[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මනා ඇරඹුමකින් ඉදිරියට ම යමු

මනා ඇරඹුමකින් ඉදිරියට ම යමු

වීර්යය ඇති අයට ලැබිය නො හැකි නුවණක්, නො ලැබිය හැකි සැපතක් නැත. බොහෝ දෙනා දුක් අඩු සැප වැඩි ජීවිතයක් ගෙන යන්නේ වීර්යය හේතුවෙනි.

ලොව මහා නුවණැත්තන් වන්නේ අලසයන් නොව නො පසුබට වීර්යයෙන් ක්‍රියා කරන අය යි. අලසකම කෙනෙකු තුළ පවත්නා වීර්යය අවම කිරීමට හේතුවක් වේ

මිනිසුන් වශයෙන් මෙලොව උපත ලැබූ අපි ජීවිතය ජය ගැනීම සඳහා අනේකවිධ වූ ක්‍රියා මාර්ගයන් හි නිරත වෙමු. මෙය ආරම්භ වන්නේ යමක් තේරුම්ගත හැකි වයසේ පටන් ම ය. ලාබාල අවධියේ දී ඉගෙනීම කෙරෙහි ළමුන් හුරු කරවීමට මව්පියෝ අපමණ වෙහෙසෙති. එයට හේතුව යම් ක්‍රියාවක ආරම්භය ශක්තිමත් ව ගොඩනඟා ගත හැකි නම් එහි ඉදිරි ගමන්මඟ සාර්ථක කර ගැනීම එතරම් අපහසු නො වීම යි.

කිසියම් කාර්යයක් ආරම්භ කොට ඉදිරියට පවත්වා ගෙන යාමේ දී පුද්ගලයා තුළ විශේෂ ශක්තීන් සයක් පිහිටා තිබිය යුතු බව අත්තකාර සූත්‍රයේ සඳහන් වෙයි. මෙම සූත්‍රය බමුණකු ගේ ප්‍රශ්නයකට පිළිතුරු දීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දකි. එහි ඇතුළත් කරුණු සයකි. “ආරම්භ ධාතු” නම් යම් ක්‍රියාවක් ආරම්භ කිරීම යි. එම ක්‍රියාව ඉදිරියට පවත්වාගෙන යාම “නික්ඛම ධාතු” යන්නෙහි අදහස යි. “පරක්කම ධාතු” යනු බාධා මැඩගෙන ඉදිරියට යාම වන අතර නො සැලී පැවතීම “ථාම ධාතු” නම් වේ. “ඨිති ධාතු” යනු විර්යයෙහි පිහිටා සිටීම යි. උපක්‍රමශීලී වීම “උපක්කම ධාතු” නම් වෙයි.

මෙම ශක්ති සය නිවැරැදි ව ක්‍රියාත්මක කරන්නේ නම්, කිසිදු කාර්යයක් අතරමඟ නතර කර දැමීමට සිදු නොවේ.

පුද්ගල ශ්‍රමය වැය කිරීමේ දී බාහිර බලවේග පිළිබඳ විශ්වාසය නො තබා ස්වකීය ශක්තිය ම යෙදවීමට කරන උත්සාහයක් මෙ මඟින් අදහස් වෙයි. මෙහි දී ක්‍රියාව ඇරඹීම පළමු කාර්යය යි. යමක් කිරීමේ දී පළමුව ඇති කරගන්නා වීර්යය

එම ක්‍රියාවෙහි සාර්ථකත්වය සඳහා අතිශයින් ම ඉවහල් වෙයි. නිදසුනක් ලෙස සොත්ථිය නමැති බමුණකු පිදූ කුසතණ අතුරා අසුනක් පනවා ගත් බෝසතාණන් වහන්සේ සිදුකළ චතුරංග සමන්නාගත වීර්යය දැක්විය හැකි ය. “මාගේ ශරීරයේ ඇට, සම්, නහර පමණක් ඉතිරි වන සේමස්, ලේ වියළී ගිය ද සම්බුද්ධත්වයට නො පැමිණ මේ ආසනයෙන් නැඟී නො සිටිමි” යනු එම අධිෂ්ඨානය යි.

