[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රජ පෙළපතක වගතුග

රජ පෙළපතක වගතුග

සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත් රැක ගැනීම උදෙසා අතීතයේ පෙරමුණට පැමිණි ශ්‍රේෂ්ඨතම සිංහල වීර කාන්තාව ලෙසින් විහාර මහා දේවිය හඳුන්වනු ලැබේ.

විහාර මහා දේවියගේ ජීවිත කතාව ගොඩනැඟී ඇත්තේ පුත් දුටුගැමුණු නම් මහ රජතුමාගේ ශ්‍රේෂ්ඨ ජීවිත කතාවත් සමඟ බවයි සඳහන් වන්නේ.

රජ පෙළපත

විහාර මහා දේවියගේ පියා වූයේ කැලණිතිස්ස මහ රජතුමා ය. විහාර මහා දේවියගේ ස්වාමියා වන්නේ කාවන්තිස්ස මහ රජතුමා ය. කැලණිතිස්ස මහ රජතුමාගේ හා කාවන්තිස්ස මහ රජතුමාගේ රජ පෙළපත් පිළිබඳ මේ ආකාරයෙන් සඳහන් වේ.

ක්‍රි. පූ. 307 දී අනුරාධපුර රාජධානියේ රජකම් කළේ දේවානම්පියතිස්ස නම් මහ රජතුමා ය. පුරා සතළිස් වසරක් අනුරාධපුර රාජධානියේ රජු වූ බව සඳහන් ය. දේවානම්පියතිස්ස මහ රජතුමාට වැඩිමහල් සොහොයුරකු සහ බාල සොහොයුරෝ අට දෙනෙක් සිටි බව කියැවේ. දේවානම්පියතිස්ස මහ රජතුමාගේ සොහොයුරන් දෙදෙනකු වූ උත්තිය හා මහානාග කුමාරවරු රජුගේ යුව රජවරු ලෙස කටයුතු කළ බව ද කියැවේ.

දේවානම්පියතිස්ස මහ රජතුමාගේ මරණින් පසු උත්තිය කුමරුට රජකම හිමිවේ.

යටාලතිස්ස කුමරු

මහානාග කුමරු කුමන්ත්‍රණයකින් බේරීම සඳහා රජ රටින් පලායෑමට තීරණය කළේ ය. මහානාග කුමරුගේ බිසව ඒ අවස්ථාව වන විට ගැබ්ගෙන සිටියාය. තම බිසවත් සමඟින් රජ රට සිට රුහුණු රටට පැන යමින් සිටිය දී “යටාල“ නම් ග්‍රාමයේ දී ඇයට පුත් කුමරකු ලැබුණි.

එම පුත් කුමරාට උපන් ගම සිහිවීම සඳහා “යටාල‘ නාමයත්, සිය වැඩිමහල් සොහොයුරා වූ දේවානම්පියතිස්ස රජතුමා සිහිවීම සඳහා “තිස්ස“ නාමයත් එකතු කොට මේ කුමරු ට “යටාලතිස්ස“ නමින් නම් තැබූ බව කියැවේ.

රුහුණු රට මාගම්පුරය සිය රාජධානිය පිහිටුවාගෙන කාලයක් එහි රජු වූයේ මහානාග රජතුමා ය. මහානාග රජතුමාගේ අභාවයෙන් පසු ඔහුගේ පුත් “යටාලතිස්ස“ කුමරුට රජකම ලැබුණි. ගෝඨාභය කුමරු යටාලතිස්ස රජතුමාගේ පුතා බව කියැවේ. යටාලතිස්ස රජතුමාගේ අභාවයෙන් පසු ගෝඨාභය කුමරු එහි රජකමට පත් වූ බව ද සඳහන් ය. ගෝඨාභය රජතුමාගේ පුත්‍රයා වූයේ කාවන්තිස්සය. විහාර මහා දේවියගේ ස්වාමිපුරුෂයා වූ කාවන්තිස්ස මහ රජතුමා ය.

දේවානම්පියතිස්ස මහ රජතුමාගේ එක් සොහොයුරකු වූ උත්තිය රජතුමාගේ පුතාගේ පුතකු එනම්, දේවානම්පියතිස්ස රජතුමාගේ මුණුපුරකු වූයේ කැලණිතිස්ස රජතුමා ය. එතුමා කැලණිය අගනුවර කොටගෙන මායා රටෙහි රජු වූයේ ය.

