසුණි. මෙසේ බෞද්ධ පරිසරය ආශි‍්‍රත ව වර්ධනය වූ සෙනරත් පරණවිතාන තරුණයා 1918 දී මෙකල ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුගම්පල විද්‍යාලයේ ඉංගී‍්‍රසි උපගුරු තනතුරට පත් වූයේ ය. මේ අතරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තනතුරක් සඳහා ගැසට් කර තිබුණි. මෙම තනතුර ශිලා ලේඛන සහකාර ය. ඒ කාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා වූයේ විදේශීය විද්වතකු වූ ඒ.එම්. හෝකැට් මහතා ය. ශිලා ලේඛන සහකාර තනතුර සඳහා වූ ලිඛිත පරීක්ෂණයෙන් සමත් වූ පරණවිතාන තරුණයා සම්මුඛ පරීක්ෂණයකට ද මුහුණ දුන්නේ ය. දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ද, එම පරීක්ෂණ මඩුල්ලේ සිටි අතර, පරණවිතාන තරුණයා තුළ තිබූ ශිලා ලිපි පිළිබඳවත්, සිංහල, පාලි, ඉංගී‍්‍රසි සහ සංස්කෘත භාෂා ගැනත් වූ ඉතා පුළුල් දැනුම ගැන පුදුමයට පත් වූයේ ය.

1923 වර්ෂයේ දී සෙනරත් පරණවිතාන මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලේඛන සහකාර තනතුරට පත් වූයේ ය. ඒ වසරේ දී ම පුරාවිද්‍යා විෂයය පිළිබඳ ශිෂ්‍යත්වයක් මත ඉන්දියාවේ පුහුණුවට යෑමට අවස්ථාව සැලසුණි. ශිලා ලේඛන කාසි පිළිබඳ විද්‍යාව, ප්‍රතිමා, පුරාවිද්‍යා සංරක්ෂණය, වාස්තු විද්‍යාව, පුරාවිද්‍යා පර්යේෂණ වාර්තා සැකසීම ගැන ද හැදෑරීමක් කිරීමට අවස්ථාව සැලසුණි. ඒ ශිෂ්‍යත්වයේ දී ලෝ පතළ කීර්තිධර පුරාවිද්‍යාඥයන්ගේ ඇසුර ද ලැබුණි. ශිෂ්‍යත්වයෙන් පසු 1926 දී නැවතත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණියේ ය. දක්ෂිණ භාරතයේ ඉගෙනීමේ කටයුතුවල දී, පරණවිතාන මහතා දෙමළ භාෂාව ඉතා මැනවින් ඉගෙන ගත්තේ ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් පසුව 1932 දී පුරාවිද්‍යා කොමසාරිස් තනතුරේ වැඩ බැලීමට ද පත් වූ පරණවිතාන තරුණයා 1935 තෙක් ම එම කටයුතුවල යෙදුණේ ය. 1936 වර්ෂයේ දී ඒ වනවිට පරණවිතාන මහතා විසින් ලියන ලද ඉතා විශිෂ්ට ශාස්ත්‍රීය ග්‍රන්ථයක් වූ (ඊඩඥ ඉබභනච ඪද ජඥරතධද) ස්තූප ඉන් සිලෝන් ග්‍රන්ථයට ඕලන්දයේ ලෙයිඩ්න් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය පිරිනැමුවේ ය. එහි මුල් පරිච්ඡේද හතර සඳහා මේ උපාධිය පිරිනමන ලදී. ඉන්පසු ආචාර්ය සෙනරත් පරණවිතාන නමින් 1940 දී ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙසට පත් කෙරුණි. ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා ශ්‍රී ලංකාවේ පුරාණ පුරාවිද්‍යා ස්මාරක පාදා ගෙන, ඒවා මතුකර තහවුරු කිරීම පමණක් නොව එතෙක් සමහර පුදබිම් හා දාගැබ්වලට ව්‍යවහාර කරමින් තිබුණු නාමයන් ද නිවැරැදි කළේ ය. උදාහරණයක් ලෙසින් එදා ජේතවනාරාමය සහ අභයගිරිය යන ස්තූප සඳහා එම නාමයන් ව්‍යවහාර කළේ මාරුකරගෙන ය. එය පුරාවිද්‍යාත්මක සාක්ෂි සහිත ව නිවැරැදි කිරීමේ ගෞරවය හිමිවන්නේ ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාට ය.

