[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙසක් පණිවුඩ

වෙසක් පණිවුඩ

කායික මානසික නිරෝගී බව උදෙසා සතිසම්පඡඤ්ඤයෙන් යුතුව කටයුතු කරමු

ශ්‍රී ගෞතම සම්මා සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් ධර්මාර්ථ චරියාවෙහි යෙදෙන උතුම් වෙසක් පුන් පොහෝ දිනය ලෝකවාසී සමස්ත බෞද්ධ ජනයාගේ ශ්‍රේෂ්ඨතම පුණ්‍යොත්සව දිනයයි. මහා ප්‍රඥාවෙත්, මහා කරුණාවෙත් ප්‍රතිමූර්තිය වන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අපරිමිත බුද්ධ ගුණයන් සිහිපත් කරමින් කුසල්හි සිත පිහිටුවමින් සංසාරික විමුක්තිය උදෙසා වීර්යවන්ත වීම වෙශාඛ පුණ්‍යමහෝත්සවය සමරන සෑම බුද්ධ ශ්‍රාවකයකුගේ ම යුතුකම හා වගකීම වන්නේ ය.

කොරෝනා වසංගතයේ දැඩි ව්‍යාප්තිය හේතුවෙන් මේ මොහොත තුළ තමන්ගේත් අනුන්ගේත් සමස්ත සමාජයේත් යහපැවැත්ම උදෙසා පිරිස් ඒකරාශී වීම කෙරෙන පුණ්‍යෙීත්සව සංවිධානය නොකර, තථාගත දේශනාවන්ට අනුගතව තමන්ට තමන් හා ධර්මය දිවයිනක් කොට ගනිමින් චිත්ත දමථයෙන් හා සමථයෙන් යුක්ත ව තම තමන්ගේ නිවෙස් තුළට වී කුසල් වඩා වර්ධනය කර ගනිමින් ධර්මාර්ථ චරියාවෙහි යෙදීමට සැවොම තිර අදිටනින් යුක්ත ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය ව ඇත.

අද වන විට ලෝකය පුරා ව්‍යාප්ත වන කොරෝනා වසංගත තත්ත්වය සමස්ත ලෝකවාසීන්ගේ ම සිත් තුළ ජීවිත සුරක්ෂාව පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවක් පවතී. එවන් පරිසරයක් තුළ බුදු දහමේ ඉගැන්වෙන සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත තාවය පිළිබඳ යථාර්ථාවබෝධය පුද්ගල මානසික සෞඛ්‍යය කෙරෙහි අත්‍යවශ්‍යය සාධකයක් බව යළි යළිත් ප්‍රකටව ඇත. හේතුඵලවාදී දාර්ශනික සිද්ධාන්තය තුළින් සාංසාරික දුක, දුක් ඇතිවීමේ හේතුව දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය පහදා දෙන උතුම් ශ්‍රී සම්බුද්ධ දේශනාවේ සංස්පර්ශය නොයෙක් ව්‍යසනයන්ගෙන් හා ඉච්ඡාභංගත්වයෙන් පීඩාවට පත්ව සිටින අද්‍යතන සමාජයට එයින් අත්මිදීම උදෙසා ඤාණමය ආලෝකය ලබා දීමේ ඒකායන මාර්ගය බව මෙහිලා අවධාරණය කරනු කැමත්තෙමු.

ආරෝග්‍ය පරමා ලාභා සන්තුට්ඨි පරමං ධනං (නිරෝගී බව පරම ලාභයයි. සතුට පරම ධනයයි) යන උතුම් වූ සම්බුද්ධ දේශනාව මත පිහිටා කායික මානසික නිරෝගී භාවය උදෙසා සතිසම්පඡඤ්ඤයෙන් යුක්තව, මෙම ව්‍යසනකාරී අවස්ථාව තුළ සෞඛ්‍ය නිර්දේශයන්ට අවනතව කොවිඩ් වසංගත තත්ත්වය සමාජයෙන් තුරන් කිරීමට සිය සහයෝගය ලබාදෙමින් ආධ්‍යාත්මික සංතුෂ්ටිය උදෙසා කටයුතු කිරීම අත්‍යවශ්‍යය බව මෙත් සිත් පූර්වක ව සිහිපත් කර සිටිමු.

උතම් වූ රත්නත්‍රයේ ආශීර්වාදයෙන් කොරෝනා වසංගත තත්ත්වය පහව ගොස් ලෝකවාසී සැමට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි කරුණාධ්‍යාශයෙන් ආශිංසනය කරන අතර සැමට ධර්මාලෝකයෙන් ප්‍රභාවිත සිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවා’යි. ආශිංසන කරම්හ.

