[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරජාණන් වහන්සේට ම සුවිශේෂ වූ සාමුක්කංසික දේශනා

බුදුරජාණන් වහන්සේට ම සුවිශේෂ වූ සාමුක්කංසික දේශනා

ඒ කාලයේ බරණැස යස නම් සිටු පුත්‍රයෙක් සිටියේ ය. ඔහුට ද සෘතු තුනට තුන් ප්‍රාසාදයක් තිබුණි.

එදා රාත්‍රී නාටක ස්ත්‍රීහු යස සිටුපුතු සතුටු කරවීමට තූර්යනාද වයමින් සිටියාහු ය. සිටු පුත්‍රයා එයට සවන් දී සිටියදී නින්දට වැටුණේ ය. නාටිකාංගනාවෝ ද තැන් තැන්වල වැටී නින්දට වන්හ. හිමිදිරියෙහි අවදි වූ සිටු පුත්‍රයාට පහන් එළියෙන් දිස්වූයේ තැන් තැන්වල පෙරළී නිදා සිටිනා නළඟනන් ය.

තමා ඉදිරියේ අමු සොහොනක් ඇති සෙයක් හැඟී ගියේ ය. ඔහුට හැම දෙයක් ම එපා විය. මෙසේ කියැවුණේ ය. “භවත්නි, ඒකාන්තයෙන් ම කෙලෙස් නිසා ජීවිතය විපතට පත් වූයේ ය. භවත්නි, ඒකාන්තයෙන් ම කෙලෙස් නිසා ජීවිතය පීඩාවෙන් යුතු වූයේ ය.”

මෙසේ කී හේ රන් මිරිවැඩි පය ලා එළියට බැස දොරටුව තෙක් ගියේ ය. එවිට ‘ගිහිගෙන් නික්ම පැවිද්දට යන යස කුලපුතුගේ ගමනට බාධාවක් නොවේවා’ යි දෙවියෝ දොර හළහ. යස කුලපුතු කෙලින්ම යැවුණේ ඉසිපතන මිගදායට ය.

මේ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඉතාමත් සුවිශේෂී ධර්ම ක්‍රමයකි. මෙය හඳුන්වනු ලබන්නේ සාමුක්කංසික දේශනාව කියා ය. සාමුක්කංසික - තෙමේ ම උත්තම බවට පත්කළ චතුරාර්ය සත්‍ය ධර්මය, අන් අයට අවබෝධ කරවනු පිණිස කරනු ලබන විශේෂ දෙසුම ය. එය දේශනා කරනුයේ එක්තරා අනුපිළිවෙළකට ය.

එකත්පස්ව හුන් යස කුලපුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙළ කතාව වදාළ සේක. දානකථං - දන් දීම පිළිබඳ කතාව ය, සීලකථං - සිල් රැකීම පිළිබඳ කතාව ය, සග්ගකථං - දෙව්ලොව උපත පිළිබඳ කතාවය, කාමානං ආදීනවං - කාමයන් නිසා දුක් විඳීම පිළිබඳ කතාව ය, ඕකාරං සංකිලේසං - කෙලෙස් සහිත ජීවිතයේ ළාමක බව පිළිබඳ කතාව ය, නෙක්ඛම්මේ ආනිසංසං - කාමයන්ගෙන් වෙන්වීමේ අනුසස් පිළිබඳ කතාව ය.

මෙසේ මේ කතාවට සවන් දී සිටි යස කුලපුත්‍රයාගේ සිත ධර්මාවබෝධයට යෝග්‍ය පරිදි සකස් වී ගියේ ය.

භාග්‍යවතුන් වහන්සේගේ දේශනා කෞශල්‍යය මහා ආශ්චර්යය. යස කුලපුතුට වාඩි වී හුන් අසුනේ දී ම අවිද්‍යා රජස් රහිත මිසදිටු මල රහිත දහම් ඇස උපන්නේ ය. එනම්, ‘හේතුන් නිසා හටගන්නා ස්වභාවය ඇති යමක් ඇද්ද, හේතු නැතිවීමෙන් එය නැතිවන ස්වභාවයෙන් යුතු ය’ යන දහම් ඇස ය.

ඒ අවබෝධය වනාහී ඉතා චමත්කාරජනක ය. කිලිටි සෝදාහළ පිරිසුදු වස්ත්‍රය සායම් මැනවින් ම උරාගන්නේ යම් සේ ද, යස කුලපුතු ඒ අයුරින් ම අවබෝධය තුලින් දහම් ඇස ලැබුවේ ය.

යස කුලපුත්‍රයා ප්‍රාසාදයෙහි නැති බව සේනානී සිටුදියණිය වූ සුජාතා දැන ගත්තා ය. ඕ වහා සිටුතුමාට සැළකොට සිටියා ය. සිටු තෙමේ සිව්දිගට අසුන් නැගි දූතයන් පිටත් කරවා යස පුතු මිරිවැඩි පය ලා ඇවිද ගිය පා සටහන් ඔස්සේ ඉසිපතන මිගදාය දෙසට ගියේ ය.