මෙකල දකුණු දාගැබ යන නමින් හඳුන්වන දාගැබ එදා හැඳින් වූ දෙමළ මහා සෑය එළාර සොහොන නමින් වැරැදි ලෙසට ව්‍යවහාර කළ බව ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා ශිලා ලේඛන සාක්ෂි සහිතව ම ඔප්පු කළේ එම දකුණු දාගැබ සාදා තිබෙන්නේ දුටුගැමුණු රජුගේ අභාවයෙන් පසුව එම රාජ දේහය ආදාහනය කළ ස්ථානයේ බව ය.

අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය ආදී නගරවල සැලසුම් පිළිබඳ ඉතා පුළුල් ලෙසින් කැණීම් කර ඒ පිළිබඳ පුරාවිද්‍යා වාර්තා සකස් කළේ ය. සීගිරියත්, පරණවිතාන නාමයත් වෙන් කළ නොහැකි ය. සීගිරිය ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා ඉතාමත් ඇලුම් කළ පුරාවිද්‍යා බිමකි. මේ නිසා ම මෙකල මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ අභාවයෙන් පසුව එතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර සාදන ලද ස්මාරකය අදත් සීගිරි පර්වතය දෙස බලා සිටින අන්දමින් එහි එතුමාගේ ප්‍රතිමාව නිර්මාණය කර ඇත. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අප හිතවත් මූර්ති ශිල්පි ගුණතිලක මහතා විසින් නිර්මාණය කරන ලද්දකි. සීගිරි කැටපත් පවුරේ ඇති සීගිරි කුරුටු ගී එකල ක්‍රි.ව. 8 වන සියවසේ සිට සීගිරිය නැරඹීමට පැමිණි අපේ දේශීය සංචාරකයන් විසින් ලියන ලද බව ඉතා ප්‍රකට ය. සීගිරි කුරුටු ගී 685 පිටපත් කරමින් එතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 1940 සිට 1956 තෙක් සේවය කළ අතර 1956 වර්ෂයේ දී සීගිරි කුරුටු ගී නමින් වෙළුම් දෙකකින් යුත් ග්‍රන්ථය පළ කළේ ඔක්ස්ෆ්ර්ඩ් විශ්ව විද්‍යාලයේ මුද්‍රණාලයෙහි ය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙසින් එම තනතුර බැබළ වූ ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා 1957 සිට 1965 තෙක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයක් ඇති කළේ එවක එහි උපකුලපතිතුමා ඇතුළු සනාතන මණ්ඩලයේ ඒකමතික තීරණය අනුව කරන ලද ආරාධනය පරිදි ය. මේ ලියන ලේඛකයාට ද එතුමාගේ සුවඳ රැඳුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි 1965 සිට ඉගෙනීමට අවස්ථාව සැලසීම භාග්‍යයක් ලෙස නිහතමානී ව මෙහි සටහන් කළ යුතුව ඇත.

මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ ජන්ම ශත සංවත්සරය 1996 යෙදී තිබුණි. ඒ නිමිත්තෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂ දේශන පැවැත්වුණි. එතුමාගේ සමීපත ම ශිෂ්‍යයාවූ මහාචාර්ය අබය ආර්යසිංහ විසින් මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනම පිහිටුවන ලදී.

උඳුවප් අව අටවක පෝය

දෙසැම්බර් 26 ඉරිදා අපරභාග 20.08 අව අටවක ලබා 27 සඳුදා අපරභාග 19.28 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]