කැලණිතිස්ස මහ රහතන් වහන්සේ

එම කැලණිතිස්ස මහ රජතුමා සමඟ මිත්‍රකම් පැවැත් වූ “කැලණිතිස්ස“ නමින් ම හැඳීන් වූ මහ රහතන් වහන්සේ නමක් කැලණියෙහි වැඩ විසූහ. කැලණිතිස්ස මහ රජතුමාටත් එතුමාගේ ආර්ය උත්තිය නම් බාල සොහොයුරාටත් කුඩා කල ශිල්ප ශාස්ත්‍ර කියා දුන්නේ “කැලණිතිස්ස“ මහ රහතන් වහන්සේ ය.

කාලයත් සමඟ ආර්ය උත්තිය කුමරු තම වැඩිමහල් සහෝදරයාගේ, කැලණිතිස්ස මහ රජතුමාගේ බිසව සමඟ අයුතු හාදකමක් පැවැත් වූ බව කියැවේ. ඒ හේතුවෙන් ආර්ය උත්තිය කුමරු මාලිගයෙන් පළවා හැරුණි. එසේ මාලිගයෙන් බැහැර කළ ද ආර්ය උත්තිය කුමරු එකී බිසව සමඟ පැවැත් වූ අයුතු හාදකම දිගින් දිගට ම පවත්වාගෙන යෑමට හැකි සෑම උත්සාහයක් ම ගත් බව කියයි.

කුමරු විසින් කුලියට ගත් එක්තරා තරුණයකුගේ හිස බූ ගා ඔහුට සිවුරක් අන්දවා පාත්‍රයක් අතට දී භික්ෂුවකගේ වෙස් ගැන් වූ බව කියැවේ.

තල් පතක තම තතු ලියූ පෙම් පතක් කැලණිතිස්ස රජතුමාගේ බිසව අතට පත් කරවන්නට කුමරුට වුවමනා විය. ඒ සඳහා යෙදූ කූට උපාය වූයේ මේ වෙස් ගැන් වූ භික්ෂුවයි.

කැලණිතිස්ස මහ රජතුමාගේ හිතවත් කැලණිතිස්ස නම් වූ මහ රහතන් වහන්සේ රජතුමාගේ රාජ මාලිගාවට දන් පිණිස වැඩම කරන අවස්ථාවක් බලා, තල්පතක ලියූ පෙම් පත ද වෙස් ගැන් වූ භික්ෂුව අතට දී මහරහතන් වහන්සේ සමඟ ම මාලිගයට යන්නට අවස්ථාව සලසා දුන් බව කියැවේ. මහරහතන් වහන්සේ සිතුවේ මේ භික්ෂුව රජතුමා දන්නා හඳුනන භික්ෂුවක් විය හැකි බවයි. කැලණිතිස්ස රජතුමා මේ භික්ෂුව ගැන සිතුවේ මහ රහතන් වහන්සේ සමඟ ම වැඩම කළ තවත් මහරහතන් වහන්සේ නමක් විය හැකි බව යන්නයි.

දන් වැළ¼දීමෙන් අනතුරුව රජ මාළිගයෙන් පිටතට වඩින මහරහතන් වහන්සේ සමඟ රජතුමා පසු ගමන් කළේය. බිසව ද එසේ ම දොරටුව තෙක් පැමිණ භික්ෂූන් වහන්සේලා ආපසු වඩින අයුරු බලා සිටියාය.

මේ අවස්ථාවේ දී භික්ෂුවක් ලෙස වෙස් ගත් තැනැත්තා තම ඉණෙහි සඟවාගෙන පැමිණි තල්පතක ලියූ පෙම් පත බිසවට පමණක් පෙනෙන ලෙසින් බිම දැමීය. තල්පතක් බැවින් එය බිම පතිත වන විට සුළු ශබ්දයක් නිකුත් වූයේ ය. තල්පත දුටු මහ රජතුමා එය අහුලා කියවා බැලුවේ ය. කියවීමෙන් පසු රජතුමාගේ සිතේ ඇති වූ වේදනාව කියා නිමකළ නොහැකි විය. සිතේ හටගත් මහා කෝපයෙන් රජතුමා දැවෙන්නට විය. කළ යුත්තේ, නොකළ යුත්තේ කුමක් ද කියා වටහා ගැනීමට තරම් කැලණිතිස්ස රජතුමාට සිහි කල්පනාවක් නොවී ය. ඒ වගේ ම තල්පතක ලියූ පෙම් පත බිම හෙලුවේ කවර භික්ෂුව දැයි කැලණිතිස්ස රජතුමාට තේරුම් බේරුම් කර ගත නොහැකි විය.

