[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රාජධානියෙන් රාජධානියට දළදා සමිඳුන් උදෙසා පැවැත්වූ පෙරහර අසිරිය

රාජධානියෙන් රාජධානියට දළදා සමිඳුන් උදෙසා පැවැත්වූ පෙරහර අසිරිය

සෙංකඩගලපුර වාර්ෂික ඇසළ පෙරහර පෙරහර මංගල්ලය වූ කලි ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමකොට සලකන පරම පූජනීය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි මහත් ශ්‍රද්ධා භක්තියෙන් ඉෂ්ඨ සිද්ධ කරනු ලබන උත්තම පූජෝපහාර මංගල්ලයෙකි.

මෙම අසිරිමත් පෙරහර මංගල්ලයේ ආරම්භය අනුරපුර කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු සමයෙහි ක්‍රි.ව. 310 වැන්නේ දී සිදුවූ බව දාඨා වංශය, මහාවංසය ආදී මූලාශ්‍රයන්ගෙන් හෙළි වේ. මේ පිළිබඳ සජීවී තොරතුරු රැසක් පස්වන සියවසේ දී පමණ මෙහි පැමිණි චීන ජාතික ෆාහියං භික්ක්ෂුවගේ දේශාටන වාර්තාවෙහි විස්තර වේ.

එහි එන තොරතුරුවලට අනුව ඇතෙකු පිට නැඟි, රාජ ඇඳුම් ලාගත් රාජ පුරුෂයකු දළදා පෙරහරට හා ප්‍රදර්ශනයට දස දිනකට පෙරාතුව අණබෙර ගැසීමෙන් මෙසේ විස්තර කරයි. “පින්වතුනි, අද සිට දින දහයක් ගිය තැන බුදුන් වහන්සේගේ දන්ත ධාතුව පිටතට ගෙන අභයගිරි විහාරය කරා වැඩම කරවනු ලැබේ. පින් රැස්කර ගැනීමෙහි කැමති ගිහි පැවිදි සියල්ලෝ මං සම කෙරෙත්වා. නුවර කෝවේ මාවේ සරසත්වා. හැකි හැම අයුරකම සුවඳ දුම් මල් ඈ පූජා ද්‍රව්‍ය පිළියෙල කර ගනිත්වා”යි සන්නිවේදනය කරයි.

පෙරහර ගමන් ගන්නා මඟ බුදුන් වහන්සේගේ බෝධි සත්ව චරිතයෙහි එන ජාතක කතා පිළිබඳ සිතුවම්, ප්‍රතිමා රූපයන් මග දෙපස තැන්පත් කළ බව දැක්වෙයි.

උතුම් දළදා වහන්සේ වඩාහිඳවා තිබූ අනුරපුර ඇතුල්නුවර ‘ධම්මචක්කගේහය’ හෙවත් ‘දාඨාධාතුඝරය’ නමින් එවකට හැඳීන්වූ දළදා මන්දිරයෙන් පිටතට වැඩමවා ප්‍රධාන මාර්ගය දිගේ අභයගිරි විහාරස්ථ සුදර්ශන ශාලාවෙහි තැන්පත් කොට දින අනූවක් තිස්සේ ප්‍රදර්ශනය කොට පූජා පැවැත්වූහ. ඉන්පසු යළි පෙරහර අනුරපුරයට වැඩමවා දන්තධාතු මන්දිරයේ ධාතූන් වහන්සේ තැන්පත් කිරීමෙන් පෙරහර අවසන් කළහ. මින් විස්තර වන්නේ අනුරපුර යුගයේ පැවති දළදා පෙරහර විදෙස් භික්ෂූන් වහන්සේ නමක් දුටු සත්‍ය පුද පෙරහරක තොරතුරු ය.

