[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මීගම්මන රාජමහා විහාර පරිශ්‍රයේ ප්‍රතිනිර්මාණිත ඓතිහාසික ටැම්පිට විහාරය

මීගම්මන රාජමහා විහාර පරිශ්‍රයේ ප්‍රතිනිර්මාණිත

ඓතිහාසික ටැම්පිට විහාරය

මීගම්මන රජමහා විහාර පරිශ්‍රයේ ප්‍රතිනිර්මාණිත ඓතිහාසික ටැම්පිට විහාරයෙහි දොරගුළු විවර කිරීමේ පුණ්‍ය මහෝත්සවය 21 වැනි දා පූර්ව භාග 10 ට යෙදෙන සුබ මොහොතින් සියලු නැකැත් චාරිත්‍ර, පෞරාණික පුදසිරිත්, වත් පිළිවෙත් කොට සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුරතින් සිදුකෙරේ. වත්මන් වසංගත තත්ත්වය නිසා බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් තොරව සිදුකරලීමට කටයුතු සැලසුම් කර ඇත.`

පාතදුම්බර ප්‍රදේශයේ ඉපැරැණි රජමහා විහාර අතර ඉතා දර්ශනීය පුදබිමක් ලෙස මීගම්මන රාජමහා විහාරය බොහෝ ජනී ජනයාගේ ශ්‍රද්ධාව වඩවන දැකුම්කළු ස්ථානයකි. ක්‍රි.ව. 1604 - 1634 කාලවකවානුවේ දාරුමය ප්‍රතිමා සැකිලි මත ලාටු සහිත බදාමයෙන් ඔප කළ හිඳි පිළිමයක් හා හිටි පිළිම දෙකක් වඩා හිඳුවා ටැම්පිට විහාරයක් කරවා මහනුවර රජකම් කළ සෙනරත් රජතුමන් මෙම විහාරයේ සමාරම්භය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඇත.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කොට අද දක්වා බොහෝ ජනී ජනයාට මහත් ආශිර්වාදයක් ව හා නිරුපද්‍රිත ව වැඩසිටීම මේ පින් බිමට පමණක් නොව මේ ප්‍රදේශයට ම මහත් අදෘෂ්‍යමාන මහා බලයකි. ඒ බව දත් බොහෝ දෙනා බෝධීන් වහන්සේ වෙත පැමිණ මලුපෙත් ඇමැද ප්‍රදක්ෂිණා කොට මල් පහන් පුදා තම තමන්ගේ ජීවන ගමන් මඟට ලබා ගන්නා ආශිර්වාදය අප්‍රමාණ ය.

විහාර තල්පත, ලෝරිගේ ගැසට් පත්‍රිකාව, පුරාවිද්‍යාත්මක සාධක මෙම විහාර ඉතිහාසය තහවුරු කරයි. එවකට මෙම ටැම්පිට විහාරය වෙනුවෙන් මහනුවර රජවාසල බිසෝවරු පැමිණ නාමල් පුදා වාර්ෂික ව සත් දිනක් පෙරහර චාරිත්‍ර කොට ආශිර්වාදය ලබා ගත් බව ජනවහරේ පවතී. එය පහත සිව් පදයෙන් මනාවට විවරණය කරයි.

ටැම්පිට හිඳි පිළිම කරවා රජ අණට
ගම්වර දුන්නේ රජ අණ ලෙස තේවයට
නාමල් පුදන රජ බිසොවුන් එතැන් සිට
පෙරහර කළෝ සත්දින එම විහාරෙට


මානින්ගමුවේ ශ්‍රී පියරතන නාහිමි

අස්ගිරි විහාර පාර්ශවයේ පෞරාණික විහාරස්ථානයක් වන මෙම විහාරයේ ඉතා කීර්තිමත් සඟ පරපුරක් එදා මෙදා තුර සිදු කළ අප්‍රමාණික ශාසනික සේවාවන් මේ පින් බිමට ප්‍රවේශ වෙන කෙනකුට විද්‍යාමාන වේ.

