[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙන

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ

****

උගතුන් වියතුන් බිහි කළ කැප්පෙටිපොල සෝමානන්ද පිරිවෙන

ඌව පළාතේ බදුලු පුරවරයේ වැලිමඩට අයත් කැප්පෙටිපොල පාලුගම නම් වූ සොදුරු ගම් පියසට අයත් කැප්පෙටිපොල ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරස්ථාන ශ්‍රී සෝමානන්ද මහා පිරිවෙන ඌව පළාතේ අද්විතීය ස්ථානයක් හිමි කරගන්නා විද්‍යස්ථානයකි.

මෙම විද්‍යස්ථානය පිහිටා ඇත්තේ ඓතිහාසික වටිනාකමක් ඇති ප්‍රදේශයක් තුළ ය. දෙවැනි රාජසිංහ රජ සමයේ ඌව පළාත පාලනය කළ කුමාරසිංහ උප රාජ්‍යයාගේ කාලයේ ඉදි කරන ලදැයි සැලකෙන ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරය පෞරාණික පූජනීය ස්ථානයකි. පෙර විල්සන් තැන්න නමින් හැඳීන් වූ මෙම ප්‍රදේශය වෙල්ලස්ස කැරැල්ලෙහි දී විජයග්‍රාහී රජ රණ භූමියක් විය.

සඟරජ හිමියන් විහිදුවා ලූ ශාස්ත්‍ර ප්‍රබෝධයෙන් වර්ධනය වූ ආරාමික අධ්‍යාපන ක්‍රමය ක්‍රමයෙන් වැඩි දියුණු වී පෞරාණික ආරාමික ස්ථාන දසත පැතිරිණි. මේ නිසා උගතුන් බිහි විය.මෙසේ බිහි වූ වියතුන් ස්වකීය ගම් ප්‍රදේශයන්හි ශාස්ත්‍ර ප්‍රබෝධය ඇති කරනු වස් විද්‍යස්ථාන අරඹා ඇත. මෙවන් පසුබිමක ඌව පළාතේ නො දියුණු අධ්‍යාපනික තත්ත්වය මඟහරවනු වස් මෙම විද්‍යස්ථානය ආරම්භ කොට ඇත.

සකල විහාරාංගෝපාංගයන්ගෙන් සමන්විත සුභද්‍රාරාම විහාරස්ථානය මඟින් රටටත්, සමයටත්, ජාතියටත් අනුපමේය සේවයක් ලැබී ඇත. එයට තවත් වටිනාකමක් එක් කරලීමට ලංකාවාසී පැවිදි නොපැවිදි බාල පරපුරට මහාදර්ශ සිද්ධියක් සලසා දීමේ අදහස ඇතිව ක්‍රි.ව. 1955 අප්‍රේල් 28 දින කොළඔ විද්‍යොදය පරිවේණාධිපති පණ්ඩිත ශිරෝමණී බද්දේගම ශ්‍රී පියරතනාභිධාන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ස්ථවිරපාදයන් වහන්සේ ලවා අත්පොත් තැබවීමෙන් ශ්‍රී සෝමානන්ද මහා පිරිවෙන ආරම්භ කර ඇත.

සියම් නිකායේ ඌව පාර්ශවයේ ප්‍රථම මහා නායක ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරාධිපති සද්ධර්මකීර්ති බොරගොල්ලේ ශ්‍රී සුමංගල සෝමානන්දාභිධාන මහා නාහිමියන් මෙහි ආදි කර්තෘවරයාණෝ ය. පියවරෙන් පියවර සංවර්ධනය වෙමින් පැවතෙන මෙම ස්ථානය ඌවේ කීර්තිමත් විද්‍යස්ථානයක් විය.එම නිසාම මෙම විද්‍යස්ථානයට අම්පාර,මොණරාගල, ගාල්ල, මාතර වැනි දිවයිනේ නොයෙක් පෙදෙස්වලින් ගිහි පැවිදි ශිෂ්‍යයන් අධ්‍යාපන කටයුතු සඳහා පැමිණීම සුවිශේෂ කරුණකි.

ඌව පළාත් සභා බෞද්ධ සංවර්ධන මණ්ඩලය විසින් පවත්වනු ලබන ඌව පළාතේ “හොඳම පිරිවෙන” සම්මානයෙන් වර්ෂ දෙකක් පමණ පිදුම් ලද ශ්‍රී සෝමානන්ද මහා පිරිවෙන ඌව පළාත් සභාව මඟින් පවත්වනු ලබන අන්තර් පාරිවේණික තරගමාලාවන්හිදී ද අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වන අන්තර් පාරිවේණික,අන්තර් පාඨශාලීය තරග මඟින් ද මෙම ආයතනයේ නිරත සිසුන් විසින් සුවිශේෂි ජයග්‍රහණ ලබා ගැනීම සතුටට කරුණකි.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ/ උසස් පෙළ සහ මූලික පිරිවෙන් අවසාන, ප්‍රාචීන, ප්‍රාරම්භ යන විභාගයන්ගෙන් විශේෂ කුසලතා පෙන්වා ඇති මෙම ආයතනය සෑම වර්ෂයක ම සමත්වීමේ ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගනී. එසේම ඌව පළාතේ බොහෝ සිසුන්ට උසස් අධ්‍යාපන වරප්‍රසාද මෙම ආයතනයෙහි බාහිර අධ්‍යාපනය තුළින් ලැබූ බව ප්‍රසිද්ධ රහසකි.

