[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වැලිවිට අසරණ සරණ සරණංකර සිරි සංඝරාජ මා හිමි - 02

වැලිවිට අසරණ සරණ සරණංකර සිරි සංඝරාජ මා හිමි - 02

323 වන ජන්ම සංවත්සරය, 243 වන අනුස්මරණය හා මහා විහාරවංශික ස්‍යාමෝපසම්පදාවට වසර 268ක් සම්පූර්ණ වීම නිමිත්තෙනි.

මෙම ලිපියේ මුල්කොටස පසුගිය පොසොන් පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළ විය

දෙවැනි පරාක්‍රමබාහු රජතුමා දළදා වහන්සේ දඹදෙණියට වැඩමවා අතිශය බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුක්තව දළදා වහන්සේ සියතට ගෙන, බිම්බිසාර ආදි රජවරු ද ඉන් පසුව ධර්මාශෝක රජතුමා ද, දුටුගැමුණු රජතුමාද කනිටුතිස්ස රජතුමා ද, බුදුරදුන් සියැසින් දුටුවාක් මෙන් තමන්ට ද දැකීමට ලැබේවා'යි සත්‍ය ක්‍රියා කළේ ය.

බුදුරජාණන් වහන්සේගේ රූපය සියැසින් දැක අසීමිත බුද්ධාලම්භන ප්‍රීතියට පත්ව සම්බුද්ධ ශාසනය වැඩිදියුණු කරමින් රජකීය කඨින පින්කම් ආදිය සිදු කරමින් පැරකුම්බා රජතුමා ශාසනයේ චිරපැවැත්ම සඳහා ඇති කළ කථිකාවතක් මෙන් දඹදෙණි කථිකාවතක් ද ඇති කොට සුවිශාල සේවයක් සිදු කළහ. මේ අයුරින් සම්බුද්ධ ශාසනයේ අනාගත සුරක්‍ෂිතතාවත් , පැවැත්මත් , වැඩිදියුණුවත් ප්‍රාර්ථනා කරමින් නීතිරීති පනවමින් පමණක් නොව ඒවා ශිලා ලේඛනවල පිහිටුවමින් දඩ නියම කරමින් (කහවනු පන්සියයක් හෙවත් රන් පවුම් හාරදහසක් වර්තමාන මුදලින් රුපියල් කොටි හතරක් “ මනි අගිය රජමහ වෙහෙර මනි අගිය පොහොත කර දඩපචශත මෙ සග අරබ ) මනි අගිය රජමහාවිහාරයෙහි (වර්තමාන සෝමවතිය විහාරය) පොහොය ගෙහි රාජකාරි නොකළොත් දඩය කහවුනු පන්සියයකි.

(මීන්විලු සෙල්ලිපිය, කණිට්ඨතිස්ස රජතුමා) ක්‍රි.ව. 164. හතරවන මිහිදු රජතුමා ක්‍රි.ව 975 අනාගතයේ රජදරුවෝ සංඝලාභයෙන් භෝග නොගනිත්වායි ගලක කොටවා (ශිලාලේඛනය) තැබීය.

මහනුවර සමය වන ශක වර්ෂ 1680 මැදපිටිය සන්නසේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ලියවා ඇත්තේ, “මේ කුඹුරු බුදුන්ට පූජා කරන ලදි. මින් මතු කිසිම රජ කෙනකු හෝ කුමරකු හෝ ඇමතිවරයකු හෝ ඒවා හිමි නොකර ගැනීම පිණිස තඹ සන්නස ලියවා ප්‍රදානය කොට ඇත. එහි සඳහන් වන්නේ මින් මතු කිසිවෙක් මෙම කුඹුරු වතුපිටිවලට ආසා කරමින් ඒවා හිම කර ගන්නට උත්සාහ නොකළ යුතු ය.

එසේ කරන තැනැත්තා සතර අපායෙන් එකක ඉපි ද දුක් විඳීනු ඇත. මතු පරපුර විසින් මෙම පුණ්‍ය ක්‍රියාව ආරක්‍ෂා කරමින් එහි ආනිසංසයෙන් දෙව් සැප හා නිවන් සැප ලබා ගනිත්වා යනුවෙන් ද සඳහන් කර ඇත. උරුලෑවත්ත සන්නසේ සඳහන් වන්නේ රජතුමා හෝ අන්කිසිවෙකු විසින් පුදන ලද විහාර ගම් බිම් බලෙන් අයිති කර ගන්නා තැනැත්තා අසූචි කන්දක පණුවෙක් වී ඉපි ද අවුරුදු හයදායක් පසු වන බව ය.