මෙයින් අපට ගත හැකි ආදර්ශය නම් අප යෙදී සිටින කිසියම් වැදගත් කාර්යයක් තුළින් බලාපොරොත්තු වන ඉලක්ක කරා ගමන් කිරීමට මහත් උනන්දුවෙන් ක්‍රියා කළ යුතු බව යි. මෙහි දී අධික ලෙස ශ්‍රමය වැය කළ යුතු යැයි අදහස් නො කෙරේ. අධික වෙහෙස කටයුතු අසාර්ථකවීමට ද හේතු වෙයි.අප සිදු කරන වැදගත් කාර්යයන් සඳහා නොයෙකුත් අවහිරතා, බාධක හා හිරිහැර පැමිණිය හැකි ය. කිසියම් කාර්යයක් ආරම්භ කොට එය දිගින් දිගට කරගෙන යාමේ දී ඕනෑම කෙනෙකුට නොයෙක් ආකාරයේ බාධා පැමිණීම ස්වභාවික ය. එහෙත් ධර්මය පිළිබඳ යම් දැනුමක් තිබෙන අය ඒවා බාධා වශයෙන් නො සලකති. තව තවත් තමන් උනන්දු කරවීම සඳහා පැමිණි දේ යැයි සිතති. අභියෝගවලට මුහුණ දෙමින් තව තවත් ධෛර්ය සම්පන්න වී ඉදිරියට ම යති.

එබැවින් තමන් පටන් ගත් කාර්යය සාර්ථකත්වයට පත්කර ගැනීමට නො ලැබෙන පරිදි සිය දහසක් බාධා පැමිණිය ද ඒවා තණ පතක් තරමට වත් ගණන් නො ගෙන, වීර්යයෙන් දිගින් දිගට ම පවත්වා ගෙන යාම උසස් මිනිසුන් ගේ සිරිතක් බව නිතර මෙනෙහි කළ යුතු ය.

එසේ විර්යයක් නො මැති ව කිසිවෙකුටවත් කිසිම කාර්යයක් තුළින් නිසි ඵල නෙළා ගත නොහැකි ය. මෙලොව ඇතැමුන් ජීවත් වන්නේ කිසිදු පැහැදිලි අරමුණක් බලාපොරොත්තුවක් නැතිව ය.

ඔවුහු දුර්ලභ වූ මිනිසත් බවෙන් නියම ඵල නො ලබති. එහෙත් නුවණැත්තා සෑම විටෙක ම නො පසුබස්නා වීර්යයෙන් ක්‍රියා කරයි. කොතෙක් බාධා පැමිණියත් ස්වකීය ක්‍රියාව ඉදිරියට පවත්වා ගෙන යයි. ඔහුට ඕනෑම දියුණුවක් සලසාගත හැකි ය.

එබැවින් ජීවිතයේ කුඩා කාලයේ සිට ම ඇති කරගත යුත්තේ නො පසුබස්නා වීර්යය යි. තමන් ගත් යම් කවර හෝ යහපත් ඉලක්කයක් ඇත්නම් ඒ ඉලක්කයට ළං නො වී මාගේ වෑයම අත් නො හරිමි යි, සිතා ඊට කැපවිය යුතු ය.

යම් ක්‍රියාවක් ආරම්භ කොට එය බාධා මැඩගෙන ඉදිරියට පවත්වා ගෙන යාමේ දී නො සැලී සිටීම ද අත්‍යවශ්‍ය ය. ඇතැම් විට අප ආරම්භ කළ යහපත් පරමාර්ථයෙන් යුතු යම් කාර්යයක් අසාර්ථක වූයේ යැයි සිතමු. එහි දී දැඩි ලෙස පසුතැවිලි වී උත්සාහය අත්හැරීම කිසිසේත් නො කළ යුතු ය.