අනුරපුරයෙන් ඇරැඹුණු දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්ලයේ සුවිශේෂත්වය වන්නේ රාජ නියමයෙන් රාජධානියෙන්, රාජධානියට වසර එක්වා දහස් සත්සිය එකොළොස් වසරක් පුරාවට මෙම උතුම් පෙරහර මංගල්ලය ඉපැරැණි පුද සිරිත් අනුව පවත්වාගෙන විත් ජාතියේ උරුමයක් වශයෙන් පැවත ඒමයි. අනුරපුරයෙන් පසු පොළොන්නරු යුගයේ දී මහාවංශයේ එන මහා පරාක්‍රමබාහු (1158-1186) රජු දවස ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි පැවත්වූ පෙරහර පුද පූජා පිළිබඳ තොරතුරු වඩාත් විචිත්‍රවත් ය.

මෙසේ පෙරහර ගමන් කරන විට අකාල මේඝයක් ඇදහැලී පෙරහර යන මග ඇරුණු කොට අන් සියලු තැන්හි වැව් අමුණු පිරී යන සේ ගංවතුර ගලා ගියේ ය. මේ අනුව වැසි වසින බවට පැවති විශ්වාසය පොළොන්නරු රාජධානි සමයෙහි සිට වඩාත් තහවුරු වෙමින් පැවත ගෙන විත් අදටත් පෙරහර පැවැත්වීමෙහි එක් අරමුණක් වශයෙන් දළදා වහන්සේ විෂයෙහි පූජෝපහාර පෙරහර පැවැත්වීමෙන් කලට වැසි ලැබී රට සමෘද්ධිමත් වන බවට ඇති විශ්වාසයන් තහවුරු වී ඇත.

පොළොන්නරු රාජධානියට එල්ල වූ කුරිරු කාලිංඝ මාඝ ආක්‍රමණිකයාගේ දරුණු ව්‍යසනයෙන් අනතුරුව තුන්වන විජයබාහු රජුගේ (1232-1236) සමයේ දී දඹදෙණි රාජධානිය ඇරඹිණ. දඹදෙණියේ රජ වූ තුන්වන විජයබාහු රජතුමාට, පෙර පැවති කාලිංඝ මාඝ ආක්‍රමණයේ දී දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේගේ ආරක්‍ෂාව පිණිස මහසඟරුවන විසින් ධාතූන් වහන්සේ සඟවාගෙන ගොස් කොත්මලේ පව්වෙහි තැන්පත් කොට ඇති පුවත දැනගන්නට ලැබී මහපෙරහරින් කොත්මලේ පව්වට ගොස් ධාතූන් වහන්සේ දැක මහත් ප්‍රමුදිත වූ සිත් ඇතිව එහි සිට දඹදෙණිය දක්වා එම ධාතූන් වහන්සේලා වැඩම වූ ආකාරය මහාවංශයේ හා රාජාවලියේ විස්තර කරයි.

පෙරහර සම්බන්ධයෙන් දඹදෙණි යුගය, අතිශය වැදගත් සහ වඩාත් ප්‍රමාණාත්මක විස්තර රාශියක් හමුවන යුගයක් ලෙස සඳහන් කළ හැකි ය. දඹදෙණියේ රජ කළ විශිෂ්ඨතම නරපති ලෙස සැලකෙන දඹදෙණියේ දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ සමයේ (1236-1270) දී ඉතා උත්කර්ෂවත් පරිද්දෙන් දළදා පූජෝපහාර පැවැත් වූ වග මූලාශ්‍රයන්ගෙන් හෙළි වෙයි.

දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා බෙලිගල පව්වේ පිහිටි දළදා මැදුරේ තැන්පත් කොට තිබූ දළදා වහන්සේ දඹදෙණියට වැඩමවා දළදා පෙරහර අති උත්කර්ෂවත් ලෙස පැවැත්වූ බව සමකාලීන වංශකතා සහ මූලාශ්‍ර මඟින් පැහැදිලි වේ.

