[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දීඝාභය කුමාරයාට විජිතපුර බලකොටුවේ තනතුරක්

දීඝාභය කුමාරයාට විජිතපුර බලකොටුවේ තනතුරක්

පසුදා උදෑසනින් ම පිබිදුණු සිරිනාග පළමුව සිය මව්පියන් සිහියට නැඟුවේ ය. අනතුරුව නිවස ඉදිරිපිට වූ බුදුගෙට ගොස් තෙරුවන් වැඳ මව්පියන්ට පින් දුන්නේ ය. සේවකයන් විසින් සාදා දුන් උදෑසන ආහාරය ගෙන ආලින්දයට පැමිණෙන විට හසුන් පතක් රැගෙන පැමිණි දුතයකු දුටුවේ ය.

“සෙනෙවිතුමනි ඔබතුමාට හසුන්පතක්”

“කාගෙන්ද”

“සේනාධිපතිතුමාගෙන් “

හසුන්පත භාරදුන් දුතයා පිටව ගියේ ය.

සිරිනාග හසුන්පත අතට ගෙන කියවුවේ ය.

එය හදිසි පණිවිඩයකි.

“මහමෙව්නාවේ යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවට හැකි ඉක්මනින් පැමිණෙන්න. ප්‍රධාන නිලධාරීන්ට පමණක් සිමා වූ මෙම රහස් සම්මන්ත්‍රණය සඳහා මහරජතුමා ද පැමිණ සිටී.ඔබට විශේෂ ආරාධනයක්”

දීඝජන්තු මහසේනාධිපති ඇයි මේ හදිසි සම්මන්ත්‍රණයක් පවත්වන්නේ ? විශේෂ හේතුවක් නිසා විය හැකියි. මාගමට දන්වන්නට සැහෙන යමක් දැනගන්නට හැකිවේවි. හිතූ ඔහු ජවාධික අශ්වයකු පිට නැඟී මහමෙව්නාව දෙසට ගමන් කළේ ය.

සම්මන්ත්‍රණ ශාලාව අභියස දී ඔහු පිළිගත් ආරක්ෂක භටයෙක් අසු භාරගත්තේ ය.

“සම්මන්ත්‍රණය පටන් ගත්තා. ඉදිරිපෙළ අසුනක් ඔබතුමාට වෙන්කර තිබෙනවා.” සේවකයෙක් මඟ පෙන්වීය.

සම්මන්ත්‍රණ ශාලාව විවිධ නිලතල හොබවන සෙනෙවිවරුන්ගෙන් පිරී තිබිණි. සිරිනාග ඉදිරිපෙළ අසුන වෙත ගමන් කළේ ය. රජතුමාගේ දකුණු පසින් අසුන්ගෙන සිටි පුද්ගලයා දැකීමෙන් සිරිනාග මවිතයට පත්විය.

දීඝාභය කුමාරයා අද එළාර රජතුමා ආසන්නයේ ම අසුන්ගෙන. තමන්ගේ ජාතිද්‍රෝහී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලය කොතරම් හානිකරදැයි මහත් පසුතැවීමක් සිරිනාගට ඇතිවිය. මොහොතක් දීඝාභය කුමරු දෙස බලා සිටියේ ය. කුමරුගේ බැල්ම තමන් වෙත යොමු වී ඇති බව දැක ඉවත බලා ගත්තේ ය. කුමරුට තමන් හඳුනා ගැනීමට අපහසු වූ බව සිරිනාගගේ හැඟීම විය. තමා විසින් සිදු කළ හානිදායක පෙරළිය වෙනස් කරන්නේ කෙසේදැයි දස අතේ කල්පනා කළේ ය.

එළාර මහ රජතුමා ජයග්‍රාහී ලීලාවෙන් මහත් සතුටකින් අසුන්ගෙන සිටින අයුරු කාගේත් ප්‍රසාදයට හේතු විය. මිත්‍ර, දීඝජන්තු සෙනෙවිවරුන්ගේ විලාසය ද ප්‍රබෝධමත් විය.

දීඝජන්තු සභාව අමතමින් සිටියේ ය. අද මේ විශේෂ සම්මන්ත්‍රණය පැවැත්වීමට හේතු දෙකක් තිබෙනවා. අද පස්වරුවේ යුද සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිත ව තිබියදී පෙරවරුවේ මෙම සම්මන්ත්‍රණය පැවැත්වුයේ විශේෂ තනතුරු ප්‍රදානය කිරීමක් සඳහායි. “

“එළාර මහ රජතුමාගේ ළඟින්ම අසුන්ගෙන සිටින්නේ කාවන්තිස්ස රජතුමාගේ පුත්‍රයකු වන දිඝාභය කුමාරයා යි. දුටුගැමුණු කුමාරයා තම පියාට එරෙහිව කටයුතු කළ නිසා කළකිරී අපගේ රාජධානියට පක්ෂපාත වී පැමිණ සිටිනවා. මහවැලි දකුණු ගං තීරයේ තොටමුණු තිහක ආරක්ෂක කඳවුරු සියල්ල අපට පවරා දෙමින් අපේ අනාගත ජයග්‍රහණය තහවුරු කිරීමට එතුමා කටයුතු කර තිබෙනවා. දීඝාභය කුමාරයාට මහා සෙනෙවි තනතුරක් පවරමින් විජිතපුර බලකොටුවේ පාලන සේනාංකය භාර දීමට මහරජතුමාගේ කැමැත්ත ලැබී තිබෙනවා.”

