[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා - 31: දුටුගැමුණු කුමාරයාගෙන් හදිසි පණිවිඩයක්

දුටුගැමුණු මහ රජතුමා - 31:

දුටුගැමුණු කුමාරයාගෙන් හදිසි පණිවිඩයක්

“දුටුගැමුණු කුමාරයා පිය රජතුමාට අකීකරු වීම නිසා සහෝදරවරුන් අතර සමගිය නැතිවෙලා. භේදභින්න වෙලා. ඔවුන් සටනකට සැරසෙනවා.” යන අසත්‍ය ආරංචියක් අනුරාධපුරය පුරා පැතිර යනවා. එම ආරංචිය රට පුරා පතුරවාලීමට කවුරුන් හෝ උත්සාහ කරනවා නම් එය අපේ අනාගත ආරක්ෂාවට හානිකරයි. සහෝදරයන් භේදභින්න වීම වළකා ගන්නට ඕනේ.

දීඝාභය කුමාරයා අපෙන් වෙන් වුණොත් ඔහු භාරයේ තිබෙන තොටමුණුවල ආරක්ෂාව ලිහිල් වෙන්නට පුළුවන්. තිස්ස කුමාරයා තුළත් මේ වන විට කලකිරීමක් ඇති වී තිබෙන්නට පුළුවන්. නමුත් මේ සොහොයුරන් දෙදෙනා කිසිදා භේදභින්න නොවන බවටත් , අරගල ඇතිකර නොගන්නා බවටත් අප ඉදිරියේ දුන් ප්‍රතිඥාවක් තිබෙනවා. එය නැවත ඔවුන්ට මතක් කර දෙන්නට පුළුවන්.

“යුද්ධ කිරීම ගැන මම කරුණු කියන්නට අදහස් කරන්නේ නැහැ. දුටුගැමුණු කුමාරයා ලාබාල වියේ සිටියත් ඔහු පරිනත දේශපාලනඥයෙක් . මම දකින විදියට දුටුගැමුණු කුමාරයාගේ නායකත්වය යටතේ යුද්ධය හෙට ඇරඹුණත් කමක් නැහැ. කෙදිනක යුද්ධය ඇරඹුණත් දුටුගැමුණු කුමාරයාගේ යුද ජයග්‍රහණය ස්ථිර බව මට පෙනී යන සත්‍යයක්. මිථ්‍යාදෘෂ්ටිකයන් පළවා හැර රට එක්සේසත් කිරීම නොපමාව කළ යුතු කාර්යයක්. එහෙත් අපේ යම් යම් දුර්වලතා නිසා එම කටයුත්ත තවත් ප්‍රමාද කිරීමට සිදුවෙලා. එහෙත් ජයග්‍රාහි අවස්ථාව එන තුරු ඒ සඳහා පසුබිම සකස් කරදීම භික්ෂුන් වහන්සේලා වන අපගේ වගකිමක්. “

දාව ආචාර්යතුමා , කාම්බෝජ බ්‍රාහ්මණතුමා ඇතුළු මහා සංඝරත්නය තමයි ගැමුණු කුමාරයාගේ ඉෂ්ඨ දේවතාවරු. මහා සංඝරත්නය අවශ්‍ය උපදෙස් ලබාදේවි. අද ආරක්ෂක ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පවත්වාගෙන යන්න. මට වීහාරස්ථානයට යාමට අවසර දෙන්න.”

මේ මොහොතෙහි රාජ දූතයකු රහස් පණිවිඩයක් රැගෙන පැමිණ සිටින බවත්, එය භාරගත යුත්තේ වේළුසුමන බවත් ආරක්ෂක නිලධාරියකු විසින් දන්වන ලදී. වේළුසුමන වහාම සම්මන්ත්‍රණ ශාලාවේ දොරටුව වෙත ගොස් දුතයා හමු විය.

“ මේ හීපත කාගෙන්ද ?”

“දුටුගැමුණු කුමාරයාගෙන් “

“නුඹ එය දන්නේ කෙසේද “

හී කඳවුරෙන් දැනුම් දුන්නා”

“හොඳයි හී පත මට දෙව “

රාජ දුතයා හී පත වේළුසුමන අත තැබිය. වේළුසුමනට එය අදහාගත නොහැකි විය.

“දුටුගැමුණු කුමාරයාගෙන් හීපතක් “ යැයි කියමින් එය ත්‍රිපිටකතිස්ස මහතෙරුන් වහන්සේට පිළිගැන්විය.

සභාවේ සියල්ලෝම තුෂ්නිම්භූතව බලා සිටියහ. මේ මොහොතේ දුටුගැමුණු කුමාරයාගෙන් හී පතක් ලැබීම සැමගේ ම කුතුහලයට හේතු විය.

“මෙය එවා ඇත්තේ වේළුසුමන නමටයි. පණිවිඩය රහසිගත හෝ පෞද්ගලික දෙයක් නොවේ නම් එය සභාවටම ඇසෙන ලෙස කියවන්න.”

වේළුසුමන හී පතෙහි වූ සම්කඩ ඉවතට ගෙන ඒ තුළ වූ තල්පත කියවීය.