****

ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් වෙසක් උත්සවය සමරමු

වෙසක් පුන් පොහෝ දින සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට සුවිශේෂී වූ දිනයකි. මේ දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සුවිශේෂී දිනයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇති කාරණය ම බෞද්ධයින් වශයෙන් අප ආඩම්බර විය යුතු ය. එම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ අප රටේ කීර්තිමත් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ගරු ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා ය. ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප ඒ පිළිබඳව වඩාත් ආඩම්බර විය යුතු ය.

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වයට පත්වීම හා පිරිනිවන් පෑම යන තෛ‍්‍රමංගල්‍යයන් සැමරීම වස් වෙසක් පුන් පොහෝ දින ලෝකවාසී බෞද්ධ ජනතාව දාන, ශීල, භාවනා හා ප්‍රතිපත්ති පූජාවල නියැළීම සිරිතකි. ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගනිමින් වෙසක් සැරසිලිවලට ද විශේෂ ස්ථානයක් දෙමින් පහන් කූඩු, තොරණ විදුලි සහ අලංකාර වෙසක් සැරසිලි කරමින් බුදුන් වහන්සේගේ තෙමඟුල් උත්සවය සැමරීමට හුරු පුරුදුව සිටී. නමුත් මුළු ලෝකවාසී ජනතාව ම අද මුහුණ දී සිටින්නේ ඉතා භයානක අස්ථිර භාවයෙන් යුතු කාලවකවානුවකට ය. ඒ බැවින් කොවිඩ් 19 නම් වූ ලොව පුරා පැතිර යන වෛරසය පිළිබඳ අවබෝධයෙන් සියලු දෙනා සම්මත සෞඛ්‍ය නිර්දේශ මත පිහිටා ප්‍රවේශම් විය යුතුව ඇත.

දැනට වසරකට අධික කාලයක් රෝ බිය දනවන මෙවැනි පසුබිමක ලෝකවාසී මානව සංහතියම ජීවත් වූ බව අවබෝධ කරගත යුතුව ඇත. බුදුන් වහන්සේගේ දේශනාව පරිදි අපගේ ජීවන රටාවන් ප්‍රඥා සහගතව හැඩගස්වා ගත යුතු ය. අප ජීවත් වන වටපිටාව මෙන්ම ලොව පුරා ජීවත් වන මිනිස් වර්ගයාට ද විශාල වගකීම් සම්භාරයක් පැවරෙනු ඇත. ස්වභාව ධර්මයට ගරු කරමින්, ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගනිමින්, සෞඛ්‍යය සම්පන්න පරිසරයක ජීවත් වීමට වගබලා ගත යුතු ය.

එබැවින් මෙම වසංගත කාලය තුළ එම තත්ත්වය මර්ධනය කිරීමට වෙර දරන්නා වූ සියලුම රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම්වලට සහය දෙමින් හැකිතාක් නිවෙස් තුළම රැඳෙමින්, ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් වෙසක් උත්සවය සැමරීම ඉතාමත් යෝග්‍යය වන බව සිහිපත් කරම්හ.

****

සුඛෝ බුද්ධානං උප්පාදෝ බුදු උපත සැපදායකයි

මීට වර්ෂ 2645 කට පෙර සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය ද, 2610 කට පෙර සම්මා සම්බුද්ධත්වයට පත්වීම ද , වර්ෂ 2564 කට පෙර බුද්ධ පරිනිර්වාණය ද සිදු වී ඇත්තේ වෙසක් පොහෝ දිනයක බව බෞද්ධ සෑම දෙනාගේ ම පිළිගැනීම යි. වෙසක් පොහොය දිනය ලෝකවාසී සියලු ම බෞද්ධයෝ උතුම් තුන් බුදුමඟුල සිදු වූ දිනය වශයෙන් සලකා ඉතා උත්කර්ෂවත් ලෙස අනුස්මරණය කරති.

බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම ඉතා ම දුර්ලභ ව සිදුවන්නකි. ඒනිසා බුදුවරයකුගේ පහළවීම සැප ගෙන දෙන සතුටුදායක අවස්ථාවක් වශයෙන් සලකා බුදුමඟ ගමන් කරන ජනතාව මහත් උනන්දුවෙන් ඒ බුද්ධෝත්පත්තිය සිදු වූ දිනය මහත් හරසරින් සිහිපත් කරති. ඒ සඳහා ආමිස ප්‍රතිපත්ති වශයෙන් විවිධ පින්කම් ද පවත්වති.

