[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සීවලී මහරහතන් වහන්සේගේ ලැබීමේ භාග්‍යය

සීවලී මහරහතන් වහන්සේ පිළිබඳ හැදෑරීමේ දී උන්වහන්සේ තුළ තිබූ ගුණයන් එකකට එකක් නොදෙවෙනි අයුරින් තිබූ බව ඉතා පැහැදිලි ය. ඒ අතරින් වුව ද චීවර, පිණ්ඩපාත, සේනාසන ගිලන්පස යන සිව්පස ලාභය ලැබීම අතින් විශේෂ වරප්‍රසාදයක් උන්වහන්සේට තිබූ අයුරු ඉතා පැහැදිලි ය. එයට හේතුව වන්නේ උන්වහන්සේ සසර ප්‍රගුණ කළ පාරමිතාවයි. සීවලී මහරහතන් වහන්සේ, පදුමුත්තර බුදුන් කල හංසවතී නුවර එක්තරා බමුණු කුලයක ඉපිද සිටිය කල්හි එකල පදුමුත්තර බුදුන් ඉදිරියෙහි සුදර්ශන නැමති භික්ෂූන් වහන්සේ සිව්පස ලාභීන් අතර අග්‍රස්ථානයට පත් කරන අයුරු සියැසින් දුටුවහ. එම සුවිශේෂී සිදුවීම දැකීමෙන් ම තමන් ද සිත පහදවා ගත්හ. එපමණක් ද නොව තමන් ද එම වරප්‍රසාදය ලැබිය යුතු බව සිතා සතියක් මුළුල්ලේම දන් දී, සිල් රකිමින්, වත් පිළිවෙත් සිදුකරමින් එය ප්‍රාර්ථනාවක් වශයෙන් තබාගෙන අධිෂ්ඨාන පූර්වකව කටයුතු කළා සේ ම බවයෙන් බවයට ද එය ප්‍රගුණ කළහ. එම පින්වත් කුල පුත්‍රයා නැවත විපස්සි බුදුන් කල බන්දුමතී නුවර එක් කුලයක ඉපදුණේ ය. එකල එම රජු හා මිනිසුන් අතර තරඟෙට මෙන් දන් දීමක් තිබූ කාලයකි. ගම් වැසියෝ විහාරයක් සාදවා විශාල දානයක් ද දීමට සූදානම් කළහ. එහිදී සියලු අංගයන්ගෙන් යුත් දානයක් දීමට කටයුතු කළ අතර, එහි දී ඔවුනට අඩුවකට පැවතුණේ දීකිරි හා මී පැණි පමණි. පසුව ගම් වැසියෝ ඒවා සොයා ගම් දනව්වල සැරි සරන කල්හි එම බමුණු කුල පුත්‍රයා හමුවිය. එම කුල පුත්‍රයා ද එම අවස්ථාවේ දී දීකිරි කළයක් හා දඬුවැල් බෑයක් අතැති ව ගමන් කරමින් සිටියේ ය. ගම්වැසියෝ එය දැක කහවනුවක් දී ඉල්ලුව ද කුල පුත්‍රයා ඒවා නොදුන්නේ ය. පසුව ක්‍රමයෙන් මිල වැඩි කොට කහවනු සියයකට පමණ ඉල්ලූහ. බමුණු කුල පුත්‍රයා, මෙතරම් වැඩි මුදලක් දී කිරි හා මී පැණි මොවුන් ඉල්ලන්නේ කුමක් හෝ සුවිශේෂී දේකටයැයි සිතා විමසා බැලූ කල්හි බුදුරදුන්ට පූජා කිරීමට බව දැනගත්හ. පසුව තම දෑතින් ම ඒවා බුදුරදුන්ට පූජා කළ යුතු බව පවසා බුදුරදුන් හමුවට ගොස් ඒවා ඔහුගේ දෑතින්ම පූජා කළේ ය. එහිදී ද ප්‍රාර්ථනා කළේ, මෙම දුන් දානමය පිනෙන් ගෞතම බුද්ධ ශාසනයේ සිව්පසලාභීන් අතර අග්‍රස්ථානයට පැමිණේවා'යි යනුවෙනි.


  නවම් අව අටවක 

මාර්තු 05 සිකුරාදා අපරභාග 19.54 අව අටවක ලබා 06 සෙනසුරාදා අපරභාග 18.10 ගෙවේ.
සෙනසුරාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]