එකී වැදගත් කාර්යය සාර්ථක කර ගැනීම සඳහා තවත් අවස්ථා ඇති බව වටහා ගැනීම බෙහෙවින් වැදගත් වේ. පරාජය ජයග්‍රහණයේ මාවත බව තේරුම් ගෙන උපක්‍රමශීලී ව ක්‍රියා කිරීමට හුරුවීම ද ඉතා අගනේ ය. උපායෙහි දක්‍ෂ බව ද දියුණුවට අවශ්‍ය අංගයකි.

“උපාය දන්නෝ අපායේ නො වැටෙති” යන සිංහල ප්‍රස්ථා පිරුළ ඇතිවන්නට ඇත්තේ ද ඒ නිසා විය යුතු ය. මෙහි උපාය යනු වැරදි උපාය මාර්ග නො වේ. නිවැරැදි උපාය යි. උපායෙහි දක්‍ෂ ව ක්‍රියා කොට ඉතා සුලු දෙයකින් පවා දියුණු විය හැකි බව මළ මී කුණක් විකුණා ක්‍රමයෙන් දියුණුවට පත් පුද්ගලයකු අවසානයේ දී සිටුවරයකු වූ ආකාරය විස්තර වන චුල්ලසෙට්ඨි ජාතකයෙන් පැහැදිලි වේ.

මේ අනුව දැහැමි ලෙස යෙදූ උපාය ශක්තියෙන් යුත් වීර්යයෙන් ඒ ඒ ක්‍රියාවන් හි යෙදීමට ද උනන්දු විය යුතු ය. මේ අනුව සෑම කාර්යයක් ම සාර්ථක කර ගැනීමට දැඩි වීර්යයක් තිබිය යුතු බව පැහැදිලි ය. වීර්යය ඇති අයට ලැබිය නො හැකි නුවණක්, නො ලැබිය හැකි සැපතක් නැත. බොහෝ දෙනා දුක් අඩු සැප වැඩි ජීවිතයක් ගෙන යන්නේ වීර්යය හේතුවෙනි.

ලොව මහා නුවණැත්තන් වන්නේ අලසයන් නොව නො පසුබට වීර්යයෙන් ක්‍රියා කරන අය යි. අලසකම කෙනෙකු තුළ පවත්නා වීර්යය අවම කිරීමට හේතුවක් වේ. අලසකමින් තොරව අද කළ යුතු දේ අද ම කිරීම ඉතා හොඳ පුරුද්දකි. එවිට වැඩ ගොඩ ගැසීමක් සිදු නොවේ. එහෙත් අලසකම නිසා සිදුවන්නේ අද කළ යුතු දේ හෙටට කල් දැමීම යි. එවිට හෙට වැඩ අධික වනු ඇත. ඒ නිසා ම හෙට වැඩ ද අවුල් වනු ඇත.

මෙසේ ක්‍රමයෙන් දිනපතා ම වැඩ කටයුතු අවුල් වෙයි. ක්‍රියාව ආරම්භ කළ ද එය ඉදිරියට පවත්වා ගෙන යාම නිසියාකාර ව සිදු නොකිරීම එයට හේතුවයි. ක්‍රියාව මනා ඇරඹුමකින් යුක්ත ව බාධා මැඩගෙන ඉදිරියට පවත්වා ගෙන යාම වඩාත් ම හරවත් පිළිවෙතයි. මෙහි දී සෑම විටෙක ම “පසුබට නො වන්න. ඉදිරියට ම යන්න.” (මානිවත්ථ අභික්කම) යන බුද්ධ දේශනය සිහිකිරීම අපට බෙහෙවින් ම වැඩදායක ය.

  ඉල්
අමාවක 

දෙසැම්බර් 14 සඳුදා පූර්ව භාග 00.44 න් අමාවක ලබා එම දා අපර භාග 09.46 න් ගෙවේ.

සඳුදා සිල්..

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]