[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භික්ෂූන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට අනුව ඍජු මාවතක ගමන් කළ යුතුයි

භික්ෂූන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට අනුව ඍජු මාවතක ගමන් කළ යුතුයි

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කිරිබත්ගොඩ ශී‍්‍ර සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති මාකොළ මංගල හිමිපාණන් වහන්සේ ය.

අපේ හාමුදුරුවනේ , උජුපටිපන්නභාවය භික්ෂු ජීවිතය ඔපවත් කිරීමට හේතුවෙනවා. එවැනි වැදගත් ගුණාංග ඇතිකර ගැනීමට කුඩා අවධියේ දී ගුරු හාමුදුරුවරුන්ගේ මඟ පෙන්වීම ලැබුණේ කුමන ආකාරයෙන් ද?

උජුපටිපන්න ගුණය අර්ථවත් වෙන්නේ සඟ ගුණ තුළ පවතින දෙවන ගුණය වශයෙන්. මෙහිදී අප කතාකිරීමට බලාපොරොත්තු වන්නේ මධ්‍යම ප්‍රතිපදාවට අනුව ක්‍රියා කළ යුතුයි යන අදහසයි. භික්ෂුවක් නම්, අන්ත භජනය නොකර මධ්‍යම ප්‍රතිපදාවට අනුව අනිවාර්යයෙන්ම සෘජු මාවතේ ගමන් කළ යුතුයි යන අදහස එක් අර්ථයක්.

දෙවන කරුණ නම්, කාය වංක, වචී වංක, මනෝ වංක යන සිත , කය .වචනය පිළිබඳව රහසින්වත් වංකව කටයුතු නොකරන බවයි. කාය, වචී, මනෝ වංකභාවයන් ප්‍රහාණය කළ නිසා උජුපටිපන්න ගුණය භික්ෂූන් වහන්සේට ලැබී තිබෙනවා. භික්ෂුවක් නම්, සෘජු විය යුතුයි යනුවෙන් වර්තමානය තුළ බලාපොරොත්තු වෙනවා. මිනිසුන් වරදින් මුදවාගෙන තමනුත් වරදින් මිදී කටයුතු කළ යුතුයි යන අර්ථය මෙහිදී ප්‍රකාශ කරන්න පුළුවන්. වීරමුල්ලේ සරණතිස්ස නා හිමි, බැලුම්මහර පඤ්ඤාකිත්ති නා හිමි කැන්දලියද්දපාළුවේ ධම්මපාල නා හිමි යන හිමිපාණන් වහන්සේ වැනි ඉතාමත් සිල්වත්, ගුණවත්, සෘජු ගුණයෙන් යුක්ත වූ සුපේෂල ශික්ෂාකාමී යතිවරයන් වහන්සේලාගේ අභාසය මගේ පැවිදි ජීවිතයට ආලෝකයක් වූ බව මේ අවස්ථාවේදී ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. එම ගුරුහාමුදුරුවන් වහන්සේ උජුපටිපන්නභාවයෙන් සෝභමාන වූ අල්පේච්ඡ වූ උතුම් පූජනීය භික්ෂු ජීවිතයක් ගත කළ පඩිවරුන්.

පැවිදි ජීවිතයට මේ තරම් ඇලුම් කළේ ඔබ වහන්සේ ගේ සංසාරගත පුරුද්දක් නිසා වෙන්නැති නේද හාමුදුරුවනේ

මගේ අත්තම්මා විහාරස්ථානයට ගිය සෑම අවස්ථාවකදී ම මමත් ඒ සමඟ විහාරස්ථානයට ගියා. අත්තම්මා වැරැදියට ගාථා කියනවිට මමත් වරද්ද වරද්ද ගාථා කිව්වා. මම කුඩා කාලයේදී සැමදාම දහම් පාසල් ගියා. ඒ සපුගස්කන්ද පුරාණ විහාරස්ථානයේ දහම් පාසලට. දහම් පාසල් ගිය දවසක තවත් ළමයෙක් සමඟ දුවන ගමන් කළු ගලක් උඩ ලිස්සලා වැටුණා. පන්සලේ හාමුදුරුවන් වහන්සේ ඒ සිද්ධිය දැකල ඉතාම කරුණාවෙන් මා කැඳවාගෙන මඩ තැවරිලා තිබුණ ඇඳුම් පිරිසිදු කරල කෑමත් ලබාදීමට කටයුතු කළා. එදා සිට විහාරස්ථානය සමඟ ඉතාම සමීපවීමේ ප්‍රතිඵලයක් වශයෙන් පැවිදි වීමේ ආසාවක් ඇති වුණා.