පුතු සොයා පියා එන බව දත් භාග්‍යවතුන් වහන්සේ තමා අසල සිටින යස කුලපුතු පියාට දැක ගන්ට බැරිවෙන ලෙස සෘද්ධි ප්‍රාතිහාර්යයක් කළ සේක. ඔහු පැමිණ තමාගේ පුත්‍රයා දුටුවේදැයි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසී ය.

“ගෘහපතිය, එසේ නම් හිඳගනුව, මෙහි ම හිඳගෙන සිටින යස කුලපුතු තොපට දකින්ට ලැබෙන්නේය” යි වදාළ කල්හි සතුටට පත් හේ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. යස කුලපුත්‍රයාට සෙයින් ම භාග්‍යවතුන් වහන්සේ ඔහුට ද අනුපිළිවෙළ කතාව වදාළ සේක. දෙවනුව සාමුක්කංසික චතුරාර්ය සත්‍ය දේශනය වදාළ සේක. කිලුටු රහිත පිරිසුදු වස්ත්‍රයකට සායම් උරා ගන්නා සෙයින් ඔහු තුළ ද දහම් ඇස පහළ වූයේ ය. සෝවාන් ඵලයට පත් වූයේ ය.

අතිශය සතුටට පත් සිටු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකොට සිටියේ ය. “ස්වාමීනි, ඉතා මනහර ය. ස්වාමීනි, ඉතා මනහර ය. ස්වාමීනී, යටට හරවා තිබූ දෙයක් උඩට හරවා පෙන්වීම බඳු ය. වසා තිබූ දෙයක් විවර කොට දැක්වීම බඳු ය. මං මුළා වූවෙකුට හරි මග කීම බඳු ය. ඇස් ඇත්තෝ රූප දකිත්වා යි අඳුරෙහි පහනක් දැරීම බඳු ය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ ම නොයෙක් අයුරින් ධර්මය වදාරන ලදහ.

ස්වාමීනී, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ සරණ යමි. ධර්මයත්, සංඝයාත් සරණ යමි, භාග්‍යවතුන් වහන්සේ අද පටන් මා දිවි තිබෙන තුරු තෙරුවන් සරණගත උපාසකයකු කොට සලකන සේක්වා.” මේ සිටු තෙමේ ලෝකයෙහි තෙරුවන් සරණ ගිය ප්‍රථම උපාසකයා වූ නමුත් පළමුව සරණගිය උපාසකයින් ලෙස අග තනතුරු ලද්දෝ තපුස්ස භල්ලුක දෙදෙනා ය.

භාග්‍යවතුන් වහන්සේ පියාට පැවසු සාමුක්කංසික චතුරාර්ය සත්‍ය ධර්මය එතැන ම වාඩි වී සිටි යසකුල පුත්‍රයාහට ද නැවත වතාවක් අසන්ට ලැබුණේ ය. එහි ප්‍රතිඵල ඉතා අසිරිමත් විය. තමා තුළ කලින් තිබුණේ සත්‍ය ඤාණය ය. දෙවන දහම් ඇසීම නිසා කෘත්‍ය ඤාණයත්, කෘත ඤාණයත් සම්පූර්ණ කරමින් යස කුල පුත්‍රයාගේ සිත සියලු ආශ්‍රවයන්ගෙන් මිදී විමුක්තියට පත් වූයේ ය.

දැන් සෝවාන් ඵලයට පත් වූ පියෙක් රහත් ඵලයට පත් වූ පුතකු දකියි. මව දුකින් ඉන්නා බව හේ පුතුට සැළකළේ ය.

ගෘහපතිය, දැන් යස තෙමේ පෙර ගත කළ ගිහි දිවිය බඳු කාමයන් විඳින්ට සුදුසු වූවෙක් ද?” “නැත ස්වාමීනී. මපුතු දැන් කාමයන් විඳින්ට නුසුදුසු අයෙකි.”

“එසේය ගෘහපති, එය යසට දැන් නොකළ හැක්කකි”

“ස්වාමීනී, යස කුල පුතුගේ සිත කිසිවක් ග්‍රහණය නො කොට සියලු ආශ්‍රවයන්ගෙන් මිදී විමුක්තියට පත් වූයේ ද, ස්වාමීනි, යස කුලපුතුට එය ලාභයෙකි. ස්වාමීනි, යස කුලපුතුට එය මහත් ම ලාභයෙකි.”

