[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආර්ය ශ්‍රාවක ප්‍රතිපදා ලිපි මාලාව 16: සත්ථා දේවමනුස්සානං බුදුගුණ භාවනාව

ආර්ය ශ්‍රාවක ප්‍රතිපදා ලිපි මාලාව 16:

සත්ථා දේවමනුස්සානං බුදුගුණ භාවනාව

අනුත්තර පුරිසදම්මසාරථී බුදුගුණය භාවනා කරල සිතට වශී වුණාට පසුව සත්ථා දේවමනුස්සානං බුදුගුණය වඩන්න පටන් ගන්න. හත්වන බුදුගුණය සත්ථා දේවමනුස්සානං බුදුගුණයයි. සත්‍ථා යනු මඟ පෙන්වන්නායි. ආචාර්යවරයායි.

දෙවි මිනිසුන් ඇතුලු සියලු සත්වයන්ට සංසාර කතරෙන් එතර වන්නට මඟ පෙන් වූ නිසා බුදුරජාණන් වහන්සේට මේ ගුණය ලැබී තියෙනවා. බුදුරජාණන් වහන්සේ සියලු දෙවි මිනිසුන්ට සංසාර සාගරයෙන් එතරවීම පිණිස අනුශාසනා කළ බැවින් සත්‍ථාදේවමනුස්සානං වන සේක.

බුදුගුණාලංකාරය නම් කවි පොත ඒ බව දක්වන්නේ මෙහෙමයි.

බව කතරින් එතර

ලනුයෙන් සතන් හැමවර

තිලෝගුරු මුනිවර

වීය සත්ථා නමින් පුවතර

භාවනා කමටහන වඩන්න කලින් මෙම ගාථා පාඨය කටපාඩම් කර ගන්න. ‘එකො සබ්බස්ස ලෝකස්ස-සබ්බසත්‍තානුසාසකො’ භාවනා කරන්න සූදානම් වෙලා පූර්ව කෘත්‍ය අවසන් වුණාට පසුව මෙම ගාථා පාඨය කිහිප වරක් ශබ්ද නගල කියවන්න. ගාථා පාඨයේ තේරුම දැනගෙන තේරුමත් මෙනෙහි කරමින් කියනව නම් වඩාත් හොඳයි. ගාථා පාඨයේ තේරුම ‘ඒ භාග්‍යවතුන් වහන්සේ සකල ලෝකයාට අසහාය සියලු සත්වයන්ගේ අනුශාසකයන් වහන්සේ වූ සේක’ යන්නයි.

සත්ථා දේවමනුස්සානං බුදුගුණය වැඩීම සඳහා පළමුවෙන් කෙටි කමටහනක් දක්වන්නම්.

‘මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන් හැම භව කතරින් එතර කරනු පිණිස මඟ පෙන් වූ සේක. මිනිසුන්ට පමණක් නොව දිව්‍ය බ්‍රහ්මාදීන් හට ද මඟ පෙන් වූ සේක. මේ කාරණා නිසා මාගේ බුදුරජාණන් වහන්සේ සත්ථාදේවමනුස්සානං වන සේක’. මෙම කමටහන දින කිහිපයක් වඩන්න. ඊටපසුව පහත දක්වන කමටහන් මාලාව දිගින් දිගටම වඩන්න.

1. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මෙලොව හිත වැඩ පිණිස අනුශාසනා කළ හෙයින් සත්ථාදේවමනුස්සානං නම් වන සේක.

2. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ පරලොව හිත වැඩ පිණිස අනුශාසනා කළ හෙයින් සත්‍ථාදේවමනුස්සානං නම් වන සේක.

3. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මඟඵල නිවන් පිණිස අනුශාසනා කළ හෙයින් සත්‍ථාදේවමනුස්සානං නම් වන සේක.

4. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් සත්වයන් එතෙර කළ හෙයින් සත්ථා දේවමනුස්සානං නම් වන සේක.

5. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ශෝකයෙන්, පරිදේවයෙන්, දුක්ඛයෙන්, දෝමනස්සයෙන්, උපායාසයෙන් සත්වයන් එතෙර කළ හෙයින් සත්‍ථාදේවමනුස්සානං නම් වන සේක.

6. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් සත්වයන් එතෙර කළ හෙයින් සත්ථා දේවමනුස්සානං නම් වන සේක.

7. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මානයෙන්, මිථ්‍යාදෘෂ්ටියෙන්, ක්ලේශයෙන් දුශ්චරිතයෙන් සත්වයන් එතෙර කළ හෙයින් සත්‍ථාදේවමනුස්සානං නම් වන සේක.

8. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සසර කතරින් සත්වයන් එතෙර කොට නිර්වාණය නම් ක්‍ෂේම භූමියට පැමිණ වූ හෙයින් සත්‍ථාදේවමනුස්සානං නම් වන සේක.

9. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දාන, සීල, ස්වර්ග කාමයන් ගේ ආදීනව නෙක්ඛම්මයේ ආනිසංස යන කථාවන්ගෙන් දෙවි මිනිසුනට අනුශාසනා කළ හෙයින් සත්‍ථාදේවමනුස්සානං නම් වන සේක.

10. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුස්සත්‍යයන් පිළිබඳ අනුශාසනා කළ හෙයින් සත්‍ථාදේවමනුස්සානං නම් වන සේක.

11. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂාවන් පිළිබඳ අනුශාසනා කළ හෙයින් සත්ථා දේවමනුස්සානං නම් වන සේක.

12. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය අෂ්ඨාංගික මාර්ගයන් පිළිබඳ අනුශාසනා කළ හෙයින් සත්ථාදේවමනුස්සානං නම් වන සේක.

  ඉල්
අමාවක 

දෙසැම්බර් 14 සඳුදා පූර්ව භාග 00.44 න් අමාවක ලබා එම දා අපර භාග 09.46 න් ගෙවේ.

සඳුදා සිල්..

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]