ඒ අනුව බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක වීරගුලේ සරණතිස්ස නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යා‍යත්වයෙන් හීන්කෙන්ද පුෂ්පාරාම විහාරාධිපති කැන්දලියැද්ද පාළුවේ ධම්මපාල නායක හිමිපාණන් වහන්සේගේ හා වැලිපිල්ලෑව ශී‍්‍ර පුරාණ විහාරාධිපති කැන්දලියැද්දපාළුවේ නන්දාරාම නාහිමිපාණන් වහන්සේ ගේ ආචාර්යත්වයෙන් 1978 වර්ෂයේ මාර්තු 15 වන දින මාකොළ මංගල යන උතුම් වූ ශාසනික නාමයෙන් උත්තරීතර පැවිදි ජීවිතයට ඇතුළත් වුණා. 1984 වර්ෂයේදී කැන්දලියැද්ද පාළුවේ ධම්මපාල හිමි,කැන්දලියැද්දපාළුවේ නන්දාරාම හිමි හා බැලුම්මහර පඤ්ඤාතිස්ස හිමි යන නා හිමිපාණන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් අධිශිල සංඛ්‍යාත උතුම් වූ උපසම්පදාවට පත් වුණා.

නාගර්ජුන ශී‍්‍ර විද්‍යාපීඨ පිරිවෙන, කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන, තුළින් වර්ග පටිපාටියෙන් මූලික ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදු කළා. කැලණිය විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය ළිබඳව මූලික උපාධියත්,දර්ශනපති උපාධියත්,ලබාගෙන අමරිකාවේ කැලිපෝනියා වෙස්ට් සරසවියෙන් පශ්චාත් උපාධිය ලබාගැනීමට කටයුතු කළා.කුඩා කාලයේ සිටම අධ්‍යාපන කටයුතුවලට රුචිකත්වයක් දැක්වූ බවත් ප්‍රකාශ කළ යුතුයි.

විශ්ව විද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කරන ඔබ වහන්සේ නූතන භික්ෂුන් වහන්සේගේ ප්‍රශ්න දකින්නේ කුමන ආකාරයෙන් ද?

වර්තමාන සමාජය තුළ තරුණ ස්වාමීන් වහන්සේලා පිළිබඳව කතාබහක් ඇති වෙලා තිබෙනවා. මේ ළඟදී උපන්දින අනුස්මරණ කිරීමක් මුහුණු පොතේ දකින්නත් තිබුණා. අපි කවදාවත් උපන්දින කේක් කපලා නැහැ.

ජබ්බග්ගිය භික්ෂූන් වහන්සේලාත් මේ ශාසනයේ සිටියා. උදායි හාමුදුරුවොත් මේ ශාසනයේ සිටියා. විශ්ව විද්‍යාල තරුණ භික්ෂුන් වහන්සේලා තුළ ධනාත්මක වශයෙන් ආකල්පමය වෙනසක් ඇති කළ යුතු පරිසරයක් ගොඩනැඟිය යුතුයි කියලා මම අදහස් කරනවා.

ස්වාමීන් වහන්සේලාගේ අවශ්‍යතා මොනවා ද? සොයා බලා එහෙම වෙන්නේ ඇයි කියන කරුණු පිළිබඳ ව ගවේෂණයක් කරමින් අඩුපාඩු හදාගෙන භික්ෂු ප්‍රතිපදාව පිළිබඳව අවබෝධයක් ලබාදීම අවශ්‍යයි. එම පරිසරය නායක ස්වාමීන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් ගොඩනැඟිය යුතු බව මගේ අදහසයි. මහරගම ධර්මායතනය තුළ හැදෙන වැඩෙන භික්ෂුන් වහන්සේ නමක් තුළ පුදුමාකාර ගුණවත්කමක් ,සිල්වත්කමක් තිබෙනවා . එය කුඩා අවධියේ සිටම පුහුණු කළ තත්ත්වයක්.

