[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

 නිකිණි පුර පසළොස්වක 2021.08.22

දෑස් හැර බැලීම

තථාගතයන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයේ සැදැහැති බොහෝ ජනයා දහම් අසනු රිසියෙන් එහි පැමිණෙති. දිවා කල වැඩ කටයුතු නිමවා රාති‍්‍රයේ දහම් ඇසීමට යෑම බොහෝ අයගේ පුරුද්ද ය. මේ අතර සැදැහැති වෙස්ගත් සොරු ද වූහ. ඔවුහු ධර්මය අසන මුවාවෙන් පැමිණ බණ අසන අයගේ විවිධ බඩු භාණ්ඩ සොරා ගත්හ.

දිනක් මිතුරු සොරු දෙදෙනෙක් එහි ආහ. දහම් අසන බව හඟවමින් පිරිසට එක් වූහ. මේ අතර එක් සොරකුගේ සිත දහමේ ඇළුණි. හේ සෝවාන් ඵලයට ද පත්වුණි. ඔහු සොරකම අමතක කොට දෑතේ මහන්සියෙන් දරු පවුල පෝෂණය ‍කරන්නට සිතුවේ ය. ඒ බව තම බිරිඳට ද කීවේ ය. ඒ දැනගත් ඇය බොහෝ කෝප විය. එදින ඒ නිවෙසේ බත් පිසුණේ නැත. දරුවන් ද කුසගින්නේ ය. ඇය සැමියා ට දොස් නැඟුවේ සොරකමේ ගිය අනෙක් මිතුරාගේ හොඳ කියමින් නුවණැති අයගේ දරුවන්ට බත් හිඟ නොවන බව පවසමිනි.

මේ පුවත බුදුරදුන්ට සැළ කළ අවස්ථාවේ උන්වහන්සේ දේශනා කොට වදාළේ බාලයා හෙවත් අනුවණ පුද්ගලයා තමන්ගේ අනුවණකම දැන ගනී නම් එයින් ම ඔහු පණ්ඩිතයෙක් වන බවය. තමන් පණ්ඩිතයෙකැයි සිතන මෝඩයා ඒකාන්තයෙන් ම මෝඩයෙක් වන බව ය.

වැඩි පිරිසක් ජීවිතය අභාග්‍ය සම්පන්න කර ගන්නේ මේ සොරාගේ බිරිඳ මෙන් වැරැදි ආකල්පයේ ම සිටින නිසා ය. එවැන්නන්ට නිවැරැදි අය පෙනෙන්නේ ද වරදකරුවන් ලෙස ය.

තමන් පමණක් සියල්ල දන්නවා යැයි උඩඟු සිතින් වරද ම කරන එවැන්නෝ තමන් විසින් තමන්ගේ ම විනාශය ළඟාකර ගනිති. මනුෂ්‍ය ජීවිතය දුර්ලභ ව ලබාගත හැකි සම්පතකි. එයින් නිසි ප්‍රයෝජනගත හැකි වන්නේ ද, විනාශය කරා ගෙන යා හැකි වන්නේ ද මිනිසත් බව ලැබූ අපටම ය. නුවණ අවැසි වන්නේ ඒ මඟ තෝරා ගන්නට ය.

තථාගත දේශනාවේ සඳහන් වන්නේ යම් දෙයක් කරන්නට කියන්නට පළමුව තමන් දෙස බලන ලෙසට ය. එනම් කරන කියන දෙයින් තමන්ට යහපතක් සිදුවේ ද, අයහපතක් වේද, කවරාකාරයේ විපාකයන්ට මුහුණ දෙන්නට වේද, ආදී ලෙස හොඳීන් විමසා බලන ලෙස ය. අයහපතක් විනාශයක්, අපහාසයක් වේ නම් ඒ කි‍්‍රයාව නොකළ යුතු බවය.

එහෙත් ඇතැම් කෙනෙක් තෝරාගන්නේ මෙහි අනෙක් පැත්තය. අද අප සමස්තයක් ලෙස මුහුණ දෙන ප්‍රශ්න ගැටලු මේ නිසා ය. වර්තමානයේ අප මුහුණ දෙමින් සිටින ඉතා දරුණු රෝග ව්‍යසනය ම උදාහරණ කොට ගත හැකි ය. ඒ විනාශය අපවෙත ළඟා කර ගනු ලබන්නේ ද අප විසින් ම ය. වෛරසයෙන් බේරී සිටීමට දැන උගතුන්ගෙන් කොතෙකුත් අවවාද, උපදෙස් ලැබේ. එහෙත් දිනෙන් දින රෝගයට ගොදුරු වන්නෝ වැඩිය. ඒ අන් කිසිවක් නොව උපදෙස් නොපිළිපැදීම නිසා ය. තමන් කරන දෙය පිළිබඳ නොසිතා බැලීමේ වරද නිසා ය. එය සුළුපටු වරදක් නොවන්නේ රටක් ජාතියක් ලෙස සමස්තයට ම අනිටු විපාක විඳීන්නට වන නිසා ය.

තමන්ගේ ම යැයි බුද්ධියක් විනයක් නොවේ නම් ධර්මයෙහි ඒ තැනැත්තා සමාන කරන්නේ වනයේ හැසිරෙන අන්ධ ගොනකුට ය. සමාජයේ බොහෝ අය හැසිරෙන්නේ ද අන්ධ ගොනුන් සේ වන බව ය. මේ සදූපදේශ අප හොඳීන් අවධාරණයට ගත යුතුව තිබේ. පෙනෙන දේ හොඳීන් දකින්නට අපට දෑස් ලැබී තිබේ. සිතා බලන්නට උසස් මනසක් ලැබී තිබේ. ජීවිතයේ සෑම කටයුත්තක් ම හොඳීන් දෑස් හැර, විමසා බලා කරන්නටත්, මෙතෙක් වැරැදි සිදු වූවා නම් ඒවා නිවැරැදි කර ගන්නටත් ධර්මයෙහි අපට මඟ පෙන්වා තිබේ. අද නිකිණි පුන් පෝදා ඒ අධිටනින් ජිවිතය සුවපත් කර ගන්නට විරිය වඩමු.

නිකිණි පුර පසළොස්වක

  අගෝස්තු 21 සෙනසුරාදා අ.භා 19.00 පසළොස්වක ලබා 22 ඉරිදා අ.භා 17.31 ගෙවේ.
ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]