“ප්‍රධාන ඇමතිතුමනි, සෙනෙවිවරුනි පිය රජතුමාට අපහාස කළ අකීකරු පුත්‍රයකු ලෙස බොහෝ දෙනකුගේ අප්‍රසාදයට මා පත්ව සිටින බව මම දනිමි. මා එදා ඒ කළ දේ තරමක් සැර වැඩි වුවද, ඒ පිළිබඳ මගේ පසුතැවීමක් නැත. මම අප්‍රකටව සැඟ වී සිට සේනා සංවිධානයෙහි හා කෘෂිකාර්මික කටයුතු වල සහ අවි නිෂ්පාදනයෙහි නිරතව සිටිමි. ඒ නිසා මා ගැන සෙවීම නතර කරන්න. රට, ජාතිය, බුද්ධ ශාසනය රැකගැනීමේ සටන කවර මොහොතක හෝ ආරම්භ විය හැක. මාගේ පැමිණීම තව ටික දිනකින් සිදුවන බව පිය රජතුමාටත් මෑණියන් වහන්සේටත් දන්වන්න. ම ඉතා සුවසේ වෙසෙන බව ඔවුන්ට පවසන්න. ත්‍රිපිටක තිස්ස තෙරුන් වහන්සේගේත්, කාම්භෝජ රජතුමාගේත්, දාව ආචාර්යතුමා ඇතුළු මහා සංඝරත්නය නිරතුරුවම මට ආශිර්වාද කරත්වා!

වේළුසුමන තල්පත කියවා අවසාන වන විටම සභා ගර්භයෙන් ප්‍රීති ඝෝෂා නැගිණි.

“දුටුගැමුණු කුමාරයාට ජයවේවා , ජයවේවා”

සම්මන්ත්‍රණ ශාලාවෙන් නැගුණු ඝෝෂාවෙන් පරිසරය ගිගුම් හඬ නැංවිය.

“ගැමුණු කුමාරයා ඔබ වෙත එවූ පණිවිඩයෙන් ඔබ සැමට ප්‍රබෝධයක් ඇති කර ගත හැකියි. දැන් මට යාමට අවසර දෙන්න.”

මාහිමිපාණන් වහන්සේ සම්මන්ත්‍රණ ශාලාවෙන් පිටතට වැඩියහ. මහා ඇමතිතුමා නැඟී සිටියේය.

“මහා සෙනෙවිවරුනි, සෙනෙවිවරුනි, දැන් අප ඉදිරියේ තිබෙන ප්‍රධාන කාර්යය යුද්ධයයි. යුද්ධය ජයගත යුතුයි. පරාජය නොවිය යුතුයි. එහි ජයග්‍රහණ සඳහා අවශ්‍ය වන්නේ කැපවීමයි. කටයුතු හොඳීන් සංවිධානය කිරීමයි. යුද්ධය දිගින් දිගටම කල්දැමීමට කාවන්තිස්ස මහරජතුමාගේ අදහසක් නැහැ . ඉදිරි මාස තුන ඇතුළත කවර හෝ දිනයක යුද්ධය ආරම්භ කිරීමට රජතුමාගේ විරෝධයක් නැහැ. දුටුගැමුණු කුමාරයා ඕනෑම මොහොතක මාගම රාජ්‍යයට පැමිණ යුවරජු තනතුරේ කටයුතු කළ හැකියි. කුමාරයාට කිසිදු දඬුවමක් දීමේ උවමනාවක් නැති බවත් රජතුමා දැනුම් දී තිබෙනවා.”

“සේනාංක අතර යම් යම් මතභේද තිබෙනවා නම් ඒ සියල්ල අද සාකච්ඡාවේදී විසඳාගත හැකියි. ඒ මගින් ඉතා ශක්තිමත් බල හමුදාවක් ලෙස නැඟී සිටින්නටත් ඉදිරි මාස තුන හොඳටම ප්‍රමාණවත්. “

මෙහිදී සභාවෙන් නැඟුණු විවිධ ප්‍රශ්න වලට මහා ඇමැතිතුමාත් , වේළුසුමනත්, නන්දිමිත්‍රත් පිළිතුරු දුන්හ. සියලු මහා සෙනෙවිවරු, තම තමන්ගේ කාර්ය භාරයන් පිළිබඳ එකඟතාවයකට පැමිණියහ. සම්මන්ත්‍රණ කටයුතු අවසානව සැවොම විසිර යන්නට වුහ.

එළියට පැමිණි වේළුසුමන, කිසිවකු තමන්ට කතාකරන හඬ ඇසී ආපසු හැරී බැලීය. නන්දිමිත්‍ර තමන් වෙත පැමිණෙමින් සිටියේ ය. “සිවනාග උප සෙනෙවියා කෙබඳු භූමිකාවක් රඟපාන්නේදැයි” ප්‍රශ්න කළේ ය.

සිවනාග චුලන්ගනී ආධුනික පුහුණු කඳවුරට මෑතකදී පත් කළ උප සෙනෙවියකි. අනුරාධපුරයේ උප සෙනෙවියකු මෙන් ම එළාර රජතුමාට සේවය කර කළකිරී මෙහි පැමිණි ඔහු මහා සෙනෙවි තනතුරක් බලාපොරොත්තු වන්නකි. තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කළ ද හිටිහැටියේ ම අතුරුදහන් වන්නකු බව බොහෝ දෙනෙක් දැන සිටියහ. මාගම සියලු විස්තර මිත්‍ර සෙනෙවියා මගින් එළාර රජුට වාර්තා කර මහා සෙනෙවිකමට ලකුණු එකතු කරගන්නට වෑයම් කරන බවට ද තොරතුරු ලැබී තිබිණි. මේ නිසා ඔහු ගැන අවධානයෙන් සිටිය යුතු බවට ඔවුහු කතිකා කරගත්හ.

   බක් අව අටවක 

 මැයි 03 සදුදා අපර භාග 13.39 අව අටවක ලබා 04 අඟහරුවාදා
අපර භාග 13.10 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]