කුඩා අවධියේ සිටම ශාසනික ප්‍රතිපදාවට අවශ්‍ය පුහුණුව ලබාදීම කළ යුතුමයි. භික්ෂුව දේශපාලනයට යා යුතුම ද? තායිලන්තය වැනි රටවල භික්ෂු ප්‍රතිපදාව තුළ එවැනි දේ කළ නොහැකියි. තමා තුළ පුද්ගලික මතයක් තිබිය හැකියි. ඒත් සසුන් බඹසර හැසිරෙන ස්වාමීන් වහන්සේ නමකට දේශපාලනය කළ නොහැකි බව මගේ අදහසයි. භික්ෂුවගේ කාර්යභාරය පිළිබඳව දිස්ති‍්‍රක් මට්ටමින් භික්ෂු පුහුණුවක් ලබා දිය යුතුයි කියා සිතෙනවා. අවම වශයෙන් විහාරාධිපති ස්වාමීන් වහන්සේලා හෝ වැඩම කරවමින් විශේෂ පුහුණුවක් ලබාදිය යුතු බව මගේ අදහසයි. පුහුණුවක් ලබානොදී තවදුරටත් ඉදිරියට ගමන් කරන්නේ කෙසේ ද? යන ප්‍රශ්නය ඇතිවෙනවා. වර්තමාන භික්ෂුවගේ කාර්යභාරය කෙබඳු ද? යන්න පිළිබඳව කතිකාවතක් ගොඩනඟමින් ඒ ඔස්සේ ගමන් කළ යුතු බව මගේ අදහසයි.

ඔබ වහන්සේගේ ධර්ම ශාස්තී‍්‍රය සේවය පිළිබඳව සඳහන් කරනවා නම්

විදේශීය ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා විශාල වශයෙන් සහභාගිවෙලා තිබෙනවා. බුදු පිළිමය ග්‍රන්ථයට අමතරව බෞද්ධ සඟරා විශාල ප්‍රමාණයක් මුද්‍රණය කළා. ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් හොඳ දහම් අධ්‍යාපනයක් ලබාදීමටත් කටයුතු කරනවා.

කිරිබත්ගොඩ ශී‍්‍ර සුදර්ශනාරාම පුරාණ මහා විහාරය කේන්ද්‍රකරගෙන ඔබ වහන්සේ සිදුකරන ජාතික, ආගමික සේවාවන් පිළිබඳව කෙටියෙන් සඳහන් කරනවා නම්

මෙම විහාරස්ථානය ආරම්භකර තිබෙන්නේ 1866 වර්ෂයේ දී. විහාරාධිපති ස්වාමීන් වහන්සේ වශයෙන් ලබාදෙන උපදේශකත්වය හා අනුශාසකත්වය මත කිරිබත්ගොඩ තරුණ බෞද්ධ සංගමය, වෙළෙඳ සංගමය හරහා විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. වැඩිහිටි නිවාස තුනක් පවත්වාගෙන යනවා., ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ඉංගී‍්‍රසි සහ සිංහල මාධ්‍ය දෙකින්ම දහම් පාසල පවත්වාගෙන යනවා . කොරෝනා වසංගතය නිසා නිරෝධායනය වූ පවුල්වල සුභසාධනය වෙනුවෙන් විහාරස්ථානයේ මූලිකත්වයෙන් අවශ්‍යතා ඉටුකරදීමට කටයුතු කළා. විශ්ව විද්‍යාලයේ සේවය කරන භික්ෂුන් වහන්සේ නමක් ලෙස අවිවේකීබවක් තිබුණත්, සමාජය වෙනුවෙන් මට කළ හැකි සමාජ සේවය නොපිරිහෙලා ඉටුකිරීමට කටයුතු කරගෙන යනවා. විහාරස්ථානය වන්දනා කිරීමට පැමිණෙන පින්වතුන්ගේ සිත සමාධිගත වන ආකාරයට විහාරස්ථානය තුළ පූජනීයභාවයත්, ශාන්ත පරිසරයත් ආරක්ෂා කරගැනීමට කටයුතු කර තිබෙන බව මා විශ්වාස කරනවා.

  පුර අටවක
පෝදා 

ජනවාරි 20 බදාදා අපර භාග 13.15 න් පුර අටවක ලබා 21 බ්‍රහස්පතින්දා අපර භාග
15.50 න් ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]