යාපහුව රාජධානිය කරගත් පළවෙනි බුවනෙකබාහු රජතුමා (1273-1276) ශාසනයේ උන්නතියට මහත් වූ කටයුතු කරමින් දිනපතා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි මහා පූජා පැවැත්වූ වග සඳහන් වෙයි. යාපහුවේ විසිතුරු දළදා මාළිගාවක් ගොඩනංවා දළදා පෙරහර ද අසිරිමත් ලෙස පැවැත්වූ බවත් එම පෙරහරට ඇතුන් මෙන්ම අසුන් ද සහභාගි වූ බවත් ප්‍රකටව පවතී.

දළදා පෙරහරෙහි පැවති සුවිශේෂත්වය වඩාත් ඉස්මතු කෙරෙන රාජධානියක් වනුයේ කුරුණෑගල රාජධානියයි. දෙවැනි භුවනෙකබාහු (1293-1302) රජු ඇරඹූ මෙම රාජධානියෙහි රජ පැමිණි සිවුවන පරාක්‍රමබාහු (1302-1326) රජ සමයෙහි රචිත දළදා සිරිත නමැති ග්‍රන්ථයෙහි සඳහන් ව්‍යවස්ථාවන්ට අනුව එවකට පෙරහර පැවති ආකාරය මෙසේ විස්තර වේ.

“නගරය දෙව්පුරයක් සේ සරහා උතුරුමුඵ අයතැන් සිටිතැන් ගණවැසි, කිලිං දෙකුලයෙන් නිස්සන් සමඟ වැඩහුන් කරඩුව ගඳ කිලියෙන් මෑත් කොට විසිතුරු කොට සරහන ලද රථයෙහි භද්‍රාසනයට වඩා ගණවැසි කිලිං දෙකුලයෙන් දෙන්නකු කරඬුව වඩා යන ලෙස රථයට නැංවූහ.

සුබ ලකුණෙන් යුත් මහා ඇතකු රථයෙහි යොදා ඒ රථය පළමු කොට ගමන් කරවා සුපිළිපන් මහ සඟන පිළිවෙලින් රථයෙහි බඳ පිරිත් හුය ගෙන පිරිත් කෙරෙමින් වැඩම කරවූහ.

“දළදා සිරිතෙහි එන එම පෙරහර චාරිත්‍ර බොහෝමයක් අඛණ්ඩ ව අද දක්වාත් පැවතගෙන ඒම ජාතියේ අභිමානයට හේතු වේ.

දළදා සිරිතෙහි දළදා පෙරහරට හා ප්‍රදර්ශනයට පළමුව හා පසුව සිදු කළ යුතු වතාවත් රාශියක් ඇතුළත් කර ඇත. එම සිරිත් විරිත් හා වතාවත් පිළිබඳ පැනවූ ව්‍යවස්ථාවන්ට අනුව එකල ද දළදා පුද සිරිත් අසිරිමත් ලෙස පැවැත්වූ බව ඒ අනුව පැහැදිලි වේ. මෙලෙස ඉතා පැහැදිලිව ඒ ඒ අවස්ථාවන්හි දී දළදා වහන්සේ විෂයෙහි කටයුතු කළ යුතු ආකාරය ගැන ව්‍යවස්ථා පනවා තිබීමෙන් කුරුණෑගල යුගයේ දී මනා සංවිධානයකින් යුක්තව පෙරහර හා සෙසු පූජා චාරිත්‍ර මනාකොට පැවැත් වූ බව සලකාගත හැකි ය.

