[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

වැයිහේනේ පවර නාහිමි

බද්දේගම , මහළපිටිය ශ්‍රී මහින්දාරාමාධිපති, විශ්‍රාමලත් නියෝජ්‍ය පරිවේණාධිපති මුළු දිවයිනටම සාමවිනිසුරු ශාස්ත්‍රවේදී වැයිහේනේ පවරාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිය පැවිදි දිවියේ හැටහත් වන වියට පා තැබූහ.

දක්ෂිණ ලංකාවේ ගාලු දිසාවේ මත්තක වැයිහේන ග්‍රාමයේ විසූ පී.ජී.පුංචි සිඤ්ඤෝ මහතාට හා ඇසිලින් නෝනා පතිනායක මාතාවට දාව 1953 අපේ‍්‍රල් මස 25 වන දින උපත ලද පින්වත් කුමරු මාපිය සෙනෙහස දයාව ඇසුරෙහි වැඩෙන අතර වැයිහේන මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ගත්හ.

අධ්‍යාපනය ලබමින් පසුවන විට පුරාකෘත පුණ්‍ය මහිමය නිසාම වැයිහේන විද්‍යා ශාන්ති මහ පිරිවෙන් විහාරය වෙත පැමිණ පැවිද්දට අවශ්‍ය මූලික වත් පිළිවෙත් බණ දහම් ඉගෙන තත් විහාරාධිපති පරිවේණාධිපති පණ්ඩිත උනන්පිටියේ ශ්‍රී ගුණරතනාභිධාන ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යවරයකු ලෙස වැයිහේනේ පවර හිමි නමින් පැවිදි දිවියට ඇතුළත් විය.

වැයිහේනේ විද්‍යාශාන්ති මහ පිරිවෙන කොළඹ, හුණුපිටිය ගංගාරාම ශ්‍රී ඤාණිස්සර විද්‍යායතන පිරිවෙන යන විද්‍යස්ථාන තුළින් පැවිදි අධ්‍යාපනය ලබා ගත් වැයිහේනේ පවර හිමියෝ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ.

1973 ජුනි මස 01 වන දින මහනුවර මල්වතු මහා විහාරයේදී උපසම්පදාව ලබා ගත් අතර සිය ගුරුදේව නාහිමියන් යටතේ පැවති මහළපිටිය ශ්‍රී මහින්දාරාමය මේ වන විට භික්ෂු වාසයෙන් තොරව අරාජිකව පැවැතුණි. නාහිමියන්ගේ ඉල්ලීම මත මහළපිටිය ශ්‍රී මහින්දාරාමයට 1982 අගෝස්තු මස 05 වන දින වැඩම කළ හිමියෝ දායක දායිකාවන්ගේ ආධාර උපකාර ලබා ගනිමින් විහාර සංවර්ධනයට කැප වූහ. එවකට විහාරස්ථානයට ප්‍රවේශ වීමට පැවැතියේ කුඩා අඩි පාරක් පමණි. දිවා රෑ වෙහෙසෙමින් මාර්ගය සකස් කොට ධර්ම ශාලාව ආදී විහාරාංග සම්පූර්ණ කිරීමට කටයුතු කළා පමණක් නොව ප්‍රදේශයේ දූ දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය කිරීමේ අරමුණින් සිරි මිහිඳු දහම් පාසල ගොඩනැංවීමේ අරමුණින් 1984 වසරේ දී සිරි මිහිඳු දහම් පාසල ආරම්භ කරමින් වර්තමානය තෙක් ප්‍රධානාචාර්ය ධුරය දරමින් උදාර සේවාවක් ඉටු කරයි.

ඉඳුරුපත්විල ශ්‍රී ශෛලබිම්බාරාම මහා විහාරාධිපති ගම්මැද්දේගොඩ සිරි සරණතිස්සාභිධාන ගාලු ගඟබඩවැල්ලබඩ දෙපත්තුවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආරාධනයෙන් 1989 සැප්තැම්බර් මස 01 වන දින සිට විද්‍යානන්ද පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස සේවයට එක් විය.

මහළපිටිය ග්‍රාමෝදය සමිතිය හරහා අසරණ ජනතාවට උදව් උපකාර කළ අතර ම නිවසක් අහිමිව සිටි අසරණ පවුලකට නිවසක් ඉදිකර දීමට ද වැයිහේනේ පවර හිමියෝ සමත්වූහ.

ගම්මැද්දෙගොඩ සිරි සරණතිස්සාභිධාන ගාලු ගඟබඩ වැල්ලබඩ දෙපත්තුවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා ගම්මැද්දේගොඩ සිරි සරණාභිධාන ගාලු දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි නොබෝ දිනකින් ම දක්ෂ ආචාර්යවරයකු බවට පත් වූ පවර හිමියෝ තත් පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති ධූරයට ද පත් විය. 2011 අපේ‍්‍රල් මස 25 වන දින විශ්‍රාම ලැබූහ.

අධිකරණ අමාත්‍යංශය මඟින් මුළු දිවයිනටම සාමවිනිසුරු පදවියකින් ද පිදුම් ලැබූහ. ස්වකීය ගුරු දේව උනන්පිටියේ ශ්‍රී ගුණරතනාභිධාන නාහිමියන් වහන්සේට මෙන් ම උපසම්පදාවේදී ආචාර්යවරයකු වූ විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රවේදී උනන්පිටියේ ශ්‍රී විමලරතනාභිධාන ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කෙරෙහිද අප්‍රමාණ ගුරු ගෞරවයෙන් සිහිපත් කරන අප මාහිමියෝ අපිස්, සතොස් දිවියම පි‍්‍රය කරති.

සිය දිවියේ හැටහත් වන විය සපුරන ගුරුදේව මාහිමියන් වහන්සේට ශත වර්ෂාධික කාලයක් සසුනඹර වැඩ වඩන්නට නීරෝගි සුව දීර්ඝායු සම්පත් ලැබේවා!

   බක් අව අටවක 

 මැයි 03 සදුදා අපර භාග 13.39 අව අටවක ලබා 04 අඟහරුවාදා
අපර භාග 13.10 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]