විශේෂයෙන් ම මෙම උතුම් දිනයේ දී ශ්‍රද්ධාව, භක්තිය, මෛත්‍රිය, කරුණාව වැනි උතුම් උදාර හැඟීම් සිත්සතන් තුළ උපදවා ගෙන බෞද්ධ ගුණ ධර්මවලින් තම ජීවිත සම්පූර්ණ කර ගැනීමට උත්සාහ කිරීම ඉතාමත් වැඩදායක වන්නේ ය. බුද්ධ චරිතයේ හා බෝධිසත්ව චරිතයේ ද ඉගැන්වෙන අවිහිංසාව, පරෝපකාරය, කෙළෙහිගුණ දැක්වීම වැනි ගුණ ධර්මයන් තම ජීවිතයට එකතු කරගෙන අරි අටඟි මගේ ගමන් කරන්නේ නම් එය බුද්ධ ධර්මයේ උගන්වන ධර්ම මාර්ගය පිළිපන් කෙනෙකු බවට පත්වීමට මහත් පිටුවහලක් වන්නේ ය.

විශේෂයෙන් සලකා බලන විට ලංකාවාසී බෞද්ධයන්ට දැන් වර්ෂ තුනක පමණ කාලයක සිට පෙර පරිදි බහුල වශයෙන් ආමිස පින්කම්වලට යෙදීමට අවස්ථාවක් නොලැබින. පාස්කු ප්‍රහාරය හා කොරෝනා වසංගත උවදුර නිසා තොරණ, දන්සැල්, වන්දනා චාරිකා ආදියට ඉඩක් නොලැබිණ. එහෙත් නිවෙස්වල රැඳී සිටිමින් ප්‍රතිපත්ති පූජාව ඉහළින්ම සිදු කිරීමට අපට බාධාවක් නැත. එම නිසා මේ වර්ෂයේ ද තදින් බලපා ඇති කොරෝනා වසංගතය නිසා සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිපදිමින්, බුදුගුණ වඩමින්, මෙත් කරුණා ගුණ හදවත් තුළ දරමින් ප්‍රතිපත්ති පූජාවෙන් වෙසක් සමරන්නට උත්සුක වන ලෙස සියලු දෙනා වෙත ඉතා මෙත් සිතින් දන්වා සිටිමි.

සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවායි ආශිර්වාද කරමි.

****

තෙමඟුල සමරමු බුදු වදන පිළිපදිමු

මීට වසර 2645කට පෙර පැමිණි වෙසක් පොහොය ලෝකයට ම අසිරිමත් පෝය දිනයක් විය. ඒ සිදුහත් බෝසත් කුමරුගේ උපත සිදු වූ දිනය වීමයි. වසර 2610කට පෙර වෙසක් පෝය දිනය මුළු ලෝකයට ම සුවිශේෂ දිනයක් වූයේ සිදුහත් බෝසතාණන් වහන්සේ උතුම් බුදු බවට පත් වූ දිනය වීමයි. ආසියාවේ ආලෝකය ලියූ ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් සඳහන් කරන පරිදි මිනිස් පරපුර නමැති ගසෙහි අප්‍රමාණ කාලයකට පසුව සුවිශේෂ මලක් පිපුණු දවසයි. මුළු ලෝකය ම ප්‍රඥා සුගන්ධයෙන් සහ කරුණා මකරන්දයෙන් පිර වූ ඒ අසාමාන්‍ය මල පරව ගියේ මීට වසර 2565කට පෙර වෙසක් පොහොය දිනයක ය. සෑම වසරකම වෙසක් පොහෝ දින අප ගෞරවයෙන් සහ සැදැහැබර සිතින් සමරන්නේ මෙම උතුම් තුන් බුදු මඟුලයි.

පසුගිය කොරෝනා වසංගතය නිසා වෙසක් උළෙල නොපැවැත් වූයේ ඊළඟ වසරේ හොඳින් පවත්වන අදහස ඇතුව වුව ද මෙම වසර පසුගිය වසරටත් වඩා කොරෝනා වසංගතය අපට බලපා ඇති බැවින් ඒ ගැන අවධානය යොමු කළ යුතුව පවතී. මහානායක ස්වාමීන් වහන්සේලාගේත්, බුද්ධ ශාසන අමාත්‍යාංශයේත් ඉල්ලීම වන්නේ එදින සිද්ධස්ථානවලට නොගොස් ගෙදර සිටම පුණ්‍ය කටයුතුවල නිරත වන ලෙසයි.