කුරුණෑගල යුගයෙන් අනතුරුව මහනුවර යුගය දක්වා කාලය තුළ රටේ පැවති පරසතුරු උවදුරු හේතුවෙන් දළදා පෙරහරෙහි කටයුතු පෙර තරම් උත්කර්ෂවත් විචිත්‍ර සහ සංවිධානාත්මක ආකාරයෙන් පැවැත්වීමට අසීරු වුවද චිරාගත සම්ප්‍රදායික පෙරහර මංගල්ලය අතිඋතුම් දළදා වහන්සේ විෂයෙහි උත්තම පූජාවක් වශයෙන් අඛණ්ඩව පවත්වාගෙන ආ වග දක්නා ලැබේ. කෙසේ නමුත් අපේ මහ සඟරුවන, ජීවමාන බුදුන් වහන්සේ හා සමකොට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි පැරණියේ පටන් පවත්වාගෙන ආ චිරාගත සම්ප්‍රදායික පූජා චාරිත්‍ර විධි කඩ නොකොට පැවැත්වීමට එවකට සිටි නරපතියන් ද වගබලා ගත්හ.

ගම්පොළ යුගයේ දී අලගක්කෝනාර හෙවත් පස්වෙනි භුවනෙකබාහු රජතුමා (1372-1408) ද දළදා වහන්සේ විෂයෙහි මහත් ශ්‍රද්ධාවෙන් කටයුතු කර ඇති බවට තොරතුරු සඳහන් වෙයි. “රිදී සත් දහසකින් කරඬුවක් කරවා එහි දංෂ්ට්‍රා ධාතූන් වහන්සේ වැඩමවා සාදරව අනව රථයෙන් ධාතු පූජා කරනු ලබන්නේ.....” යන විස්තරයෙන් පැහැදිලි වන්නේ පෙර සිට පැවත ආ දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්ලය මෙකල ද අසිරිමත් ලෙස පැවති බව ය.

ඉන්පසු කෝට්ටේ රාජධානිය කර ගත් හයවන පරාක්‍රමබාහු රජතුමා (1412-1467) ද බුදුසසුන විෂයෙහිත්, දළදා වහන්සේ විෂයෙහිත් පැවති පුද සිරිත් අසම්භින්නව පැවැත්වූ වගට පැහැදිලි කරුණු වංශකතා මගින් අවධාරණය කර තිබේ.

සීතාවක රාජ්‍ය සමය ලක්දිව ඉතිහාසයේ දේශපාලනික වශයෙන් වියවුල් සහගත වූත් වංශකතා මූලාශ්‍ර ආදිය සම්බන්ධයෙන් වූත් යම් අඳුරු කාලයක් වශයෙන් සැලකිය හැකි ය. සම්බුද්ධ ශාසනයේ උන්නතියට වඩා පරිහානියට මඟ සැලසුණු පරිසරයක් එම යුගය තුළ පැවති බව අධ්‍යයනය කළ හැකි ය. එසේ වුවත් කෙසේ හෝ බුද්ධ ශාසනය අසම්භින්නව පවත්වාගෙන ඒමට කටයුතු කළ රාජ්‍ය නායකයන් හා ප්‍රාදේශීය නායකයන් භික්‍ෂූන් වහන්සේලා ප්‍රමුඛ කොට ගෙන මේ යුගය තුළ ද දළදා වහන්සේගේ ආරක්‍ෂාවත් ගෞරවයත් පිළිබඳව කටයුතු කර ඇති බව පැහැදිලි වේ.

සීතාවක රාජසිංහ රජු දෙල්ගමුව රජමහා විහාරයේ සිට දළදා වහන්සේ සපරගමු මහසමන් දේවාලය වෙත වැඩමවා වාර්ෂික දළදා පෙරහර පැවැත්වූ වග ‘සමන් වෙහෙර පැරණි ලේකම් මිටියේත්,’ ‘සමන් සිරිත’ නම් ඉපැරණි ග්‍රන්‍ථයේත් සඳහන් බව කිරිඇල්ලේ ඤාණවිමල හිමි සිය ‘සපරගමු දර්ශන’ ග්‍රන්‍ථයේ සඳහන් කරයි.

