[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුටුගැමුණු මහ රජතුමා - 28: ගැමුණු කුමරු සොයා දෙන කෙනකුට ගම්වරයක් තෑගි

දුටුගැමුණු මහ රජතුමා - 28:

ගැමුණු කුමරු සොයා දෙන කෙනකුට ගම්වරයක් තෑගි

කාවන්තිස්ස රජතුමාගේ රෝගී පෙනුම දැන් නැත. කටහඬෙහි ද පෙර මෙන් පෞරුෂය ඇත. යුද කඳවුරු පරික්ෂාවෙහි සහ සෙබලුන් බඳවා ගැනීමේදී වෙනදාටත් වඩා උනන්දු ය. දුටුගැමුණු කුමාරයා පලා යාමෙන් හටගත් මතභේද ඉතා ඉක්මනින් තුරන් වී යාමට මහ රජතුමාගේ උනන්දුව හේතු විය.

කාවන්තිස්ස රජතුමාගේ නියමයෙන් රජමාලිගාවේ රැස්වීම් ශාලාවට සෙනෙවිවරු රැස්වෙමින් සිටියහ. හදිසි කැඳවීමකින් සියලු දෙනාට පැමිණෙන ලෙස දන්වා තිබුණ ද ඒ කුමන කරුණක් වෙනුවෙන් ද යන්න කිසිවකු දැන සිටියේ නැත. ඒ නිසා සැවොම කුතුහලයෙන් පසුවූහ.

රජතුමා රැස්වීම් ශාලාවට පැමිණියේ ය. මුළු පරිසරයම නිහඬය. සැවොම මීයට පිම්බාක් මෙනි. ඉනික්බිතිව කාවන්තිස්ස රජතුමා කතා කළේ ය.

මං ආවේ මේ හැම දෙනාගෙන්ම ඉල්ලීමක් කරන්නයි’.

කවුරුත් නිශ්ශබ්දව රජතුමාගේ කතාවට කන් යොමා සිටිති.

“ගැමුණු කුමාරයා වසර දෙකකට ආසන්න කාලයක් සැඟවිලා හිටියා. දැන් එය හොඳටම ඇති. ඔහුත් සමඟ මගේ හිතේ තරහක් නැහැ. ඒ නිසා දඬුවම් කිරීමේ වුවමනාවක් මට නැහැ. ඔහුට යුද්ධය කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අවසර දෙන්න පුළුවන්. ඒ නිසා කුමාරයා ඉන්න තැනකින් සොයාගෙන රජ මාළිගයට කැඳවාගෙන එන්න. එය කළ හැක්කේ කාටද?

රජතුමාගේ පැනයෙන් කවුරුත් පුදුමයට පත්වූහ. නිශ්ශබ්දව බලා සිටියහ. පැවැති නිහඬතාව බිඳිමින් මහනෙල කතා කළේය.

“මහරජතුමනි, ගැමුණු කුමාරයා සොයා ගැනීම ඉතාමත් අසීරුයි. දවසින් දවස තැන් මාරු කරනවා. අද එක තැනක. හෙට තවත් තැනක. පසුගිය දිනෙක මොනරාගල ප්‍රදේශයේ සැරිසරන බව ආරංචිවෙලා මම ඒ ප්‍රදේශයට ගියා. ගොපලු දරුවන් සමඟ සෙල්ලම් කරලා කුමාරයා ගිහින්. හිද්දලයා දැන් අපත් සමඟ සෙල්ලම් කළා. ඒත් දැන් ගිහින්. මේ කොලුවා හිද්දලයා කියන්නේ කුමාරයාට බව අප තේරුම් ගත්තා. ඊට පසු දිනකත් අප එතැනට ගියා. හිද්දලයා ඇවිත් හිටියේ නැහැ. කලින් දිනයේ අපට හමුවූ තරුණයන් බොහෝ දෙනෙක් ගිරිනුවර හමුදා කඳවුරට එකතු වෙලා”.

රජතුමා යමක් කල්පනා කළේය. “ඔබ ඊට පසුව නැවතත් උත්සාහ කළේ නැතිද?”