දාගැබ්, බෝමලු, විහාර මන්දිර, ටැම්පිට විහාරය, පැරැණි සංඝාවාසය, වාහල්කඩ උපෝසථාගාරය ආදී සියලු විහාරාංගයන්ගෙන් මෙම පින් බිම පෝෂණය වී රක්ෂණය වන්නේ මහා සංඝරත්නයේත් ප්‍රදේශයේ සැදැහැවතුන්ගේත් සුවිසල් කැපවීම මත ය. එමෙන්ම බොහෝ අවස්ථාවල දී රාජ්‍ය අනුග්‍රය නොඅඩුව ලැබී ඇති බව කෘතවේදී ව සිහිපත් කළ යුතු ය.

පූර්වයෙන් සිහිපත් කළ ටැම්පිට විහාරය විනාශ මුඛයට පත් අවස්ථාවේ වර්තමාන විහාරාධිපති අස්ගිරි විහාර පාර්ශවයේ පාතදුම්බර උප ප්‍රධාන සංඝනායක මානින්ගමුවේ ශ්‍රී පියරතන නායක ස්වාමින් වහන්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුªව, මධ්‍යම සංස්කෘතික අරමුදල යන ආයතනවල සහයෝගය ලබා ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් ඉතා වටිනා මෙම ටැම්පිට විහාරය ප්‍රතිනිර්මාණය කර ඇත.

එපමණක් නොව වර්තමානයේ මීගම්මන රජමහ විහාරය ප්‍රදේශයේ ජාතික, ආගමික, සංස්කෘතික කටයුතුවල, ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් ලෙස සුවිසල් කාර්යභාරයක් ඉටුකරනු ලබයි. ළමුන් 400ක් පමණ අධ්‍යාපනය ලබන දහම් පාසල හා පෙර පාසල ළමුන්ගේ සාරධර්ම සකසන තෝතැන්නක් ලෙස නැණවත් ගුණවත් දරුවන් බිහි කරලීමේ කාර්යය වෙනුවෙන් ප්‍රධානාචාර්යතුමිය ඇතුලු ගුරු මඩුල්ල අමිල කැපවීමක් සිදු කරයි. විහාර සංවර්ධන සමිතිය, විශාඛා කුළඟන සමිතිය, ගමෙන් පන්සලටත්, පන්සලෙන් ගමටත් යන අදහසින් ඉතා ආදර්ශවත් විවිධ කටයුතු සංවිධානය කරනු ලබයි.

ඉරිදා දවස, පුන් පොහෝ දින විශේෂ ආගමික කටයුතුවල දී මේ පින් බිම සුදුවතින් සැරසුණු බාල මහලු තරුණ පිරිස හා ඔවුන්ගේ වත් පිළිවෙත් කාගේත් සිත නිවා දහමට යොමු කරන ආකාරය ඉතා විශිෂ්ට ය.


ටැම්පිට විහාර ශාස්ත්‍ර ගවේෂකයන්ට දොරගුළු විවෘත කරන උදාර පින්කමක්

ශ්‍රී ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය විශද කරන සෞන්දර්ය පූර්ණ විහාරාංගයක් ලෙස ඓතිහාසික වටිනාකමකින් හෙබි ටැම්පිට විහාර සම්ප්‍රදාය මහනුවර රාජධානි සමයට අයත් සුවිශේෂී විහාර නිර්මාණාංගයක් ලෙස අතිසම්භාවිත ය. සියවස් හතරකට අධික ඉතිහාසයකට උරුමකම් කියන පාතදුම්බර මීගම්මන රජමහා විහාරයේ පිහිටි උපෝෂථාගාරයක් සහිත දුර්ලභ ගණයේ ටැම්පිට විහාර ගෘහය ප්‍රතිසංස්කරණය කොට පුරාණ කලා නිර්මාණ සම්ප්‍රදායන්ට අනුගත ව චිත්‍ර කර්මාන්තාදියෙන් හැඩගන්වා සංරක්ෂණය කිරීමට කටයුතු කිරීම පිළිබඳ විහාරාධිපති මානින්ගමුවේ ශ්‍රී පියරතන නායක ස්ථවිරයන්ටත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් ජනතා ප්‍රශංසාව හා ප්‍රසාදය නිතැතින් ම හිමි වේ.