එහි සඳහන් ආකාරයට දෙල්ගමු විහාරයේ එවකට වැඩසිටි කීර්තිමත් මහතෙර නමක් වූ මහින්දාලංකාර නම් සිල්වත් ස්ථවිරයන් වහන්සේගේ මූලිකත්වයෙන් සීතාවක රාජසිංහයන් (ක්‍රි.ව. 1581-1592) සිය එකොළොස් වසරක රාජ්‍ය කාලය තුළ එකොළොස් වතාවක්ම දළදා පෙරහර පැවැත්වූ බව දක්වයි. එයින් නොනැවතී

සමන් වෙහෙරට හා සමන් දේවාලයට ගම් හයක් සහ නෙළුම්දෙණියෙන් නවඅමුණකුත් නින්දගම් දහසයකුත් පිදූ බව ද සඳහන් වේ. ඒ අනුව සීතාවක රාජ්‍ය සමය අතිශය වියවුල් සහගත කාලයක් වුවත් දළදා පෙරහර නොකඩවා පැවැත්වීමට කටයුතු කර තිබීමෙන් පැහැදිලි වන්නේ මෙය සිරිතක් සහ වගකීමක් වශයෙන් සෑම රාජධානියක් තුළම අඛණ්ඩ ව පවත්වාගෙන ඒමට සියලු දෙනා කටයුතු කර ඇති බවයි. සෙංකඩගලපුර වාර්ෂික ඇසළ පෙරහර

ව්‍යවහාර වර්ෂ 1592 දී පළමු වන විමලධර්මසුරිය (1592-1604) රජතුමා ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගල පුර රාජධානියට වැඩම වීමෙන් අනතුරුව ඇසළ පෙරහර මංගල්ලය සෙංකඩගල පුරයෙහි ද පවත්වාගෙන ආ බව සලකා ගත හැකි ය. පෘතුගීසීන් උඩරටින් පන්නා දමා උඩරට සිංහල රාජධානිය ආරම්භ කළ පළමුවන විමලධර්මසූරිය රජතුමා තම රාජ්‍ය උරුමය තහවුරු කර ගැනීම සඳහා එතෙක් දෙල්ගමුව රජ මහවෙහෙරෙහි කුරහන් ගල් කරඬුවෙහි සඟවා තිබූ දළදා වහන්සේ මහපෙරහරින් මහනුවරට වැඩම වූ බව මූලාශ්‍රයන්ගෙන් හෙළි වේ.

දෙවන රාජසිංහ (1635-1687) රජු දවස රොබට් නොක්ස් දුටු පෙරහරේ ඇත්තු 40 ක් පමණ ද, බෙර දවුල් තම්මැට්ටම් වයන්නවුන් ද, නැට්ටුවෝ ද පෙරහරේ ගමන් කළහ. බඳ දෙපස එල්ලෙන මිණි ගෙඩි සහිත අලි ඇතුන් හතළිස් ගණනක් පෙරහරේ ගමන් කරන බවත් පෙර රජ දවස සිටි යෝධයන් හා සමානව සැරසුණු නළුවන් ද ගමන් කරන බවත්, බෙර දවුල් තම්මැට්ටම් සමුද්‍ර ඝෝෂාවට සමාන අයුරින් වාදනය කරන බවත්, නැට්ටුවන්ට අමතරව කළගෙඩි සෙල්ලම් කරන ස්ත්‍රීන් ද දුටු බවත් නොක්ස් සිය විස්තරයේ සඳහන් කරයි.