යම් කිසිවකු කෝටුවක්, දරලීයක්, තණපත්, ගෙඩියක් හෝ මලක් පවා ගත හොත් යොදුන් පනහක් හෝ හැටක් උස සිරුරකින් යුක්තව ඊට ම සරිලන උදරයකින් යුතු ව දුක් වේදනාවෙන් පෙළෙමින් සුසුම් හෙලමින් නෙතින් කඳුලු වගුරවමින් ඉවතලන ආහාර බිඳක් හෝ නොලබමින් ගංගා හා යමුනා ජලප්‍රවාහය උගුරෙන් ගලා ගියත් පිපාසය බිඳක් හෝ නිවා ගත නොහැකි වෙයි ආදි වශයෙන් දක්වමින් , විහාර දේපළ ආරක්‍ෂා කරන ඒවා වැඩි දියුණු කරන , තැනැත්තා සතර අපායේ නූප දී . ඒ වෙනුවට සුගතියක ඉපදී දෙව්මිනිස් සැප විඳීනු ඇත.

තව ද දායකයා දෙව්ලොව උපදින අතර ආරක්‍ෂකයා නිවන් සැප ලබනු ඇත. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කොටිකාපොළ ශ්‍රී සෝභිත මහානායක හිමියන් වෙත සිරිමල්වත්ත රජමහා විහාරය පුද කළ සන්නස් පත්‍රය අවසානයේ,

“තිණං වා යදි වා කට්ඨං - පුප්ඵං වා යදි වා ඵලං

යො හරෙ බුද්ධ භොගස්ස - මහා පෙතො භවිස්සති”

“ස්වදත්තං පර දත්තං වා - යො හරෙති වසුන්ධරං

සෂ්ටි වර්ෂ සහශ්‍රානි - විට්ඨායාම් ජායතේ ක්‍රීමිගා”

යනුවෙන් උක්ත විහාර සන්තක ඉඩම්වල තණකොළ හෝ දර හෝ මල් හෝ ගෙඩි හෝ බුදු රදුන් සඳහා නො දී පැහැර ගන්නේ නම් මහා ප්‍රේතයෙක් වන්නේ ය. තමන්ට හෝ අනුන්ට දෙන ලද ඉඩකඩම් ආදි පොළව යමෙක් පැහැර ගන්නේ නම් වසර හයදාහක් අවීචියේ පණුවෙක් ව ඉපදෙන්නේ ය.

මේ අයුරින් දේවානම්පියතිස්ස රජතුමාගේ පටන් සිංහලේ අන්තිම රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා දක්වා ම (රා.ව.1815) රාජ රාජමහාමාත්‍යාදි සැදැහැවතුන් විසින් වසර දෙදහස් එකසිය විසි දෙකක් මුළුල්ලෙහි සම්බුද්ධ ශාසනයේ වැඩි දියුණුවටත් සුරක්‍ෂිතතාවයටත් (උපසම්පදා භික්‍ෂූන් වහන්සේගේත්) සම්බුද්ධ ශාසනය සඳහා වෙහෙර විහාර ඉදිකොට ඉඩකඩම්, වැව් ඇළදොළ ආදිය පූජා කරමින් මතුවට ඒවා ආරක්‍ෂා වියු යුතු ආකාරයත් ඒවායේ උරුමය සම්බුද්ධ ශාසනයට ම හිමි විය යුතු යැයි සහතික කර ඇති ආකාරය පැහැදිලි වෙයි.

මහාවිහාර උපසම්පදාව

මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ දින සවස ම මිහින්තලේ දී භණ්ඩුක කුමාරයා ඇතුළු පනස් හය දෙනෙක් පැවිදි කොට උපසම්පදා කිරීමෙන් ආරම්භ කළ සම්බුද්ධ ශාසනය සියවස් ගණනාවක් (වසර 1300ක් පමණ) නිරුපද්‍රිතව පැමිණි අතර 11 වන සියවසේ දී සොළී ආක්‍රමණ හා පාලකයන්ගේ අභ්‍යන්තර ගැටුම් නිසා ජාතික ආගමික සංස්කෘතික දියුණව නැවතිණ. මහලු විජබා රජතුමාගේ ඥානාන්විත පාලනය හා මඟ පෙන්වීම නිසා සොළීන් පලවා හැර රට නිදහස් කර ගැනීමට හැකි විය. සම්බුද්ධ ශාසනය ද පිරිහී උපසම්පදා භික්‍ෂූන් සොයා ගැනීමට නොහැකි අවස්ථාවක රක්‍ඛංග දේශයෙන් භික්‍ෂූන් ගෙන්වා උපසම්පදාව නැවත ඇති කරලීය.