කොරෝනා හේතුවෙන් පෝය දින අඳුරු නොකර කල්තියා තම නිවෙස අවට පරිසරය පිරිසුදු කර, සෑම නිවසක ම සෑම, වෙළෙඳ සලකම බෞද්ධ කොඩියක් එසවීම, තමන්ම නිර්මාණය කළ පහන් කූඩුවක් දැල්වීම, විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රචාරය වන ශාසනික වැඩ සටහන්වලට සැදැහැ සිතින් සම්බන්ධ වීම, නිවැසියන් එකතු වී දහම් පොත පත කියවීම, ධර්ම සාකච්ඡාවන් කිරීම, දරුවන්ට සහ වැඩි හිටියන්ට බණ කතා කියා දීම ආදිය වෙසක් දිනය ප්‍රබෝධවත් කරනු ඇත. සමාජ වෙබ් අවඩි හරහා විකාශය වන අශ්ලීල දර්ශන නැරඹීමෙන් වැළකී සිටිය හැකි ය. අකුසල් දුරු කෙරෙන කුසල් වැඩෙන ක්‍රියාකාරකම්වල නිරත වුණු පමණට බුදු වදන අනුගමනය කෙරුණේ වෙයි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.

****

සිත සංවර කර ගනිමින් නුවණැතිව කටයුතු කරමු

අසිරිමත් බෝසත් උපත, ශ්‍රී සම්බුද්ධත්වය සහ සම්බුද්ධ පරිනිර්වාණය යන උතුම් ත්‍රිවිධ මංගල්‍යයන් සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහොය දිනය බෞද්ධ අපගේ වටිනාම පුණ්‍ය මහෝත්සවයයි. සමස්ත බෞද්ධ ජනතාවම මේ උතුම් දිනයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආමිසයෙන් හා ප්‍රතිපත්තියෙන් පූජෝපහාර පවත්වන්නේ බුද්ධාලම්භන පී‍්‍රතියෙන් යුතුව ය.

සම්බුද්ධ දේශනාව අනුව ජීවිතය හැඩගස්වා ගනිමින් දෙලොව දියුණුව සඳහා කටයුතු කිරීම මෙන්ම දූ දරුවන් සමඟ එක්ව වෙසක් සමයේ පිළිවෙත් පිරීම හා ආමිස පූජා පැවැත්වීම අනාදිමත් කාලයක පටන් පැවත එන අපගේ බෞද්ධ සම්ප්‍රදායයි.

පසුගිය වසරේ මෙන්ම මෙම වසරේ ද ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් අපට සාමූහිකව පින්කම්වල නියැළීමට ඇති අවස්ථාව සෞඛ්‍යය අංශ නිර්දේශ මත තාවකාලිකව අත්හිටුවීමට සිදුව තිබේ. එහෙත් උතුම් තෙමඟුල සිහිපත් කොට තම තමන්ගේ නිවෙස් තුළම රැඳී සිටිමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවේ යෙදීමට එය බාධාවක් නොකර ගත යුතු ය.

සකල සත වෙත මෛත්‍රීය පැතිරවීමට බුදුන්වහන්සේ දේශනා කළ සේ ම, අන්‍යයන්ගේ ජීවිතවල ආරක්ෂාවත්, යහපැවැත්මත් උදෙසා කැපවීම මේ වසංගතය හමුවේ අපගේ සමාජ යුතුකම මෙන්ම, බෞද්ධයාගේ මෙම උතුම් ගති ලක්ෂණය ලොවට ආදර්ශයෙන් පෙන්වා දීමට ද මෙය අවස්ථාවක් වන්නේ ය.

රටේ පවත්නා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන සංකේතවත්ව පමණක් වෙසක් මහෝත්සවය පවත්වන ලෙස තෛ‍්‍රනිකායික මහානායක ස්වාමීන් වහන්සේ කළ අනුශාසනාව අප සිත්හි දරා ගනිමින් සියලු රටවැසියාගේ ආරක්ෂාව සේම, සුභසිද්ධියත් සලකා, අසිරිමත් තෙමඟුල ශ්‍රද්ධා පෙරදැරිව සිහිනුවණින් යුතුව සැමරීමට කටයුතු කළ යුතු ය.