තල්පතෙහි තිබෙන අත් අකුරු කාගේ දැයි තේරුම් ගැනීමට කැලණිතිස්ස රජතුමාට නොහැකි වූයෙන්, තල් පතෙහි තිබූ අත් අකුරු කැලණිතිස්ස මහ රහතන් වහන්සේගේ ම අත් අකුරුවලට සමාන වූ නිසා එතුමා තම කල්‍යාණ මිත්‍ර මහ රහතන් වහන්සේ කෙරෙහි වැඩියෙන් ම සැක පහළ කළේ ය. ඒ වගේ ම තම සොහොයුරා වූ ආර්යඋත්තියට කුඩා කල ශිල්ප ශාස්ත්‍රය කර වූයේ මේ කැලණිතිස්ස මහරහතන් වහන්සේ නිසා උන්වහන්සේගේත් තම බාල සොහොයුරාගේත් අත් අකුරු එක හා සමාන බව මහ රජතුමාට ඒ අවස්ථාවේ දී අවබෝධ නොවී ය. බුර බුරා නගින්නා වූ කෝපයෙන් වෙව්ලන්නට වූ රජතුමා තම හිතවත් නිර්දෝෂී මහරහතන් වහන්සේ උතුරන තෙල් කටාරමක දමා ජීවිතක්ෂයට පත් කළ බව සඳහන් වේ.

මුහුද ගොඩ ගලයි

කැලණිතිස්ස රජතුමා අතින් සිදු වූයේ මහා බියකරු අපරාධයකි. කෙලෙස් ප්‍රහාණය කළ කැලණිතිස්ස මහ රහතන් වහන්සේ තෙල් කටාරමක දමා ජිවිතක්ෂයට පත් කිරීම මහ පොළොව නො උසුලන පාපතර කි‍්‍රයාවක් විය. මෙම කි‍්‍රයාවෙන් මිහිකත කම්පාවට පත්ව වෙව්ලන්නට වූවා ය. ඒ සමඟ ම මහා බියකරු හඬක් නංවමින් මහ මුහුද ගොඩ ගලන්නට පටන් ගත්තේ ය. කැලණිය ප්‍රදේශයේ සිට හලාවත දක්වා වූ ප්‍රදේශය වට කරගෙන මුහුද ගලා ආ බව වංශ කතාවල සඳහන් ය.

මුහුද ගොඩ ගැලීම හේතුවෙන් මිනිස් ජීවිත දහස් ගණනින් විනාශ වන්නට විය. ගෙවල් දොරවල් කඩා වැටෙන්නට විය. ගව ආදී සතුන් හා කෙත් වතු ද මහා විනාශයකට පත් විය.

රජමාලිගය වැටලීම

මුහුදු ගොඩගැලීමෙන් බියට පත් රටවැසියෝ රජ මාලිගය වට කළහ. “රජතුමනි මුහුද ගොඩ ගලනවා. එය වහා නවත්වා රටත් රටවැසියාත් බේරා ගැනීම සඳහා පිළියම් යොදන්න‘ යැයි ජනතාව මහ හඬ නඟා කෑ ගැසූහ. බියටත්, කලබලයටත් පත් කැලණිතිස්ස රජතුමා වහා නිමිති කියවන්නන් කැඳවා මීට හේතුව විමසීමට කටයුතු කළේය.

ඉතා නිර්දෝෂී මහරහතන් වහන්සේ නමක් නිරපරාදේ උණු තෙල් කටාරමේ දමා මරණයට පත් කිරීමේ අපරාධය නිසා මුහුදු රකුසා කෝප වීම හේතුවෙන් මහ මුහුද ගොඩ ගලන්නට පටන් ගෙන ඇති බවත්. මුහුද ගොඩ ගැලීම නැවතීමට නම් රජතුමාට දාව උපන් දරුවකු මුහුදු රකුසාට බිළි කළ යුතු බවත් නිමිති කියවන්මෝ ප්‍රකාශ කළ හ.

නිකිණි පුර පසළොස්වක

  අගෝස්තු 21 සෙනසුරාදා අ.භා 19.00 පසළොස්වක ලබා 22 ඉරිදා අ.භා 17.31 ගෙවේ.
ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]