නූතන ශාසන පුනරුද්දීප්තියේ ආදි කතෘවරයාණන් වහන්සේ වන වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජ මහොත්තමයාණන් වහන්සේගේ ශාසනික කාර්යභාරයත්, උභය මහාවිහාරීය සම්ප්‍රදායන් පිළිබඳවත්, බෝධිසත්ත්වයන් වහන්සේගේ දස පාරමිතා පුරණය පිළිබඳවත් විස්තර වන සිතුවම්වලින් හැඩගන්වා ඇති මෙම ටැම්පිට විහාර ගෘහය ප්‍රතිසංස්කරණය කරමින් සසුනට දායාද කිරීම ටැම්පිට විහාරයක හැඩරුව විමසන ශාස්ත්‍ර ගවේෂකයන්ට මෙන් ම බුද්ධාලම්බන පී‍්‍රතියෙන් ඔදවත් ව ආධ්‍යාත්මික සුවය උදෙසා යොමුවූවන්ට ද දොරගුළු විවෘත කරන උදාර පින්කමක් ලෙස හැඳින්විය හැක.

ලාංකේය ථෙරවාදී බෞද්ධ කලා නිර්මාණයන්ගේ විශිෂ්ටත්වය ප්‍රතීයමාන කරනු ලබන මෙවැනි මහඟු කලා නිර්මාණ සංරක්ෂණය කොට මතු අනාගතයට එකී සංස්කෘතික උරුමය දායාද කිරීම ලාංකේය රාජ්‍ය තන්ත්‍රයේ මෙන්ම භික්ෂුවගේ ද ඓතිහාසික කාර්යභාරයක් බව ද මෙහිලා අවධාරණය කරමින්, මෙම සත්කාර්යයෙහි පුරෝගාමී ව කටයුතු කළ සැමට රත්නත්‍රයේ ආශීර්වාදයෙන් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්තිථියත්, ශ්‍රී ලාංකේය සමාජ විඤ්ඤාණයේ ආධ්‍යාත්මික සුපෝෂණයත් උදෙසා උදාරතර සේවයක් සලසන්නට ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවායි ආශිංසනය කරම්හ.


බුදු දහමේ චිරස්ථිතිය වෙනුවෙන් සිදුකරන අනුපමේය සේවයක්

මහනුවර රජ කළ සෙනරත් රජ දවස ගොඩනඟන ලද මහනුවර දිස්ත්‍රික්කයේ, පාතදුම්බර මැතිවරණ කොට්ඨාසයේ පිහිටි මීගම්මන රජමහා විහාරස්ථානය ප්‍රදේශයේ ජනී ජනයාගේ මහත් ගෞරවාදරයට පත් වූ ඉපැරණි විහාරස්ථානයකි. සියලු විහාරාංගවලින් සපිරි මෙම විහාරස්ථානය මෙම කාලය තුළ බුදු දහමේ චිරස්ථිතිය වෙනුවෙන් සිදුකරමින් පවතින අනූපමේය සේවය බෙහෙවින් ම අගය කළ යුතු අතර, විහාරස්ථානය මඟින් ලබාදෙන දහම් අධ්‍යාපනය තුළින් බිහිකරන යහපත් පුරවැසියන් අප දේශයේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් පුදන මහා දායාදයක් බවද මෙහිලා සඳහන් කළ යුතුම කරුණකි. එමෙන්ම ප්‍රදේශවාසී සැදැහැවත් ජනී ජනයා ඒකරාශී කරමින් ඔවුන්ගේ දායකත්වයෙන් සිදුකරන ජාතික, ආගමික හා සමාජයීය සේවාවන් අතරතුර, වසර 400කට අධික ඉතිහාසයකට උරුමකම් කියන නටබුන් ව තිබූ පැරණි ටැම්පිට විහාරය නැවත ප්‍රතිනිර්මාණය කර වන්දනාමානයට ඉඩ හසර ලබාදීම ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ සිත් පහන් කිරීමට බොහෝ උපකාරී වන බව අවිවාදිත ය.