පිරිත් සජ්ඣායනයෙහි , බෝධි පූජා පැවැත්වීමෙහි ,ධර්ම දේශනයෙහි මෙන් ම ගද්‍ය පද්‍ය රචනා ,කථික , ගායනා , චිත්‍ර ආදී තරගවලින් සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට මෙහි අධ්‍යාපනය ලබන්නන් සමත් වී ඇති අතර මූලික පිරිවෙන් අවසාන විභාගයෙන් 2013 වසරේ වැඩිම ලකුණු ලබා ගත් පළමු පස් දෙනා අතරට මෙම පිරිවෙන තුළ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් සමත් වීම සාඩම්බර කරුණකි. එපමණක් නොව පාලි, සංස්කෘත , ඉංග්‍රීසි භාෂාවන්ගෙන් අනුශාසනා කරන්නන් ද මෙම විද්‍යස්ථානයෙන් බිහි කොට ඇති බව කිව යුතු ම ය.

වනපොත් කිරීම් ආදියෙහි දී පැරණි පාරිවේණික අධ්‍යයන ක්‍රමය අනුගමනය කරමින් නියමිත කාලපරිච්ඡේදයන්ගෙන් අමතරව පෙරවරු කාලයේ අමතර ඉගැන්වීම් ද සිදුවේ. භාවනා, බෝධි පූජා , පිරිත් සජ්ඣායනා, ධර්ම දේශනා, පින් වාක්‍යය දේශනා ආදී ආගමික වත්පිළිවෙත් ඉගැන්වීම් ද සිදු කරනු ලැබේ. මෙහි සෑම වර්ෂයකම ආදි කර්තෘ දිනය සහ සාංවත්සරික දිනය පෙබරවාරි 25 වන දින පැවැත්වේ. එහිදී සිසුන්ගේ තාක්ෂණික, කලාත්මක, ශාස්ත්‍රීය විවිධ හැකියා ප්‍රකට කරන “ප්‍රතිභා ප්‍රණාම” නම් වූ උත්සව සභාවක් ද වේ. පැරණි පුස්කොළ පොත් 500ක් හා නූතන ග්‍රන්ථ අඩංගු පුස්තකාල දෙකක් පවතින අතර එය සිසුන්ගේ දැනුම වර්ධනයට මහා රුකුලක් වේ.

සියම් මහා නිකායේ ඌව පාර්ශවයේ මහා නායක ධූරීතව වැඩ සිටි කැප්පෙටිපොල ශ්‍රී සභද්‍රාරාමය, පිළියන්දල බුද්ධාලෝක මහා විහාරය සහ ඓතිහාසික තැන්න ශ්‍රී සෝමානන්ද බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය යන විහාරස්ථානයන්හි විහාරාධිපති සද්ධර්ම භාරතීශ්වරාචාර්ය අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ, මහෝපාධ්‍යාය අටඹේවෙල පඤ්ඤාසාර හිමියන්ගේ අපවත් වීමෙන් පසුව පිරිවෙනේ සියලු කටයුතු පරිපාලනය කරනු ලබන්නේ කැප්පෙටිපොල පාලුගම ශ්‍රී සුභද්‍රාරාමය, පිළියන්දල බුද්ධාලෝක මහා විහාරය සහ ඓතිහාසික තැන්න ශ්‍රී සෝමානන්ද බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය යන විහාරයන්හි විහාරාධිපති වැලිමඩ ගුරු සම්පත් මධ්‍යස්ථානාධිපති සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ගුරු අධ්‍යාපන සේවයේ කථිකාචාර්යය විල්ඔය පඤ්ඤාතිලක හිමියෝ ය.

ශ්‍රී සෝමානන්ද පිරිවෙන ආරම්භ කළ දිනයේ සිට 1993.09.15 දින දක්වා කැප්පෙටිපොල ශ්‍රී සෝමානන්ද සම්මාන පරිවේණාධිපති රාජකීය පණ්ඩිත සද්ධර්මකීර්ති ශ්‍රී සෝමානන්ද සුමනසාරාභිධාන ස්‍යාමොපාලි වංශික මහා නිකායේ ඌව පාර්ශවයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එම තනතුර දරන ලදි. ඉන් අනතුරුව ඌවේ ස්‍යාමවංශික නිකායේ වැඩ බලන මහා නායක ධුරන්ධර ශාස්ත්‍රවේදී එරබද්ද ශ්‍රී විවේකාරාමාධිපති වැටහිරේ සෝරතාභිධාන අනුනා හිමියන් විසින් දරන ලදි. ඉන් අනතුරුව ඌවේ ස්‍යාමවංශික මහා නිකායේ මහා ලේඛකාධිකාරී හෙවණකුඹුර ශ්‍රී පූර්වාරාමාධිකාරී ශාස්ත්‍රපති වජිරඤාන හිමියන් ද වර්තමාන පරිවේණාධිපතීන් වහන්සේ ලෙස නැදුන්ගමුව ශ්‍රී ජයසුමනාරාමාධිපති ශාස්ත්‍රපති ඇත්තල ගෙදර නන්ද හිමියන් ද කටයුතු සිදු කරනු ලබයි.

   බක් අව අටවක 

 මැයි 03 සදුදා අපර භාග 13.39 අව අටවක ලබා 04 අඟහරුවාදා
අපර භාග 13.10 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]