සුදුද්දසං සුනිපුණං - යත්ථකාමනිපාතිනං

චිත්තං රක්ඛෙථ මෙධාවී - චිත්තං ගුත්තං සුඛාවහං

“රූපයක් නැති බැවින් දැකීමට ඉතා අපහසු වූ, ඉතා සියුම් වූ තමන් කැමති අරමුණක වැටෙන්නා වූ සිත, නුවණැත්තා රකින්නේ ය. එසේ රැකගත් සිත සැපය ලබන්නේ ය” යනුවෙන් ධම්මපදයෙහි පැහැදිලි කෙරේ. උක්ත ගාථා පාඨයට අවධානය යොමු කොට සියලු දෙනා ගෝලීය ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින මේ මොහොතේ සිත සංවර කරගනිමින්, නුවණැතිව කටයුතු කිරීම අපගේ සමාජ වගකීම ද වන්නේ ය.

මෙම උතුම් වෙසක් සමයේ සැදැහැසිතින් පෙහෙවස් රකිමින් සැදැහැවත්ව පුරන පිළිවෙතින් රටේත්, ලෝ වැසි සියලු ජනතාවගේත් කායික, මානසික සියලු පීඩා දුරු වේවා යි මම ප්‍රාර්ථනා කරමි.

****

ප්‍රතිපත්ති පූජාවන්ට නැඹුරු වීමට යෝග්‍යතම කාලයකි

සම්බුදු රජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිගැන්වෙන වෙසක් මංගල්‍යය ලොව පුරා වෙසෙන බෞද්ධ සැමගේ උතුම්ම මංගල්‍යයයි.

බෞද්ධ උරුමයන්ගෙන් සුපෝෂිත ප්‍රෞඪ සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකේය ජනතාව ලෝකවාසී බෞද්ධයන් සමඟ එක්ව මෙම උතුම් තෙමඟුල බැතියෙන් සමරති.

ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් වෙනදා ඉමහත් හරසරින් සමරන වෙසක් මංගල්‍යය මෙවර සැමරීමට සිදුව ඇත්තේ ලොව පුරා පැතිරයන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ය.

ඒ නිසා බෞද්ධ දර්ශනයේ එන ඉගැන්වීම් ප්‍රායෝගික ව වටහා ගැනීමටත් බුදුන්වහන්සේ වඩාත් අගයකොට සැලකූ ප්‍රතිපත්ති පූජාවන්ට නැඹුරුවීමටත් මෙම කාලය වඩාත් යෝග්‍ය වේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය නිවැරැදිව අවබෝධ කර ගැනීම මෙවන් අභියෝගාත්මක කාලයකට මුහුණ දී ධර්මානුකූල ව ජීවත්වීම සඳහා මනා පිටුබලයක් සපයයි.

උත්තරීතර බුදු දහම බෞද්ධයන්ට පමණක් නොව සමස්ත මිනිස් සංහතියටම උරුම වූවකි. එහෙයින් ඉතිහාසය පුරාවට ජාතික හා ආගමික සහජීවනය වැඩිදියුණුවීමට බුදු දහමෙන් අප ලැබූ හික්මීම මහඟු කොට බලපෑ අතර ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ලොව හමුවේ අභිමානයෙන් නැඟී සිටීමට ද එය ඉවහල් විය.

මෙවර ජාතික වෙසක් උත්සවය යාපනය, නාගදීප රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් උත්කර්ශවත්ව පැවැත්වීමට නියමිතව තිබුණ ද පවතින වසංගත තත්ත්වය ඊට බාධා පැමිණුවේ ය.

එසේ වුවද උතුම් වෙසක් දිනය අර්ථවත්ව සැමරීමට වසංගත තත්ත්වය බාධාවක් නොවන අතර ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දී නිවසේ සිට බැති සිතින් උතුම් වෙසක් තෙමඟුල මෙවර සමරන්නැයි සියලුම ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවගෙන් මම ඉල්ලා සිටිමි.

කොවිඩ් වසංගතය මුළු ලොවින්ම තුරන් වී සියලු ජනතාවට පෙර පරිදි නිරෝගීමත්ව ජීවත්වීමට හැකිවේවා යැයි මෙම උතුම් වෙසක් දිනයේ ඔබ කරන ප්‍රාර්ථනාවට බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා වශයෙන් මම ද එක්වෙමි.

සියලු ලෝ සතුනට ඉවසීම දයාව කරුණාව හා මෛත්‍රිය පිරි ශ්‍රී සුබ වෙසක් මංගල්‍යයක් වේවා.

  වෙසක් පුර පසළොස්වක 

මැයි 25 අඟහරුවාදා අපර භාග 20.29 පුර පසළොස්වක ලබා 26 බදාදා අපර භාග 16.43 ගෙවේ. බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]