[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙවනගල පුරා විදු බිම රැක ගැනීමට පියවර

දෙවනගල පුරා විදු බිම රැක ගැනීමට පියවර


දෙවනගල පර්වත මුදුනට යෑමට ඇති ගල් පර්වතයේම ස්ථාපිත පියගැට පෙළ

රටේ ඉතිහාසය අනාගතයට දායාද කරන පුරාවිද්‍යා ස්මාරක හා පුරාවිද්‍යා භූමි රැක ගැනීම සියලු රට වැසියන්ගේ වගකීම ය. එහෙත් අන්තවාදී පිරිස්වලට නම් ඒ ඉතිහාසය වැදගත් වන්නෙ නැත.

ඒ අවාසනාවන්ත තත්ත්වය පසුගිය කාලයේ කූරගල, මුහුදුමහා විහාරයට මෙන්ම දෙවනගල පුදබිම්වලටත් ඇති වුණි. මේ වන විට බලවත්ම තර්ජන එල්ලවී පවතින්නේ දෙවනගල පුරාවිද්‍යා භූමියටය. එහි පුරාවිද්‍යා බිම් වනසමින් ඉඩම් අල්ලා ගැනීමට කටයුතු කිරීම ගැන පසුගිය දිනවල මාධ්‍ය මඟින් ද නිරතුරුව ම කතාබහට ලක් වුණි.

මේ අවනඩුව ගැන සොයා බලන්නට ජාතික උරුම, ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පසුගියදා එහි නිරීක්ෂණයකට සහභාගි වුණි.

දෙවනගල පුදබිම සම්බන්ධ ව මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව විහාරාධිපති හිමියන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ ඇමැතිවරයා දෙවනගල පුරාවිද්‍යාත්මක ස්ථානය පිළිබඳව නිසි ලෙස සොයා නොබැලූ නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ඉදිරියට දෙවනගල පුදබිමට කිසිදු ආකාරයක ගැටලුවක් නොවන ලෙසත් කටයුතු කරන ලෙස අදාළ සියලු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

සිරිපතුල

විමලධර්මසූරිය රජු විසින් ස්ථාපිත ශිලා ලේඛනයක්

දෙවනගල ඉතිහාසය රාජ්‍ය කාලය දක්වාම දිව යයි. මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ පිහිටි මේ ඓතිහාසික පුදබිමට ළඟා විය හැක්කේ රුවන්දෙනියේ කටුගහවත්ත හන්දියෙන් ගමන් කිරීමෙන් පසුව ය.

අක්කර 72ක් පුරා විහිදී යන කළුගල් පර්වතයකින් දෙවනගල රජ මහා විහාරය සමන්විත ය.

‘දෙවියන් නැඟි ගල‘ දෙවනගල වූ බව සඳහන් වන අතර, තවත් තැනක කියැවෙන්නේ අලුත්නුවර දෙවියන් ‘දෙවැනි වර වැඩසිටි ගල‘ දෙවනගල වූ බවය. එමෙන්ම බතලේගල කන්දට පමණක් දෙවැනි වූ නිසාද දෙවනගල යනුවෙන් ද එය හැඳීන්වෙන බවකි, තවත් අදහසක් වන්නේ. උසින් අඩි 900 ක් පමණ වන දෙවනගල කඩුගන්නාව කපොල්ලේ සිට පැහැදිලිව දැකගත හැකි ය.

මහනුවර සමයේ ඉදිකෙරුණු ප්‍රතිමා ගෘහයේ වටිනා මකර තොරණ, බුදුපිළිම හා චිත්‍ර නිධන් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙන අතර, මෙම ස්ථානය ‘දුතියසේල කිත්සෙන් පව්ව‘ ලෙස ද විහාර අස්නෙහි පරණ නුවර ලෙස ද සඳහන් ව ඇත.

කෙසේ වෙතත් මේ ගල මුදුනේ මුලින්ම විහාරයක් කරවුයේ ක්‍රි.ව. 470 පමණ ධාතුසේන රජු බව මහාවංසයේ සඳහන් ය. එහි සඳහන්ව ඇත්තේ ‘පහන බද රට දාසෙන් පව්ව වෙහෙර‘ ලෙස ය.

