[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දඹදිව බුද්ධගයාවේ සිට ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම වූ නැව්තොට දඹකොළපටුන

දඹදිව බුද්ධගයාවේ සිට ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම වූ නැව්තොට දඹකොළපටුන

දඹකොළපටුන ගැන මුලින්ම මහාවංසයේ සඳහන් වන්නේ අරිට්ඨ අමාත්‍යවරයා ප්‍රධාන දූත පිරිසක් අසෝක රජුට ත්‍යාග රැගෙන නැව් නැඟීමට ගිය වරාය ලෙසට ය.

දඹකොළපටුන ගැන මහාවංසයේ දෙවැනි වර සඳහන් වන්නේ ශ්‍රී මහා බෝධි ශාඛාවත් රැගෙන සංඝමිත්තා තෙරණින් වහන්සේ ප්‍රමුඛ දූත පිරිසට මෙහි පැමිණෙන ලෙසට පණිවිඩ රැගෙන ගිය අරිට්ඨ ප්‍රධාන පිරිස පිටත් වූ වරාය ලෙසට ය.

දඹකොළපටුන පිළිබඳව මහාවංසයේ සඳහන් වන තුන්වැනි අවස්ථාව සංඝමිත්තා තෙරණි වර ප්‍රමුඛ පිරිස බුද්ධගයාවේ සිට වැඩමවා ගෙන ආ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන නැව් මඟින් පැමිණි අවස්ථාව ය.

ලංකා ඉතිහාසයේ සඳහන් වන පැරණි නැව්තොටු අතර වැඩිපුරම සඳහන් වන්නේ මාතොට වරාය සහ ජම්බුකෝල පට්ටන හෙවත් දඹකොළ පටුන වරායයි.

ලෝක ඉතිහාසයෙහි ඉතා පුරාණතම පූජනීය වෘක්ෂ රාජයාණන් වහන්සේ අප රටේ සජීවී ව වැඩ වෙසෙති.

ලංකාවට, බුද්ධගයාවේ සිට එවක ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩම කළ බව පමණක් නොව, එම ශ්‍රී මහා බෝධි ශාඛාව අසුවල් දවසේ, අසුවල් පුද්ගලයින් ඉදිරිපිට රෝපණය කරන ලද බවට ලිඛිත සාක්ෂි ඇති වෘක්ෂරාජයා වන්නේ මෙකල අනුරාධපුරයේ මහ මෙවුනා උයනේ උඩමලුවෙහි වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ය. දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යනු සිදුහත් තවුසාණන්ට බුද්ධත්වය ලබා ගැනීමට සෙවණ දුන් වෘක්ෂ රාජයාණන් වහන්සේ ය. අසෝක රාජ යුගයේ දී ලංකාවට මිහිඳු මහ රහතන් වහන්සේ සහ ධර්මදූත පිරිස වැඩම කළහ.

ඉන්පසු දේවානම් පියතිස්ස (තිස්ස රජුගේ ඥාති සොයුරියට ද මහණවීමට අවශ්‍ය බව ඇය විසින් රජුට පැවසීම නිසා රජු ඒ ගැන මිහිඳු මහරහතන් වහන්සේට පැවසුවේ ය. කාන්තාවන් මහණ කිරීමට තමාට නොහැකි බව පැවසූ මිහිඳු මහ රහතන් වහන්සේ සිය ගිහි කල නැඟණිය වූ සංඝමිත්තා මෙහෙණිය එවන ලෙස අසෝක රජුට දන්වා යවන ලෙස තිස්ස රජුට දැන්වූහ.

ඒ අනුව සංඝමිත්තා මෙහෙණිය ප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේලා විසින් බුද්ධගයාවේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන මේ රටට වැඩම කළේ නැව් මඟිනි. ඒ නැව් පැමිණියේ මෙකල යාපනය දිස්ත්‍රික්කයේ උතුරු කෙළවරෙහි පිහිටි දඹකොල පටුනට ය.

ජම්බුකෝල පට්ටන යන නාමයෙන් ද ප්‍රකට එම වරායට සංඝමිත්තා මෙහෙණිය සහ එම භික්ෂුණීන් වහන්සේලා නැව් මඟින් පැමිණෙන බව දැනගත් තිස්ස රජතුමා සිය රාජ අමාත්‍ය පිරිස ද කැටුව මිහිඳු මහ රහතන් වහන්සේ ද මහා සංඝයා වහන්සේලා ද දඹකොළ පටුන පිහිටි එම වරායට පැමිණියහ.

ඈත මුහුදේ ජය ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව රැගෙන එන නැව දුටු දේවානම්පියතිස්ස රජතුමා කරවටක් මුහුදට බැස ජය ශ්‍රී මහා බෝධි ශාඛාව සහිත එම පාත්‍රය හිසින් ගත්තේය. සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේලා දඹකොළ පටුනේ වරායට ගොඩබටහ.

සමස්තයක් ලෙසින් සලකන කල්හි මහාබෝධි ශාඛාව ලංකාවට වැඩම කරවීමේ මෙම ඓතිහාසික සිද්ධිය අප රටේ ලිඛිතව දක්නට ලැබීම සුවිශේෂ වාර්තාවක් වන්නේ ය. මේ පිළිබඳව ශ්‍රීමත් ජේම්ස් ටෙනන්ට් නම් වූ ඉංගී‍්‍රසි ජාතික ලේඛකයා සඳහන් කරන පරිදි අනුරාධපුරයේ පිහිටි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වාර්තාගත ඉතිහාසයක් ඇති වෘක්ෂ අතුරින් ලොව පැරණිතම නිදසුන ලෙස සැලකේ.