මුල් කාලයේ දී රජතුමා ද තම සෙන්පතිවරු පිරිවරා පෙරහර පසුපසින් අසු පිට ගමන් කළ බවත් පසුකාලීනව එම සිරිත අනුගමනය නොකළ බවත් නොක්ස් දක්වයි. මෙම ඇසළ උළෙල සකල උත්සවශ්‍රී විභූතියෙන් පැවැත්වූ බව නොක්ස් වැඩිදුරටත් විස්තර කරයි. දළදා වහන්සේ විෂයෙහි පැවැත් වූ වාර්ෂික චිරාගත සම්ප්‍රදායානුගත දළදා පෙරහර පිළිබඳ විස්තර මෙහි හෙළිනොවන නමුත් එවකට දළදා වහන්සේ විෂයෙහි එතෙක් සිදුකරගෙන ආ වාර්ෂික දළදා පෙරහර නොපැවැත්වූවා යැයි එක්වරම නිගමනය කළ නොහැකි ය. එය විචිත්‍රවත් ලෙස පැවැත්වීමට නොහැකි වුවද දළදා මාළිගා අභ්‍යන්තරයෙහි හෝ දළදා සමිඳු විෂයෙහි පූජෝපහාරය පිණිස නොකඩකොට පැවැත්වූවා යයි සලකා ගැනීම උචිත ය.

සෙංකඩගලපුර දළදා පෙරහර වර්තමානයෙහි දක්නා පරිදි සංවිධානය වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව 1747 - 1781) රජු දවස ය. ඒ රාජ්‍ය වර්ෂ 1753 වැන්නේ ස්‍යාමොපසම්පදාව සඳහා සියම් දේශයේ සිට වැඩම කළ ප්‍රවර උපාලි මහතෙරුන් වහන්සේ හා බෝධිසත්ව ගුණෝපේත අසරණ සරණ වැලිවිට සරණංකර සඟරජ හිමියන් විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජුට දෙන ලද උපදෙසට අනුව දළදා පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සිවුමහා දේවාල පෙරහර ගමන් කරනා පෙරහර ඇරඹීම සිදුවීමයි.

එතැන් සිට අද දක්වාම මෙම පෙරහර මංගල්ලය චිරාගත සම්ප්‍රදායානුකුලව ශ්‍රී දළදා මාළිගාව පෙරටුකොට පැවැත්වීම සිරිතයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් සිදුකරනු ලැබූ දළදා පෙරහර පිළිබඳව අසිරිමත් විස්තරයක් මහාවංශයෙන් හමුවේ.

“කීර්ති ශ්‍රී රාජසිංහ නරේශ්වර තෙමේ වර්ෂයක් පාසා පවත්වන්නා වූ ඒ ඇසළ මහා පූජා පෙළහර බුද්ධ පූජා පෙරටු කොට පවත්වන්නට සිතා මංගල හස්තියා පිට ස්වර්ණ කර්මයෙන් සුනිර්මිත සිවිගෙය මොනවට බැඳ ලෙස ඉතා විචිත්‍රවත් සහ අංග සම්පූර්ණ ගාම්භීර දළදා පෙරහරක් පැවැත් වූ අයුරු දැක්වේ. අදටත් වාර්ෂික ඇසළ පෙරහර මංගල්ලය හා සෙසු පෙරහර මංගල්ලයන් හි මංගල හස්ති රාජයා පිට වැඩමවනු ලබන ස්වර්ණමය පෙරහර කරඬුව, ස්වකීය අගමෙහෙසියගේ මාල පළඳනාවන්ගෙන් විසිතුරුකොට පූජා කළේ මේ රජතුමා ය.

මෑත ඉතිහාසය දක්වාම පෙරහර කරඬුව වැඩමවීම සඳහා ඇතුපිට තැන්පත් කෙරෙන රන්හිලි ගෙය හෙවත් රන්සිවි ගෙය පූජා කළේ ද මෙතුමා විසිනි. මෙම රන්හිලි ගෙය දැනට සිරි දළදා කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.

මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් පසු මහනුවර අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වා ලක්දිව රජ පැමිණි සෙසු නරපතියන් විසින් ද වාර්ෂික දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්ලය අඛණ්ඩව පැවැත්වූහ.

