[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගුණ නැණ බෙලෙන් පිරිපුන් පල්ලේගම ආයුපාල නාහිමි

ගුණ නැණ බෙලෙන් පිරිපුන් පල්ලේගම ආයුපාල නාහිමි

පල්ලේගම ආයුපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජන්ම දිනය පෙබරවාරි 15 වැනිදාට යෙදී තිබුණි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

සම්බුදු සසුනේ පැවැත්ම රඳා පවතින, උතුම් මහා සංඝරත්නය සතුව පැවතිය යුතු සුපටිපන්න යනාදී උතුම් ගුණ සමුදායෙන් පිරිපුන් නිහතමානීකමෙන් හා අපිස් සතොස් ගුණයෙන් යුතු රාජගිරියේ ධර්මාශ්‍රමාධිපති ශාස්ත්‍රවේදී පල්ලේගම ආයුපාල මාහිමි ආගමික, සාමාජික, අධ්‍යාපනික හා සංස්කෘතික වශයෙන් සේවාවන් රැසක නියුතු ධර්ම විනයධර මහා යතිවරයන් වහන්සේ නමකි.

මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළයේ පල්ලේගම නමැති පෞරාණික සුන්දර ගම් පියසක් වෙයි. සැදැහැවත් සොඳුරු මිනිසුන් වසන මෙම ගම් පියසේ විසූ ඩී.එස්.ආර්. ගුණවර්ධන කොර්නර්

රාළහාමි මහෝපාසක මහතාණන් හා කුසුමලතා දහනායක යාපා මහෝපාසිකා මාතාව යන දම්පතීන් ගේ පුත්‍ර රත්නයක් ලෙස වර්ෂ 1931 පෙබරවාරි මස 15 වැනි දින පල්ලේගම ආයුපාල මාහිමියෝ ජන්ම ලාභය ලැබූහ.

කුඩා කල සිටම ඉතා සැදැහැයෙන් ක්‍රියා කළ හෙයින් වර්ෂ 1942 සැප්තැම්බර් මස 23 වැනිදා උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් ආයුපාල නාහිමියන් ගේ ආචාර්යපාදෝත්තමයාණන් වහන්සේ වූයේ දම්පහළ ශ්‍රී මේධංකරාභිධාන මොරවක් කෝරළයේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. ඉක්බිතිව ගුරු හිමියන් ඇසුරෙහි මූලික ධර්ම විනය ප්‍රගුණ කිරීමෙන් පසු පාරිවේණික අධ්‍යාපනය සඳහා ආයුපාල මාහිමි ඇතුළත් වූයේ මාතර කිතුලේවෙල ජයමහා විහාර පරිවේණස්ථානයට යි. වර්ෂ 1954 මැයි මස 30 වැනිදා මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාව ලැබී ය.

තදනන්තරව මාලිගාකන්දේ විද්‍යොදය මහ පිරිවෙනින් ධර්ම විනය, භාෂා ශාස්ත්‍රය මැනවින් හදාරා උසස් අධ්‍යාපන මං පෙත් විවර කරගත් උන් වහන්සේ විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙහි ආදිතම ශිෂ්‍ය කණ්ඩායමට

ඇතුළත්වීමේ දුර්ලභ භාග්‍යය සේ ම මාතර කිතුලේවෙල ජයමහා විහාර පිරිවෙණෙන් විශ්වවිද්‍යාල වරම් ලද ප්‍රථම ශිෂ්‍යයා වීමේ දුර්ලභ භාග්‍යය ද ලැබූ හ. වර්ෂ 1961 ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ ආයුපාල මාහිමියෝ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමා සහතික ද ලබා ගනිමින් ඉංග්‍රීසි භාෂාවෙහි ද මනා ප්‍රවීණත්වයක් දැක්වූහ.

පාඨශාලීය අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ආයුපාල මාහිමි සිදු කළ සේවාව ඉතා ඉහළ මට්ටමක පවතියි. එවකට ඉතා දුෂ්කරව පැවති අනුරාධපුර සිවලාකුලම මහා විද්‍යාලයේ ප්‍රථම පත්වීම ලැබූ උන් වහන්සේ තදනන්තරව කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලය, බොරැල්ලේ සීවලී මහා විද්‍යාලය, හා ගොතටුව මහා විද්‍යාලයෙහි ද ධර්මාචාර්යවරයෙක් ලෙස ක්‍රියා කළහ.

පල්ලේගම ඛෙත්තාරාම විහාරය, ඌරුබොක්කේ ශ්‍රී නාගාරාම පුරාණ විහාරය, පට්ටිගල සුධර්මාරාමය, කීරිපිටියේ බෝධිරුක්ඛාරාමය, පල්ලේගම වෙහෙරගොඩ පුරාණ විහාරය හා රාජගිරියේ ධර්මාශ්‍රමය යන විහාරස්ථාන සයක ආධිපත්‍යය දරමින් එදාමෙදාතුර ආයුපාල මාහිමි සිදු කරනුයේ අපමණ ලෝක ශාසනික සේවාවකි. මේ විහාරස්ථාන අතර වෙසෙසින් වර්ෂ 1973 දී උන් වහන්සේ ගේ පුරෝගාමිත්වයෙන් ඇරැඹි රාජගිරිය ධර්මාශ්‍රමය අද වනවිට ප්‍රදේශවාසී සැදැහැවතුන් ගේ මුදුන්මල්කඩ බවට පත් චිත්තාකර්ෂණීය පුද බිමකි.

යුරෝපයේ, අමෙරිකාවේ හා ආසියාවේ රටවල් 25 කටත් අධික ප්‍රමාණයක ආගමික හා සංස්කෘතික ක්‍රියාකාරකම් රැසකට සහභාගි වූ උන් වහන්සේ ඒ තුළින් ලබාගත් අත්දැකීම් සම්භාරයකින් ද යුත්තය හ.

ස්වකීය අත්‍යුදාර ශාසනික සේවාවන් ඉදිරියට පවත්වාගෙන යාමට සමත් ඉන්දියාවේ නවදිල්ලි නුවර රජයේ විශ්‍රාම ශාලාවේ පරිපාලන ලේකම්, රජගහනුවර ශ්‍රී ලංකා වේළුවනාරාමාධිපති පල්ලේගම විජිත හිමි ප්‍රමුඛව විද්‍යාවේදී දොරපනේ භාතිය, ශාස්ත්‍රපති පල්ලේගම අස්සජී, පල්ලේගම විනීත, කඹුරුපිටියේ රතනසිරි, විහාරහේනේ නන්දරතන, පල්ලේගම කෝලිත, සූරියවැව පාලිත, කෝප්පකන්දේ සෝරත, දාපනේ සුනීත යන ශිෂ්‍ය හිමිවරුන් සසුනට දායාද කිරීම ආයුපාල මාහිමි ගේ තවත් ඉතා ප්‍රසංසනීය මෙහෙවරකි.

  නවම් අව අටවක 

මාර්තු 05 සිකුරාදා අපරභාග 19.54 අව අටවක ලබා 06 සෙනසුරාදා අපරභාග 18.10 ගෙවේ.
සෙනසුරාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]