[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල පාර්ශ්වයේ අනුනායක ධූරයෙන් පිදුම් ලබන පල්ලේවෙල විසුද්ධාජීව හිමි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල පාර්ශ්වයේ අනුනායක ධූරයෙන් පිදුම් ලබන පල්ලේවෙල විසුද්ධාජීව හිමි

රත්නපුර බෙලිහුල්ඔය ඉහළගලගම ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන රාශියක ආධිපත්‍ය දරන පල්ලේවෙල විසුද්ධාජීව හිමියන් වෙත ශ්‍රී ලංකා අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් පිරිනැමූ ගෞරවනාම සම්මුතිය සහිත අනුනායක ධූරය පිළිබඳ අක්ත පත්‍රය ශ්‍රී ලංකා අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නා හිමිපාණන් වහන්සේ විසින් පසුගියදා පිළිගන්වනු ලැබූහ.

1956 මැයි මස 16 වන දින කුඹල්ගම ශ්‍රී විසුද්ධාරාමයේ දී සියක් නමක් සඟරුවන ඉදිරිපිට කුඹල්ගම සිරි විසුද්ධාලෝක නා හිමි, ගැටඅරළුවේ ධම්මරතන නා හිමි යන දෙනමගේ ආචාර්යත්වයෙන් අග්ග මහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමිපාණන් වහන්සේගේ සුරතින් ගිහි උපතින් දහතුන්වන වියේ දී බුදු සසුන්හි පල්ලේවෙල විසුද්ධාජීව නාමයෙන් පැවිදි උපත ලදහ.

එදින පටන් ගත වූ අසූ වසර තුළ අධිෂ්ඨාශීලීව පිළිවෙත් ගරුකව පැවිදි ජීවිතයක විය යුතු අරමුණු නිවැරැදිව තෝරාගත් ගමන් මඟක් ඔස්සේ වැඩම වීමට බුද්ධිමත් වීම තුළින් බුදු සසුනට උපරිම සේවාවක් සිදු කිරීමට උන්වහන්සේ සමත් විය.

මේ සඳහා උන්වහන්සේට පන්නරය ලබා දුන් ශක්තිමත් පසුබිමක් වූයේ අධ්‍යාපනය ලැබූ අම්බලන්ගොඩ මාදම්පේ ශාස්ත්‍රාලෝක පිරිවෙන, වැලිගම කප්පරතොට ශ්‍රී බුද්ධ ජයන්ති පිරිවෙන, මාලිගාකන්දේ විද්‍යෝදය මහා පිරිවෙන සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යි.

1970 දී පාසල් ගුරු සේවයට ඇතුළත්ව ධර්මාචාර්ය වරයෙකු හා නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙස ද, රත්නපුර දිස්ත්‍රික් බුද්ධ ධර්මය විෂයය පාසල් පරීක්‍ෂකවරයකු ලෙස ද ක්‍රියා කරමින් සිසු දරු දැරියන් දහස් ගණනකගේ නැණ පහන දැල්වීමට සමත් විය. ඉඹුල්පේ ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ධූරය දරමින් වසර 13ක් තුළ අමරණීය සේවාවක් සිදු කළහ.

උන්වහන්සේගේ ශාසනික සේවා අතර විශිෂ්ටතම සේවාව වූයේ 60 නමකට ආසන්න ශිෂ්‍ය භික්ෂූන් පිරිසක් තනා සම්බුද්ධ ශාසනයට දායාද කිරීමයි.

තම ශිෂ්‍ය භික්ෂු පුත්‍රයන් ගුණ නැණින් පෝෂණය කරන අතර විහාරස්ථාන නොමැති ප්‍රදේශ කිහිපයකම විහාරස්ථාන ඉදිකර පැවිදි සහෝදර ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට පවරා දුන්හ.

එහි දහම් පාසල් ආදී ආගමික කටයුතු ද, සමිති සමාගම් හා ග්‍රාමීය මංමාවත් ආදී ප්‍රජා සංවර්ධන කටයුතු ද, ඉතා දියුණු මට්ටමකට ගෙන යාමට ඒ තුළින් සමත් විය.

එක්සත් රාජධානිය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, මියැන්මාරය, ආදී රටවල කළ ධර්ම ප්‍රචාරක කටයුතු ඉතා ප්‍රශංසනීය ය.

සසුන් කෙත බබළවන මෙම යතිවරයන් වහන්සේ වෙත ගෞරවනීය නාම සම්මුතියකින් හා ශාසනික තනතුරකින් උපහාර දැක්වීමට සංඝ සභාව ගත් තීරණය තුළින් මෙතෙක් කළ සේවාවන් වඩාත් පුළුල්ව සිදු කිරීමට ශක්තිය හා ධෛර්ය තෙරුවන්ගේ බෙලෙන් ලැබේවායි පතමින් අද දින (29) 80 වන ජන්ම දිනය නිමිතිකොට බෙලිහුල්ඔය ශ්‍රී සුවිසුද්ධාරාම විහාරස්ථානයේ සධාතුක ධාතු මන්දිරය හා ඝන්ඨාර කුළුණ විවෘත කර අනුනාහිමියන්ට නිදුක් නීරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමින් බෝධිපූජා, ධර්ම දේශනා, සෙත් පිරිත් දේශනා ආදී පින්කම් රාශියක් සිදු කිරීමට පැවිදි සහෝදර පිරිස, ශිෂ්‍ය පිරිස හා දායක පිරිසත් කටයුතු සංවිධානය කර ඇත.

  උඳුවප් පුර
පසළොස්වක 

දෙසැම්බර් 29 අඟහරුවාදා පූර්වභාග 07.54 න් පසළොස්වක ලබා 30 බදාදා පූර්වභාග
8.58 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]