මෙවැනි ශාසනානුලෝමික සේවාවන් රාශියක නියැළෙමින් අප ශ්‍රී ලංකාද්වීපයේ මෙන්ම බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් අපරිමිත මෙහෙයක් සිදු කරන ලද තත් විහාරාධිපති පාතදුම්බර උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති මානින්ගමුවේ ශ්‍රී පියරතන නායක ස්ථවිරයන් ඇතුළු ගිහි පැවිදි උතුමන්ගේ භව ගමන සාර්ථකත්වයට පත්වේවා යි ප්‍රාර්ථනා කරන අතර, සිදුකරමින් පවතින බහුවිධ සේවාවන් තවත් චිරාත් කාලයක් පවත්වාගෙන යාමට යථෝක්ත විහාරස්ථානයට අනුබද්ධ ගිහි පැවිදි සැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ආයුරාරෝග්‍ය සම්පතතිය සැලසේවා යි ආශිංසනය කරම්හ.


පෞරාණික සංස්කෘතිය මනාව විදහා දැක්වීමකි

මහනුවර පාතදුම්බර, මීගම්මන රජමහා විහාරය සෙනරත් රජ දවස ඇරඹි මහා පුණ්‍ය භූමියකි. වර්ෂ 400 ට අධික ඉතිහාසයක් ඇති මෙම විහාරස්ථානය ටැම්පිට විහාරයකින් හා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් දවස රෝපණය කළ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයකින් සමන්විත වේ.

ඒ තුළම, එවක සිටි හෙළ රජදරුවන් මෙම ඓතිහාසික විහාරස්ථානයට දක්වන ලද දායකත්වය හා ගෞරවය මැනවින් පැහැදිලි වේ.

වර්ෂ 1942 දී පමණ මුල් විහාරය නටබුන් වී ගිය අතර, ශේෂ වූ කොටස් මේ වන විට භාවිත කොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද අධීක්ෂණය හා මාර්ගෝපදේශකත්වය මත මෙය ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවීම භාග්‍යයක් සේ සලකමි.

මෙම විහාරය අභ්‍යන්තරය හිඳි පිළිමයක් හා හිටි පිළිම දෙකකින් සමන්විත වන අතර, එය තවදුරටත් විචිත්‍රවත් වන්නේ ඒ තුළ සිතුවම් කර ඇති විවිධ චිත්‍ර කලා නිර්මාණයන් නිසා ය.

ජාතක කතා හා ශාසන ඉතිහාසය පමණක් නොව වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේ දවස සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන ඒම හා සිවුරු පෙරවීම සමඟ ගැටවටු ක්‍රමය ද මෙහි සිතුවම් කිරීම තුළ පෞරාණික සංස්කෘතිය මනාව විදහා දැක්වීමට සමත්ව තිබීම විශේෂිත ය.

මෙවර උපෝසථාගාරයක් සහිත ව මෙය නිර්මාණය කර තිබීම ද මෙහි වැදගත්කම හා වටිනාකම වැඩිවීමට හේතුවක් වී ඇත.

පෞරාණික දේපළ සුරක්ෂිත කිරීම තුළ අනාගත පරපුර සඳහා සංස්කෘතික දායාදයන් ඉතිරි වන අතර, මුලු මහත් දේශය ම ඒ තුළින් අභිමානවත් වේ. එසේම බුදුදහම සුරක්ෂිත වන අතර එහි ඇති ප්‍රෞඪත්වය හා වටිනාකම ද විදහාපායි.