මහාපරාක්‍රම බාහු රජතුමා ද රට එක්සේසත් කොට මහාවිහාර, අභයගිරි, ජේතවන යන තුන් නිකායම සමඟි කරවා උපසම්පදාව වැඩි දියුණු කරවීය. දඹදෙණි යුගයේ දී දෙවැනි පරාක්‍රම බාහු රජතුමා මහාවිහාර උපසම්පදාව මහවැලි ගඟ දහස්තොට දී පවත්වා දඹදෙණි කථිකාවතක් ද ඇති කොට මහාවිහාර උපසම්පදාව රාජ සම්මතයෙන් එක ම ස්ථානයක පැවැත්විය යුතු යැයි නියම කළේ ය.

යාපහු නුවර පළමු වැනි බුවනෙක බා රජු කල ද, ඇතුගල් පුර දෙවන බුවනෙක බා රජු කල ද, ගම්පොල යුගයේ තුන් වන බුවනෙක බා රජු කල ද, ගම්පොළ මෙහෙණවර විජයබාහු රජු කල ද, ජයවර්ධන පුර කෝට්ටේ හය වන පැරකුම්භා රජු කල ද උපසම්පදා උත්සව පැවැත් වූ අතර සෙණ්කඩගල විසූ වීර වික්‍රම රජතුමා රාජ්‍ය වර්ෂ 1542 දී රජගෙට දකුණු දෙසින් පාත්‍රා ධාතූන් වහන්සේ නිදන් කොට දාගැබක් බැඳ වීය.

දෙමහල් පෝය ගෙයක් සාදවා පෝයමලු විහාරය යැයි නම් කොට නානා දිසාවන්හි විහාර 86ක් ඇතුළු ශාසනික කටයුතු සිදු කළ ආකාරය මහාවංශයේ 92 වැනි පරිච්ඡේදයේ සඳහන් වේ.

එමෙන් ම පළමු වන විමලධර්ම රජු කාලයේ දී ද, දෙවන විමලධර්ම රජතුමා කාලයේ දී ද, උපසම්පදා උත්සව පැවැත් වූ අතර දෙවැනි විමලධර්මසූරිය රජතුමාගේ කාලයේ දී සිදු කළ උපසම්පදාවේ දී පෝයමලු විහාරයේ වටපුළුවේ මහතෙර ද අස්ගිරි විහාරයේ හුලංගමුවේ ජිනදාස තෙර ද උපසම්පදා වූ බව සඳහන් වේ.

ඒ අනුව පෝයමලු අස්ගිරි විහාර දෙකේ වැඩවාසය කළේ ගම්පොල යුගයේ දී ලංකාතිලක විහාරයේ විසූ උභය විහාරයේ භික්‍ෂූන් හෙයින් මිහිඳු මාහිමියන්ගෙන් ආරම්භ වූ මහාවිහාර වංශික භික්‍ෂූන් වහන්සේ බව පැහැදිලි වේ.

මේ අයුරින් ධර්මාශෝක රජතුමා භාරත දේශයේ පමණක් නොව රටවල් නවයක ම ශාසනය පිහිටුවීමට කටයුතු කළේ වෙහෙර විහාර අසූහාරදහසක් ඉදි කරමින් ස්වකීය පුතණුවන් හා දියණියත් පැවිදි උපසම්පදා කොට ලක්දිවට එවා ලක්දිව සම්බුද්ධ ශාසනය ඇති කළේත් ලෝකයාට ඉමහත් ශාන්තියක් සිදු වන නිසා ම ය.

මෙම ලිපියේ ඉතිරි කොටස ලබන අමාවක පෝදා පුවත්පතේ පළ වේ

පොසොන්
අව අටවක

ජූලි 01 බ්‍රහස් අ.භා 14.01 අව අටවක ලබා 02 සිකුරා අ.භා 15.28 ගෙවේ.
 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]