මහා බෝධි රෝපණය පිළිබඳ වූ පුවත සඳහන් වන්නේ දීපවංසයෙහි, මහාවංසයෙහි, සමන්තපාසාදිකා සිංහල බෝධිවංසය සහ පාලි බෝධිවංසය යන ග්‍රන්ථවල ය.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවීම පිළිබඳ පුරාවිද්‍යාත්මක වශයෙන් දැක්වෙන සාක්ෂියක් මෙකල ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි පිහිටි සාංචි ස්තූපයේ තොරණක ඇති මූර්ති කැටයමකින් පැහැදිලි වේ. මේ පිළිබඳව මහාවංසය ඉංගී‍්‍රසි භාෂාවට පරිවර්තනය කළ ජර්මන් ජාතික විල්හෙල්ම් ගෛගර් මහතා මෙසේ සඳහන් කරයි.

“උරුවෙල් දනව්වේ සිට ලක්දිවට වැඩම කරවා රෝපණය කරන ලද මහා බෝධි ශාඛාව පිළිබඳ ප්‍රවෘත්තිය පුරා වස්තූන්ගෙන් සනාථ වන්නේ ය. සාංචි ස්තූපයේ නැෙඟනහිර තොරණෙහි හරස් අතට දිවෙන පුවරු අතුරෙන් යට හා මැද පුවරුවල නිරූපිත කැටයම්වලින් දැක්වෙන්නේ මේ පුවත යැයි ගෘන්ඩේල් විසින් පෙන්වා දී තිබේ.

සාංචි කැටයම් ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් වන හෙයින් මේ පුවත නිරූපණය වන කැටයම් නෙළන්නට ඇත්තේ එම සිදුවීමේ සිට දළ වශයෙන් අවුරුදු සියයකට හෝ එකසිය පනහකට හෝ වැඩි නොවන කාලයකදී ය.

දෙවැනි පෑතිස්ස රජු බුදු දහම වැළඳ ගත් පසු ප්‍රථම වර්ෂයේ දීම කරවන ලද විහාර අතර නාග දිවයිනේ මෙකල යාපනයේ, දඹකොළ නම් විහාරය ද විය. ජම්බුකෝලයේ ම වූ සමුද්දා පණ්ණශාලාවන් ජම්බුකෝල විහාරයක් ගැන ද මහාවංසයෙහි සඳහන් වේ.

මහනුවර යුගයේ දී ලියන ලද ග්‍රන්ථයක් ලෙසින් අප අතර ප්‍රකට “නම් පොත” නම් ග්‍රන්ථයෙහි ජම්බුකෝල පට්ටන ගැන සඳහන් වෙයි. මේ තොටුපළ ගැන වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතා ද සඳහන් කරයි.

ජය ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම කළ අවස්ථාවේ දී පිළිගැනීමට එහි පැමිණි දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස නැවතී සිටි මණ්ඩපය තිස්ස මළුව නමින් ද එම ප්‍රදේශය “තිස්සගම” ලෙස ද හඳුන්වා ඇති අතර දෙමළ ජනතාව ඒ සඳහා “තිසාමලෙයි” යනුවෙන් හඳුන්වා ඇත. එහි කර වූ ශාලාව “සම්ද්‍රාසන්නසාලා” හෝ වාලුකා විහාර නමිනුත් හඳුන්වන ලද බව ප්‍රකාශ වේ.

(ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉතිහාසය සහ තදානුබද්ධ සංස්කෘතිය - ආචාර්ය වැලමිටියාවේ ධම්මරක්ඛිත නා හිමි. පිටු 127 - 128 (1991)

දඹකොළපටුන පිළිබඳව දේවානම්පියතිස්ස රජු යුගයේ විස්තර මහාවංසයේ මෙසේ සඳහන් කරන අතරේ උතුරේ මෙකල යාපනයේ එවැනි වෙහෙර විහාර ඉදි කළේ රජුගේ පළමුවෙනි රාජ වර්ෂයේ දී බව ද සඳහන් වේ.

කණිට්ඨතිස්ස රාජ යුගයේ දී ක්‍රි.ව. 167 - 186 ද වෝහාරිකතිස්ස (ක්‍රි.ව. 209 - 231)මහා විහාරය ප්‍රතිසංස්කරණය කළ බව ද පෙනේ.

මීට අමතරව පොළොන්නරු රාජධානි සමයේ පළමුවැනි විජයබාහු රජු දවස ද දඹකොළ විහාරය අලුත්වැඩියා කෙරුණි. මේ අනුව දේවානම්පියතිස්ස රාජ යුගයේ සිට මහ විජයබාහු කාලය තෙක් යාපා පටුනේ බුද්ධාගම ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ බව පැහැදිලි ය. (යාපා පටුන සහ සිංහල උරුමය, ඊ.ටී. කන්නන්ගර පි. 66 - 77 (1990)

මෙකල දඹකොළ පටුනේ සංඝමිත්තා විහාරයද ගොඩනංවා ඇත. ඉතා අලංකාර ලෙසින් මෙම විහාර දක්නට ලැබේ.

  පුර අටවක
පෝදා 

ජනවාරි 20 බදාදා අපර භාග 13.15 න් පුර අටවක ලබා 21 බ්‍රහස්පතින්දා අපර භාග
15.50 න් ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]