“හිද්දලයා අල්ලා ගන්නට මාස කිහිපයකට පසුව මම නැවතත් මොනරාගලතැන්නට ගියා. හිද්දලයා ඌරුපැලැස්ස ප්‍රදේශයේ කුඹුරක් කරන බවත් ඒ නිසා හරක් බලන්න එන්නේ නැති බවත් ගොපලු දරුවන්ගෙන් දැනගත්තා. ඒ නිසා මම හොර රහසේම ඌරු පැලැස්ස ප්‍රදේශයේ කුඹුරට ගියා. එහෙ යනකොට එහේ එහෙම කෙනෙක් නැහැ.”

“මේ දවස්වල අපි කිහිපදෙනෙක්ම තැන තැන යමින් කුමාරයා සොයනවා. කැලණියටත් ගියා.”

කාවන්තිස්ස රජතුමා ඉතා සාවධානව මහනෙලගේ කතාව අසාගෙන සිටියේය.

“හොඳයි, මුලින්ම ගැමුණු කුමාරයා ගැන නිවැරැදි ආරංචියක් ගෙනෙන තැනැත්තට තෑගි දෙකක් දෙනවා. මාගම රාජධානියෙන් ගම්වරයක් සහ වටිනා අශ්ව රථයක් පිරිනමනවා” කී රජතුමා රාජකීය උද්‍යානය දෙසට තනිවම ගමන් කළේ ය.

“ගම්වරය ලබා ගන්නේ නන්දිමිත්‍රයි, වේළුසුමන කීවේ තමන් රහසක් දන්නා බව ඉඟි කරමිනි.

“නැහැ. නැහැ, තෑග්ග ලැබෙන්නේ දාඨාසේනටයි. එසේ කීවේ මහනෙලය.

‘හොරුන්ගෙන් හොරු කම්බ හොරු” නන්දිමිත්‍ර කීවේ සිනහාවෙමිනි.

“දැන් කුමාරයාට රජතුමාගෙන් දඬුවමක් නැති නිසා මාළිගයට එන්නට බැරි ඇයි?”

“කුමාරයා ඉන්නේ ගිරිනුවර දාව ආචාර්යතුමාලු කුමාරයාව සඟවන්නේ” මහනෙල කීවේය.

ඔහු රැස්වීම් ශාලාවෙන් යන්නට සැරසුණේ ය. ඒ මොහොතේ සිවනාග එතැනට පැමිණියේය. “සිවනාග, තොප මෙහි පැමිණියේ කුමකටද?”

“දීඝාභය කුමාරයා හමුවන්නටයි පැමිණියේ”

“කුමාරයා හමුවන්නේ කුමන කරුණක් සඳහාද?”

“සිරිනාග පිළිතුරු නොදුන්නේ ය,” හොඳයි නුඹ අකමැති නම් මට දැන ගැනීමට අවශ්‍යතාවක් නැහැ.

සවස ඔසුපැන් සංග්‍රහයක් සූදානම් කරන බව විහාරමහා දේවිය විසින් දැනුම් දුණි. ඒ සමඟම රජගෙදර සේවකයන් විසින් රසවත් කැවුම් පිරි මේසයක් සූදානම් කෙරිණි.

සංග්‍රහය අතරතුරදී අසරුවකු වේගයෙන් මාලිගය දෙසට දුව එනු දුටු නන්දිමිත්‍රත්, මහනෙලත්, මාළිගාවට ඇතුළු වන ප්‍රධාන දොරටුව වෙත ගියේ ඔහුගෙන් පැමිණීමට හේතුව දැනගැනීම සඳහාය.

“තොප හදිසියේ මෙහි පැමිණියේ කුමකටද?”

“සේනාධිපතිතුමනි, තිස්ස කුමාරයාට හදිසි පණිවිඩයක්,”

“එවා තිබෙන්නේ කොහෙන්ද? “

“කසා තොටින්”

“නුඹ මෙතැන සිටිනු. මම තිස්ස කුමාරයා එවන්නම්.”

  මැදින් අමාවක 

 අප්‍රේල් 11 ඉරිදා පූර්වභාග 06.03 ට අමාවක ලබා 12 සඳුදා පූර්වභාග 08.00ට ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]