සභාවේ පිරිස මහත් අත්පොළසන් නාදයකින් එය අනුමත කළේ ය. එමෙන්ම ඉදිරිපෙළ අසුනේ මාගේ අසුනට දකුණු පසින් අසුන් ගෙන සිටින්නේ සිරිනාග උප සෙනෙවිතුමායි. අපේ චරපුරුෂ සේවයේ සුවිශේෂි මෙහෙවරක් කළ ඔහුට සෙනෙවි තනතුරක් දී අගනුවරට ආරක්ෂක ප්‍රධානියා ලෙස පත් කිරීමට රජතුමා තීරණය කර තිබෙනවා. “

සභාව අත්පොළසන් දෙමින් එය අනුමත කළේ ය.

අනතුරුව නව පත්වීම් ලැබූ විජිතපුර බලකොටුවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි දීඝාභය මහා සෙනෙවිතුමාට සභාව ඇමතීමට ආරාධනා කෙරිණි.

දීඝාභය කුමාරා නැඟී සිටියේ ය. ඔහුගේ පෞරුෂය ප්‍රසන්න ය. නමුත් ඔහු එතරම් ප්‍රබෝධයකින් පසු නොවන බව ඔහුට හැඟී ගියේ ය. තමන් කිසියම් උගුලකට හසුවී ඇතැයි ඔහුට අවබෝධ වුවහොත් එය කෙතරම් අගනා සිතිවිල්ලක්දැයි සිරිනාග සිතුවේ ය.

මහරජතුමනි, මහා සේනාධිපතිවරුනි, සෙන්පතිවරුනි, මාගම රාජධානියේ පුත් කුමරුවකු ලෙස ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ මම එයින් මිදී මෙහි පැමිණියේ දුටුගැමුණු විරෝධියෙක් ලෙසයි. පිය රජතුමාට මම මගේ ජීවිතයටත් වඩා ආදරය කරනවා. ගැමුණු මාගේ සහෝදරයකු වුවත් ඔහු පියාට කළ අපහාසය නිසා මට ඔහු පිළිකුල් වුණා. ගිරි රාජධානියේ අපගේ මාමණ්ඩිය වූ ගිරි අබා රජතුමා සහ නැන්දණිය ගිරි නුවරින් පන්නා දැමීමට කටයුතු කළා. ගිරි රාජධානිය අරාජික වූ විට එහි රජු ලෙස පත් කිරීමට පිය රජු යෝජනා කළේ මගේ නමයි. නමුත් ගැමුණු කුමාරයා ඔහුගේ පුරෝහිත දාව බ්‍රාහ්මණයා එම තනතුරට පත්කළා. ඔහු පියරජතුමාගේ අවසරයක් පවා නොගෙනයි එම පත්වීම සිදුකර තිබුණේ. මේ ද්‍රෝහිකම්වලට ඔහුට දඬුවම් ලබා දිය යුතුයි. අනුරාධපුර රාජධානියේ දුටුගැමුණු කුමාරයාගේ ආක්‍රමණ වැළැක්වීමට මම මගේ උපරිම දායකත්වය ලබා දෙනවා. ඒ සඳහා මට ප්‍රබල සේනාංකයක් පැවරීම ගැන මම රජතුමාට ස්තුතිවන්ත වෙනවා. එම කාර්යය මට හැකි උපරිම අයුරින් සාර්ථක ව ඉටුකරන බවට සැමට පොරොන්දු වෙනවා.”

ඉන්පසුව සිරිනාගට සභාව ඇමතීමට ආරාධනා ලැබිණි.

“මහරජතුමනි, දීඝාභය කුමාරයාණෙනි, මහා සෙනෙවිවරුනි ප්‍රභුවරුනි,”

මහරජතුමා ප්‍රමුඛ ඔබ සැමට මගේ ස්තුතිය පිරිනමනවා. මට පිරිනැමුණු අලුත් තනතුර පිළිබඳව. මගේ සේවය සාර්ථක ව ඉටු කිරීමට මා පොරොන්දු වෙනවා. අනුරාධපුරයේ චරපුරුෂ සේවයේ යෙදීමට මට පැවරුණු විශේෂ කාර්යයකි. නමුත් දීඝාභය කුමාරයා අපට පක්ෂපාත වීමත් සමඟම එම කාර්යය නිමාවට පත්වෙනවා. “

“උතුරු ප්‍රදේශයේ අපේ දේශසීමා පුළුල් කරන්නට අපට තිබුණු ලොකුම බාධාව දීඝාභය කුමාරයායි . දැන් සටන් නොකරම අපි රුහුණේ උතුරු සීමාව පුළුල් කරගෙන තිබෙනවා. “

“ඒ වගේම මා විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා විශේෂ යුධ පුහුණුවක් සඳහා මා සොළී රටට යැවූ මිත්‍ර සෙනෙවිතුමාට. එහිදී මා තවත් වාසියක් ලබා ගත්තා. මාස කිහිපයක් මා එහි යුද පුහුණු කඳවුරු භාරව සිටියා. ඒ කාලය තුළදී මාහට යුද රහස් දැන ගන්නට හැකිවුණා. ඒ සියල්ල දැනටමත් මා රජතුමාට වාර්තා කර තිබෙනවා”.

  වෙසක් අමාවක 

ජුනි 09 බදාදා අ.භා 13.58 අමාවක ලබා 10 බ්‍රහස් අ.භා 16.22 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 18

Full Moonපසළොස්වක

ජුනි 24

Second Quarterඅව අටවක

ජූලි 01  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]