[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් අව අටවක 2021.05.03

වැරැදි නිවැරැදි කර ගනිමු

කොරෝනා රෝග වසංගතය ව්‍යාප්ත වීමත් සමඟ ගෙවී ගිය කාලය තුළ අපට බොහෝ පාඩම් ඉගෙන ගන්නට ලැබුණි. ඒ මෙතෙක් නොවිඳි අත්දැකීම් ඇසුරිනි. මරණයේ වේදනාව, අපි‍්‍රය ජනකබව අපි වෙනදාටත් වඩා අත්දකිමින් සිටින්නේ අපේ අසල්වැසි රාජ්‍යයේ අසරණ ජනතාව පත්ව සිටින ඛේදවාචකය හමුවේ ය. ජීවිතය තණ අග රැඳි පිනි බිඳුවක් ම යැයි තේරුම් ගන්නට එයම ප්‍රමාණවත් ය.

ජීවිතයේ ස්වභාවය එයයි. මොහොතින් මොහොත අප මරණය වෙත ළඟා වෙන්නේ මව් කුස හොත් දා සිටම ය. කවර මොහොතක මාරයා ළඟා වේ දැයි කියන්නට නොහැකි ය.

එක් අවස්ථාවක තමන් වහන්සේ හමුවට ආ කොසොල් රජතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සතර දිගින් සියලු දැය සුණු විසුණු කරමින් පෙරළී එන, අහස තෙක් උස්වූ ඒක ඝන මහා පර්වතයක් සේ මරණය අප වෙත පෙරළීගෙන එන බවයි. ඉන් ගැලවීමට කිසිවකුට නොහැකි බව හා සියල්ලන්ට ම ඒ ධර්මතාව පොදුවන බවයි.

ධනය, බලය, කුලය, නිලය හා අන් කිසිවක් ඉදිරියේ මරණය ජය ගත නොහැකි ය. එහෙත් ප්‍රඥාවන්ත පුද්ගලයා, ධර්මාවබෝධය ලද තැනැත්තා ජීවිතයේ වෙනස්වීම්වලට හෝ මරණයට බිය නොවේ. ඒ ඔහු තමන්ටත් කවර දිනෙක හෝ ඒ අවස්ථාවන්ට මුහුණ දෙන්නට සිදුවනවා ය යන ධර්මතාව අනුව යමින් ඒ සඳහා මග වියදම් එක් රැස් කරගෙන සිටින නිසා ය.

තවද නුවණැති පුද්ගලයා , තමන් වපුරන්නේ මොනවාද, වපුරන්නේ කෙලෙස ද ඊටම අනුව ප්‍රතිඵල ලැබෙන බව දනී. එහෙයින් ඔහු පාපයට බියවන්නේ ය. ලජ්ජා වන්නේ ය.

කොරෝනා වේශයෙන් අද අප නෙත් ඉදිරියේ ප්‍රදර්ශනය වන්නේ කාලාන්තරයක් තිස්සේ නොහික්මීම නිසා කරන ලද ක්‍රියාවන්ගේ ප්‍රතිඵලය. මිනිසා මිනිසාට එරෙහි වෙමින්, ජීවත්වන පරිසරයට එරෙහි වෙමින් සිය අභිමථාර්ථයන් සිත් සේ සපුරා ගන්නට යෑම නිසා සමස්ත ජීවි අජීවි ලෝකයට බොහෝ අනර්ථ සිදු වුණි. ඒ කළ කම් සිහිපත් කර දෙමින් සොබාදහම දැන් ප්‍රති ප්‍රහාර දෙමින් සිටී.

ජීවිතය දෙස ආපසු හැරී බලන්නට මේ හොඳම කාලයයි. තමන් මෙතෙක් කළ වැරැදි හඳුනාගෙන නිවැරැදි වන්නට හොඳම කාලයයි.

සියලු පව් නොකළ යුතු බවත්, කුසල් කළ යුතු බවත් සියලු බුදුවරයන් වහන්සේගේ අනුශාසනාව ය. ඒ දහම් මඟ යනවා නම් බොහෝ කරදරවලින් මඟ හැර සිටින්නට පුළුවන. එහෙත් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ආතුර වු අපේ සිත නිරන්තරයෙන් අවිවේකී ය. ඒ අවිවේකී සිත යොමු වන්නේ ම අයහපතට ය. එහෙයින් සිතට විවේකය ලබා දිය යුතු වේ. ඒ සඳහා සිත හික්මවා ගත යුතු ය. එවිට අපගේ චරිතය ද හික්ම වේ. හික්මුණු පුද්ගලයාගෙන් තමන්ට හෝ සමාජයට හෝ වැඩ මිස අවැඩ නොවන්නේ ය. එහෙයින් සිත අපිරිසුදු කරන, අවිවේකී කරන පෙරකී අපවිත්‍ර කාරක සෝදා හළ යුතුම ය.

ඒ සඳහා වන මඟ අප තථාගතයන් වහන්සේ අපට පෙන්වා දී ඇත. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත දේශයක උපදින්නට තරම් අපි භාග්‍යවන්තයන් වී සිටිමු.

එය ප්‍රායෝගික වන්නේ දහම ජීවිතයට සමීප වූ තරමට ය. තමන් බෞද්ධ යැයි වදනකට සීමා වූවාට පලක් නැත. මෙලොවට ද එලොවට ද ප්‍රයෝජනයක් නැත. ජීවන ප්‍රතිපදාව තුළ සෑම මොහොතක ම විද්‍යමාන විය යුතු දැහැමි බව ය.

දැහැමි පුද්ගලයා , ධර්මයට අනුව ජීවත්වන පුද්ගලයා ධර්මය විසින් ම ආරක්ෂා කරන බව දහමෙහි සඳහන්ය. අද අප මුහුණ දී සිටින රෝග උවදුරු හමුවේ පමණක් නොවේ. ජීවිතයේ අනේක විධ දුක්ක දෝමනස්සයන්ගෙන් මිදී සිටින්නට සේ ම විපර්යාසයන් හමුවේ නොසැලි ශක්තිමත් ව මුහුණ දීමට ද ශ්‍රී සද්ධර්මය උපකාරි වේ.

   බක් අව අටවක 

 මැයි 03 සදුදා අපර භාග 13.39 අව අටවක ලබා 04 අඟහරුවාදා
අපර භාග 13.10 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]