මෙකී සියලු රජ දරුවන් විසින් දළදා වහන්සේ විෂයෙහි පූජෝපහාරය පිණිස දළදා පෙරහර පෙරටු කොට සිවුමහා දේවාලයන්හි දෙවියන් විෂයෙහි පවත්වන භක්ති ප්‍රණාම පෙරහර පූජෝත්සවය අඛණ්ඩව පැවැත්වීම සිරිතක් කොට ගත් බව පෙනේ.

මහනුවර අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට පසු ව්‍යවහාර වර්ෂ 1815 මාර්තු 2 වන දින උඩරට ගිවිසුමෙන් සිංහලයේ පාලනය භාරගත් ඉංග්‍රීසීහු ගිවිසුමේ සඳහන් පොරොන්දු කඩ කරමින්, වර්ෂ 1818 ඌව වෙල්ලස්සේ පැවති කැරැල්ල මුල් කොට පෙරහර පැවැත්වීම වසර දහයක් ම තහනම් කළහ. එසේ වුව ද මහසඟරුවන හා දියවඩන නිලමේවරු දළදා මාළිගාව අභ්‍යන්තරයේ හෝ පෙරහර පුද සිරිත් පැවැත්වූහ. මෙම තහනමෙන් පසු යළි පෙරහර වීදි සංචාරය කිරීම ඇරඹුණේ, මුලු රටම මහා නියඟයකින් පීඩා විඳීමට පටන් ගත් විට, ව්‍යවහාර වර්ෂ 1828 දී සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයාගේ ඉල්ලීමක් මත ය.

මෙසේ රාජධානියෙන් රාජධානියට, පරපුරෙන් පරපුරට පවත්වාගෙන එනු ලබන මෙම විශිෂ්ට සංස්කෘතික දායදය වර්තමානයෙහි සුරක්ෂිත කොට අභිවර්ධනය කර ගැනීමට බොහෝ සෙයින් දායක වූයේ ශ්‍රී දළදා මාළිගාව හා මල්වතු - අස්ගිරි උභය මහා විහාරයයි.

මෙම පූජෝත්සවය උත්තම දළදා වහන්සේ විෂයෙහි කෙරෙන පූජෝපහාරයක් වශයෙන් ද, සිවුමහාදේවාලයන්හි වැඩ සිටින්නා වූ නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන දෙවිවරුන් විෂයෙහි සිදුකරනු ලබන්නා වූ භක්ති ප්‍රණාම පූජාවක් වශයෙන් ද, කලට වැසි ලැබ රටේ සමෘද්ධිය හා සෞභාග්‍යය ඇතිකරගනු පිණිස ද, පැවැත්වෙන ආගමික පූජෝත්සව මංගල්ලයක් මෙන්ම හෙළ කලාවේ උදාරත්වය කියාපාන උඩරට නැටුම්, වැයුම්, ගැයුම් කලා ශිල්පීන්ගේ අදීන කලා කුසලතාවය ද ලොවට ප්‍රදර්ශනය කරනු ලබන්නක් වේ.

වර්තමාන ඇසළ පෙරහර මංගල්ලය සංවිධානය කෙරෙනුයේ මල්වතු - අස්ගිරි උභය මහා විහාරයේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි, දියවඩන නිලමේතුමන්ගේ සංවිධානත්වයෙන්, ශ්‍රී දළදා මාළිගාවේ නැකැත් මොහොට්ටාල ලවා සකසනු ලබන සුභ නැකැත් පත්‍රයකට අනුව ය.

ඉන් අනතුරුව පළමුව සිරිත් පරිදි සුභ නැකතින් පේකොට තබන ලද පණස වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිවු මහා දේවාලයන් ප්‍රධාන කොට ඇති සියලු විහාර දේවාලයන් පූර්වාභිමත් ව ඇසළ කප් සිටුවීමෙන් පෙරහර ආරම්භ කෙරේ.

