[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් අව අටවක 2021.01.06

අභියෝග ජය ගනිමු

නව වසර උදා වූයේ රටක්, ජාතියක් ලෙස, සමස්ත ලාංකේයයන් ලෙස මඟ හැර යා නොහැකි ජය ගතයුතු ම අභියෝගයක් අප ඉදිරියේ තබමිනි. ඒ කොරෝනා නම් වූ භයානක වෛරස් රෝග උවදුර ය. දෑසට පෙනෙන සතුරකු මැඩ පැවැත්වීම අසීරු නැත. එහෙත් දෑසට නොපෙනෙන සතුරකුට මුහුණ දීම ඉතාමත් සංකීර්ණ ය. කොරෝනා වෛරසය මුළු ලෝකයක් අඩපණ කරමින් සිටින්නේ එහෙයිනි. එහෙත් ශ්‍රී ලාංකේයයන් ලෙස අපි තවමත් මේ රෝග උවදුරට සාර්ථකව මුහුණ දෙමින් සිටිමු. ඒ ඉතා සුළු ප්‍රමාණයක් හැරෙන්නට මේ රටේ වැඩි පිරිසක් තම යුතුකම්, වගකීම් දන්නා බැවිනි.

ජීවිතයේ තමන් හමුවට එන ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීම විශේෂයෙන් බෞද්ධයාට නම් අභියෝගයක් නොවේ. ඒ සැලැස්මකට අනුව තම සිතිවිලි ද, ක්‍රියාකාරකම් ද මෙහෙයවන්නට හැකි මහාර්ඝ ධර්මෝපදේශයන්ගෙන් බෞද්ධයා සන්නද්ධ වන බැවිනි.

තමන්ට ද අනර්ථයක් නොවී යහපත සලසාගෙන, අනුන්ට ද අනර්ථයක් නොවී යහපත සලසා දීම බෞද්ධයාගේ මා හැඟි පිළිවෙතයි. යම් කෙනෙක් ඒ මඟින් බැහැර වනවා නම්, ඔහු බෞද්ධයෙක් වන්නේ නැත. ඔහු අයත් වන්නේ පාපයෙහි ලජ්ජා බිය නොදන්නා, ශික්ෂණයෙන් තොර, අධර්මචාරී ගණයට ය. තමන්ගේ සිතිවිලි හා ක්‍රියාකාරකම් පිළිබඳව විමර්ශනශීලී ව ආවර්ජනයක යෙදෙනවා නම් තමන් අයිති වන්නේ කවර අංශයකට ද යන්න තමන්ට ම හඳුනාගැනීම අසීරු වන්නේ නැත.

සම්බුද්ධ දේශනයට අනුව මිනිසත් බව ලැබීම අතිශය දුර්ලභ ය. හරියට කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වැනි ය. එසේ දුර්ලභ ව ලැබූ මිනිස් දිවිය නිෂ්ඵල ලෙස දියකර හරිනවා නම්, අන්‍යයන්ටද බාධාවක් වනවා නම් ඒ පුද්ගලයාට මේ ජීවිතයේ සේ ම පරලොව ජීවිතයේ ද කටුක විපාකයන්ට මුහුණ දීමට සිදුවීම වැළැක්විය නොහැකි ය. වෙනසකට ඇත්තේ කළ පව් පලදීමට ගතවන කාලයෙහි ය.

තමන්ටත් බරක් නොවී, අනුන්ට ද බරක් නොවන ලෙස ජීවන ප්‍රතිපදාව හසුරුවා ගැනීම ධර්මයට අනුව ජීවත්වන පුද්ගල ස්වභාවයයි. මෙහිදී ප්‍රධාන වන්නේ සුභරතාවයයි. එනම් පහසුවෙන් පෝෂණය කළ හැකි වීමයි. කොරෝනා රෝග උවදුර හමුවේ අපි, ආර්ථිකමය ප්‍රශ්න රැසකට මුහුණ දී සිටිමු. පහසුවෙන් නඩත්තු විය හැකි පුද්ගලයෙක් නම් ඒ අභියෝගය ජය ගැනීම අසිරු නැත. සොරමැරකම්, වංචා දූෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි සමාජ විරෝධී ක්‍රියාවන්ට ද මුල සුභර බව නොවීම ය.

තමන්ට ලැබෙන දෙය පිළිබඳ ව තෘප්තිමත් විය නොහැකි පුද්ගලයා ජීවත් වන්නේ අසහනයෙනි. විවිධ වේශයෙන් සමාජයට මුදා හැරෙන්නේ ද ඒ අසහනයම ය. එහෙයින් අප ජීවිතයට පුහුණුවක් ඇති කරගත යුතු ය. ඒ ලැබෙන්නේ යම් දෙයක් ද එය නොගැටුණු, නොඇලුණු මනසකින් පිළිගැනීමට ය.

සම්බුදු දහමට අනුව අපගේ පරම ලාභය නිරෝගී බවයි. අද අප හමුවේ ඇති විශාලත ම අභියෝගය ද එයයි. පෞද්ගලික පිරිසුදුකම, සෞඛ්‍යාරක්ෂිත බව ගැන බුදු දහම තුළ අපට ඕනෑ තරම් මඟ පෙන්වීම් ඇත. හොඳට, නරකට දෙකට ම ප්‍රමුඛ වන කට පරිස්සම් කර ගැනීමේ යහපත් ආදීනව අද අපි ප්‍රායෝගිකවම අත් විඳිමු.

සැබෑ බෞද්ධයා සොබා දහම රැක ගන්නවා විනා විනාශ කරන්නේ නැත. සොබා දහමට එරෙහි වන්නාට සොබා දහම ද එරෙහිවීම ස්වභාවධර්මයයි.

දහමට අනුව ජීවත්වන පුද්ගලයා විනාශ කරන්නට කිසිවෙකුට නොහැකි ය. පෙනෙන සතුරන් සේ ම නොපෙනෙන සතුරන් ද, සියලු අභියෝගයන් ද ජයගත හැකි වන්නේ ධර්මයට අනුව ජීවත් වීමෙන්ම ය.

  උඳුවප්
අව අටවක 

 ජනවාරි 06 බදාදා පූර්ව භාග 04.03 අව අටවක ලබා 07 බ්‍රහස්පතින්දා පූර්වභාග
02.06 න් ගෙවේ.
බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]