[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 දෙස් විදෙස් සුපතළමොරටුව එගොඩඋයන විදර්ශනාරාම මූලමහා විහාරය

 දෙස් විදෙස් සුපතළ මොරටුව එගොඩඋයන විදර්ශනාරාම මූලමහා විහාරය

විදර්ශනා මූල මහා විහාරස්ථානය ආරම්භ කර තිබෙන්නේ 1876 වර්ෂයේ දී ය. යාලේගම සෝභිත තිස්ස මාහිමියන් ආරම්භක විහාරාධිපති විය. කාගේත් සිත් පහදවන ශ්‍රමණ ආකල්පවලින් සුපෝෂිත ව සිටි උන්වහන්සේ දායක කාරකාදීන්ගේ ආගමික අවශ්‍යතාවයන් ද නොපිරිහෙලා ඉටු කරමින් උතුම් පැවිදි ජීවිතයක් ගත කර ඇත.

ඒ පිළිබඳව මහත් සේ පැහැදුණු ග්‍රාම වාසීන් උන්වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරන්නට විය. තාවකාලික පොල් අතු මඩුවක් තුළ ජීවත් වූ සෝභිත තිස්ස හිමියන්ට දායකයින් විසින් ස්ථිර සංඝාවාසයක් තනවා පූජා කරන ලදී. පසුකාලීන ව විහාරස්ථානය තුළ බෝධි රෝපණයක් හා බුද්ධ මන්දිරයක් ඉදිකිරීම සඳහා උන්වහන්සේ මුල පිරීය. ඒ අනුව ඉතා අලංකාර බුද්ධ මන්දිරයක් ද ඉදිවිය.

එසේ ඉදිවූ බුද්ධ මන්දිරය තුළ බිතු සිතුවම් ඇඳීමේ කාර්යයට අනගාරික ධර්මපාල තුමන්ගේ ඥාති පිරිසක් ඉදිරිපත් විය. ඒ අනුව නීල් හේවාවිතාරණ මැතිතුමා, දයා හේවාවිතාරණ මැතිණිය, රාජා හේවා විතාරණ මැතිතුමා, රාජාහේවා විතාරණ මැතිණිය, ඇඩ්මන් හේවා විතාරණ මැතිතුමා , ඩී.එල්. ජයතිලක මැතිණිය, සුමනා ජයසූරිය මැතිණිය යන අයගේ ධන පරිත්‍යාගයෙන් එම බිතු සිතුවම් ඇඳ තිබෙන අතර ඒ පිළිබඳව බුද්ධ මන්දිරයේ ලිඛිතව සඳහන් වේ.

මේ කාලය තුළ සිදු වූ විශේෂ සිදුවීමක් තිබේ. එනම් සෝභිත තිස්ස හිමියෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පිහිටුවා වදාළ ශාසනවංස කවිධජ සද්ධම්මචාරී යති සංඝපති අඹගහවත්තේ ඉන්ද්‍රසභවර ඤාණසාමී අතිගරු මහානායක හිමිපාණන් වහන්සේගේ ඇසුර ලැබීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස එම මහා නායක හිමියෝ විදර්ශනාරාම මූල මහා විහාරස්ථානයට නිතරම වැඩම කර තිබේ. ඒ වගේම වස්සාන කාලයන් තුළ විහාරස්ථානයේ වස් සිටුවා ද තිබේ. අතිගරු මහා නායක හිමිපාණන්ගේ පැවිදි ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් වන අවසානම වස ද මෙම විදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේ වැඩ සිට ඇත. එනම් උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ අවසානම වස්කාලය 1885 විදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේ දී වස් සිටුවා තිබේ.

 


මොරටුව එගොඩඋයන විදර්ශනාරාම මූලමහා විහාරාධිකාරි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පානදුර ප්‍රාදේශීය සංඝ සභාවේ

පටිපත්ති සංවර්ධන ලේකම් ධර්මාචාර්ය මීරිගම සුගතනන්ද හිමි

සෝභිත තිස්ස මාහිමියන්ගේ අපවත්වීමෙන් පසු පොහොන්නරුවේ සුගතපාල මාහිමියෝ විහාරාධිපති විය. ඒ වනතුරු අභිනවාරාමය නමින් හැඳින්වූ මෙම විහාරස්ථානය සුගතපාල මාහිමියන්ගෙන් පසුව විදර්ශනාරාම මූල මහා විහාරය ලෙස නම් විය.

1961 රාජකීය පණ්ඩිත කිතුල්වල ධම්මෝදය මාහිමියෝ විහාරාධිපති පදවියට පත්විය. ඉන්පසුව 1982 සුගතපාල වංශාලංකාර සද්ධර්ම වාගීෂ්වරාචාර්ය විනයාචාර්ය දෙහිගම විනයපාල මාහිමියෝ විහාරාධිපති පදවියට පත්විය. උන්වහන්සේ මෙම විහාරස්ථානය තව තවත් නවීකරණය කරමින් කාගේත් ගෞරවයට පත්වන විලසින් අලංකාරවත් කරන ලදී. 2011 උන්වහන්සේ අපවත් විය.

ඉන් අනතුරුව විහාරාධිපති පදවියට පත් වූයේ පානදුර බෙක්කේගම සුගතනන්දනාරාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පානදුර ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති සමස්ත ලංකා සාමවිනිසුරු දේවානන්ද වංශාලංකාර සද්ධර්ම වාගීෂ්වරාචාර්ය ශාස්ත්‍රවේදී කහපිටිගොඩ සුධර්මාලංකාර මාහිමියෝ ය. උන්වහන්සේගේ අනුශාසනා හා මඟ පෙන්වීම යටතේ ශිෂ්‍ය විහාරාධිකාරි මීරිගම පොහොන්නරුවේ සුගතනන්ද හිමි විහාරස්ථානයේ සියලු ආගමික කටයුතු අඛණ්ඩව කරගෙන යමින් වැඩසිටී.

මෙම විහාරස්ථානයේ දිනපතාම වසර මුළුල්ලේම රාත්‍රී 7.00 ට බෝධිපූජාවක් පැවැත්වේ. එම බෝධිපූජා පින්කමෙන් ගම්වාසීන්ට, ප්‍රදේශවාසීන්ට, රට වාසීන්ට ලෝක වාසීන්ට සෙත ශාන්තිය ආශීර්වාදය ප්‍රාර්ථනය කරයි.

ඒ වගේම 1966 දී ආරම්භ කරන ලද මිහිඳු පෙරහර නොනවත්වාම අඛණ්ඩ ව වර්තමානය දක්වාම පවත්වාගෙන යාම විශේෂ කරුණකි. එම පෙරහර මේ වන විට 54 වාරයක් පවත්වා තිබේ. තවද, මෙම වර්ෂයේ දී විදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේ 146 වැනි කඨින චීවර පුණ්‍යොත්සවය පැවැත්වීමට නියමිතව තිබේ. ඒ වගේම විහාරස්ථානය ආරම්භ කර 2026 වසර වන විට වසර 150 ක් සම්පූර්ණ වේ. මේ කරුණු අනුව විදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේ ඇති ඉපැරණි බව තහවුරු වේ.

  මැදින් අමාවක 

 අප්‍රේල් 11 ඉරිදා පූර්වභාග 06.03 ට අමාවක ලබා 12 සඳුදා පූර්වභාග 08.00ට ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]