එදින සිට අභ්‍යන්තර පෙරහර පහක් ද, වීදි සංචාරය කෙරෙන කුඹල් පෙරහර පහක් ද, රන්දෝලි පෙරහර පහක් ද, දියකැපුම් පෙරහරක් ද, දහවල් පෙරහරක් ද, වළියක් නැටුම ද පැවැත්වීමෙන් පෙරහර සමාප්ත වේ.

ලක්දිවට දළදා වහන්සේ වැඩමවූ තැන් පටන් මහත් ශ්‍රද්ධාව හේතු කොට ගෙන නර ජ්‍යෙෂ්ඨයන් මෙන්ම සාමාන්‍ය ප්‍රජාව කෙරෙහි ද පරම පූජනීය දළදා වහන්සේ විෂයෙහි අසීමිත ගෞරවයක් හා විශ්වාසයක් ගොඩනැඟිණ. එම විශ්වාසයන්ට අනුව රටට නියඟය, දුර්භික්ෂ, රෝග බිය වැනි ව්‍යසන ඇති වූ සෑම අවස්ථාවකම අතිඋතුම් දළදා වහන්සේ විෂයෙහි පූජෝපහාර පුදපූජා පැවැත්වීමෙන් කලට වැසි ලැබී සමෘද්ධිය සෞභාග්‍යය ඇති වී දුර්භික්ෂ, රෝග බිය ආදී ව්‍යසන දුරු වී සුව සෙත ශාන්තිය ඇතිවන බවට පරම විශ්වාසයක් ජන මනස තුළ තහවුරු වී ඇත.

අනුරපුර පළවෙනි උපතිස්ස රජු (ක්‍රි.ව. 367-409) සමයේ දළදා වහන්සේ උදෙසා පූජෝපහාර දක්වා, එවකට ඇතිව තිබූ නියඟය, දුර්භික්ෂය, රෝබිය මඟහරවා ගත්තාක් මෙන් එතැන් පටන් බොහෝ රජුන් දවස පමණක් නොව, බටහිර ඉංග්‍රීසි ආණ්ඩුකාර සර් එඩ්වඩ් බාන්ස් ක්‍රි.ව. 1828 දී එවකට පැවති දරුණු නියංසාය සහ රෝබිය සමනය කර ගැනීම සඳහා දළදා පූජෝපහාර පෙරහර මංගල්ලයක් පැවැත්වූ අයුරු සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් වැසිදියෙන් ගංගා ඇළ දොළ පිරී ඉතිරී නියඟය කෙළවර වී දුර්භික්ෂය රෝග බිය නිමා වූ ආකාරය අතීත ඉතිහාසයෙන් අනාවරණය වේ.

ජනතාව තුළ පවතින එකී පරම විශ්වාසය මුල් කොට ගෙන මෙවර මහාවිහාර වංශික ස්‍යාමොපාලි මහානිකායේ මල්වතු - අස්ගිරි උභය මහා විහාරයන්හි අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි කොවිඩ් - 19 දරුණු වසංගත රෝග බිය හමුවේ, පූජනීය දළදා වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කොට චිරාගත සාම්ප්‍රදායික පුදසිරිත් නොකඩ කොට ජනතා සහභාගිත්වයෙන් තොරව වුවද සෙංකඩගලපුර වාර්ෂික දළදා පූජෝපහාර පෙරහර මංගල්ලය සංවිධානය කොට ඇත.

මෙම පූජනීය දළදා පූජාව හේතුකොට ගෙන සමස්ත ලෝකවාසී ජනතාව මෙන්ම ලක්වැසි ජනතාව ද ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාදයෙන් සුඛිත මුදිත වී සෙත ශාන්තිය ලබත්වායි ප්‍රාර්ථනා කරමු.

නිකිණි පුර පසළොස්වක

  අගෝස්තු 21 සෙනසුරාදා අ.භා 19.00 පසළොස්වක ලබා 22 ඉරිදා අ.භා 17.31 ගෙවේ.
ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]