සෝවාන් ඵලයට පත්ව සිටි සිටුතුමා ධර්ම මාර්ගයෙහි දියුණුව වහා හඳුනාගන්ට සමත් විය. ඔහු භාග්‍යවතුන් වහන්සේට යස කුලපුතු පසු ශ්‍රමණයකු කොට තම නිවසට අද දවසේ දානයට වඩින මෙන් ඇරයුම් කොට ගියේ ය. යස කුලපුතුට ද භාග්‍යවතුන් වහන්සේ වෙතින් ‘ඒහි භික්ෂු’ පැවිද්දත් උපසම්පදාවත් ලැබුණේ ය.

දැන් ලෝකයෙහි රහතන් වහන්සේලා සත්නමක් වැඩ සිටින සේක.

භාග්‍යවතුන් වහන්සේ එදින ආයුෂ්මත් යස සමඟ සිටු නිවසට වැඩි සේක. එහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ යස කුලපුතුගේ මවටත්, පෙර බිරිඳටත් අනුපිළිවෙළ කතාව වදාළ සේක. දෙවනුව බුදුවරුන්ගේ සාමුක්කංසික ධර්ම දේශනාව වන චතුරාර්ය සත්‍ය ධර්මය වදාළ සේක. කිලුටු පහව ගිය පිරිසුදු වස්ත්‍රයකට සායම් උරාගන්නා සෙයින් ධර්මාවබෝධය ලද ඔවුන්ට ද දහම් ඇස පහළ වූයේ ය.

ඔවුහු ද දිවි තිබෙන තුරා තෙරුවන් සරණ ගිය උපාසිකාවන් ලෙස පිළිගන්නා සේක්වා යි භාග්‍යවතුන් වහන්සේට පවසා සිටියෝ ය. ලෝකයේ පළමුව තෙරුවන් සරණ ගිය උපාසිකාවෝ ඔවුහු ය. ඒ දෙදෙනා අතරින් පළමු උපාසිකාව ලෙස අගතනතුරු ලැබුවේ සේනානී සිටු දූ සුජාතාවෝ ය. සුජාතා සිටුදියණිය එදින ද භාග්‍යවතුන් වහන්සේ උදෙසා පුද ලද්දේ ඛීරපායාස දානයකි.

තවත් සිව් දෙනෙක් බුදු සසුනෙහි පැවිදි වෙති. ආයුෂ්මත් යසගේ ගිහි කල මිතුරන් වූ විමල, සුබාහු, පුණ්ණජී, ගවම්පතී’ යි සිටුපුත්‍රයෝ සිව්දෙනෙක් බරණැස සිටියෝ ය. ඔවුන්ට ද ආයුෂ්මන් යසගේ පැවිද්ද අසන්ට ලැබුණේ ය. යසගේ පැවිදි වීම ගැන ඔවුන් තුළ කිසි විරෝධයක් හට නො ගත්තේ ය. විස්මයක් ම ඇති වූයේ ය. ඒ ගැන කීවේ මෙසේ ය. ‘යස කුල පුත් තෙමේ ගිහිගෙන් නික්ම කෙස් රැවුල් බහා කසාවත් හැඳ යම් සසුනක පැවිදි වූයේ ද, ඒ ධර්ම විනය ළාමක දෙයක් විය නො හැක්කේ ය. ඒ පැවිද්ද ළාමක දෙයක් විය නො හැක්කේ ය.”

ඔවුහු ආයුෂ්මත් යස බැහැදකින්ට පැමිණියෝ ය. යස තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත ඔවුන් කැඳවාගෙන ගොස් “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ මිතුරන්ට දහම් අවවාද කරන සේක්වා” යි ඉල්ලා සිටියහ.

භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙළ කතාව වදාළ සේක. අනතුරුව බුදුවරුන්ගේ සාමුක්කංසික ධර්ම දේශනාව වන චතුරාර්ය සත්‍යය වදාළ සේක. කිලිටි පහව ගිය පිරිසුදු වස්ත්‍රයක් මැනවින් සායම් උරාගන්නා සෙයින් ඔවුන්ට ද ධර්මය අවබෝධ විය. දහම් ඇස පහළ විය. සෝවාන් ඵලයට පත්වූවාහු ය. භාග්‍යවතුන් වහන්සේගෙන් ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව ලැබීමට තරම් මහා පිනැතියෝ වූහ. භාග්‍යවතුන් වහන්සේ ඒ නවක භික්ෂූන්ට ධර්ම කතාවෙන් අවවාද කරන කල්හි ඒ භික්ෂූන්ගේ සිත් කිසිවක් ග්‍රහණය නොකොට සියලු ආශ්‍රවයන්ගෙන් මිදී විමුක්තියට පත්විය.

  වෙසක් පුර අටවක 

මැයි 19 බදාදා අපර භාග 12.50 පුර අටවක ලබා 20 බ්‍රහස්පතින්දා අපර භාග 12.23 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]ouse.lk