මේ සා විශාල උත්තුංග කාර්ය භාරයක් ඉටුකිරීම සඳහා කැප වූ, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ, පාතදුම්බර උප ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති, ගෞරවාර්හ මානින්ගමුවේ ශ්‍රී පියරතන නායක ස්වාමීන් වහන්සේ ඇතුලු විහාරස්ථ සියලු භික්ෂු මහා සංඝයා වහන්සේටත්, මෙම කටයුතු සඳහා ශ්‍රමය හා ධනය කැප කළ ප්‍රදේශයේ සියලු ජනතාව සමඟ එක් වූ තරුණ පිරිසටත්, දායක සැමටත්, නන් අයුරින් සහය වූ සියලු දෙනාටත් මාගේ සුභාශිංසන පිරිනමමි.


පුරාණ කලා නිර්මාණ සම්ප්‍රදායන්ට අනුගතව සංස්කරණය කර ඇත

සියවස් හතරකට අධික ඉතිහාසයකට උරුමකම් කියන පාතදුම්බර ඓතිහාසික මීගම්මන රජමහා විහාරස්ථානයේ ටැම්පිට විහාරය පුරාණ කලා නිර්මාණ සම්ප්‍රදායන්ට අනුගතව සංස්කරණය කර නැවත බුදු සසුනට පූජා කිරීම උතුම් වෙසක් මහේ බෞද්ධ අප ලද මහත් දායාදයකි.

මහනුවර රාජධානි සමයේ මෙරට විහාර සම්ප්‍රදායට නව නිර්මාණයක් ලෙසින් ඓතිහාසික වටිනාකමකින් හෙබි ටැම්පිට විහාරය එක් වූ අතර වර්තමානයේ ද කන්ද උඩරට මහනුවර ප්‍රධාන කරගනිමින් මෙවැනි ටැම්පිට විහාර රැසක් ඓතිහාසික රජමහා විහාරයන්හි දැකිය හැක.

සෙනරත් රජු දවස ඇරඹි ඓතිහාසික මීගම්මන විහාරයේ ටැම්පිට විහාර ගෙය මෙයට දශක ගණනාවකට පෙර නටබුන්ව යෑමත් සමඟ ශේෂ වූ කොටස් භාවිත කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් සංස්කරණය කිරීමට හැකි වීම මහත් භාග්‍යයකි.

ටැම්පිට විහාර සම්ප්‍රදාය තුළ මහනුවර යුගයට ආවේණික චිත්‍ර එහි ඓතිහාසිකත්වයට සුවිශේෂත්වයක් එක් කරන අතර එය මෙරට බෞද්ධ මෙන්ම විහාර සම්ප්‍රදායට මහත් වටිනාකමක් ලබා දී තිබේ.

ඓතිහාසික ඉපැරැණි වටිනාකමින් යුත් මෙවැනි ආගමික සිද්ධස්ථාන රැක ගනිමින් අනාගතයට උරුම කර දීමට කැපවුණු මහ සඟ පරපුර සම්බුදු සසුන එකලු කරන්නාහ.

වත්මන් ඓතිහාසික මීගම්මන රජමහා විහාරාධිපති අස්ගිරි පාර්ශවයේ පාතදුම්බර උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති ගෞරවාර්හ මානින්ගමුවේ ශ්‍රී පියරතන නායක ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු භික්ෂු සංඝයා වහන්සේත් එහි දායක කාරකාදීන් ප්‍රමුඛ මෙම සත් ක්‍රියාව සඳහා දායකත්වය දැක් වූ මෙන්ම දායකත්වය දක්වන සැමට මාගේ ප්‍රණාමය පුද කරමි.

  වෙසක් පුර අටවක 

මැයි 19 බදාදා අපර භාග 12.50 පුර අටවක ලබා 20 බ්‍රහස්පතින්දා අපර භාග 12.23 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]