දෙවනගල සුවිශේෂී වන්නේ රජවරුන් දෙදෙනකුගේ සෙල්ලිපි එකම ස්ථානයකින් හමුවීම හේතුවෙනි.

පළවන පැරකුම්බා රජ සේනා සමඟ යැවූ නගරගිරි සෙනවියා විසින් බුරුමයේ කුසුමීය නගරය යටත් කිරීම නිසා ඔහුට උඩපමුණුව හා පල්ලෙපමුණුව යන ගම්වරයන් ලබා දීම පිළිබඳ වූ සෙල්ලිපිය සහ පළමු විමලධර්මසූරිය රජු විසින් ක්‍රි.ව. 1592 දී රතනාලංකාර හිමිට පුද පූජා කළ බව දැක්වෙන සෙල්ලිපි දෙක ඒ අතර වේ.

මෙහි ඇති ඉතාම වැදගත් මේ සෙල්ලිපි විනාශ වන ආකාරයට අන්තවාදීන් විසින් කටයුතු කර ඇත. විහාර මන්දිරය, දාගැබ, ධර්ම ශාලාව, පැරණි සංඝාවාසය සහ ශෛලමය විහාරයේ නටඹුන් සහ ‍පොකුණ ද පිහිටා ඇත්තේ පර්වතයේ උසම කොටසේ ය. මෙම පූජනීය ගොඩනැඟිලිවලට මදක් පහළින් අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් කැපවූ කුඩා දෙවොලක් ද දැකගත හැකිවේ.

දෙවනගල කන්දට නැග යාමට ගලේම කොටා සකස් කළ පියගැට පෙළක් ඇත. පර්වතය මතට නැඟ ගත් විට අතිවිශාල ඉබ්බකුගේ පිට මැදට නැඟ අවට බලන්නකු සේ සිරි නැරැඹිය හැකි ය.

බතලේගලට අමතරව බලන, දෙකිඳ, බෙල්ලාකඩ. ඇල්පිටිය, සැලව, ඌරාකන්ද වැනි කඳුද ඒ අතර කැපී පෙනේ.

උඩරට මූර්ති ශිල්පයට නිදසුන් සපයන මෙහි ප්‍රතිමා මන්දිරය පොකුණට නුදුරින් දැකගත හැකියි. මකර තොරණ සහිත බුද්ධ ප්‍රතිමාවකින් සහ බිතුසිතුවම්වලින් එය සරසා තිබේ. පිළිමගෙයට නුදුරින් පිහිටා ඇත්තේ දාගැබ ය. ගල් පර්වතයේ එක් කොණක පිහිටා ඇත්තේ මහනුවර යුගයටත් වඩා පැරණි කළුගල් විහාරයක නටබුන් ය. මෙම ශෛලමය ගොඩනැගිල්ල ගෙඩිගේ සම්ප්‍රදායයේ ගොඩනැඟිල්ලක් වන අතර, එය දිගින් අඩි 32ක් ද, පළලින් අඩි 21ක් ද වේ.

විහාරයට නුදුරින් පර්වත බෑවුම පටන් ගන්නා ස්ථානයේ ම සිරිපතුල් ගලක් කැටයම් කර තිබේ. සිරිපතු‍ලේ දිග අඩි 7කි. එහි මඟුල් ලකුණු කැටයම් කර තිබෙන අතර, සිරිපතුලට නුදුරින් පළමුවන විමලධර්මසූරිය රජුගේ සෙල්ලිපිය දැක ගත හැකි වේ.


දෙවනගල විහාරාධිපති හිමියන් විසින් විදුර වික්‍රමනායක ඇමැතිවරයාට දෙවනගල විනාශය පිළිබඳ විස්තර කරමින්

ධාතුසේන රජු දෙවනගල විහාරයක් සෑදු බව ද අපේ වංස කතා අතර වේ. පොළොන්නරු යුගයේ කිත් නුවර ගල් සෙනෙවියාගේ කි‍්‍රයාන්විතයක් ගැන ලියැවෙන සෙල් ලිපියක් මගින් ගම් බිම් පූජා කළ බව මෙම පවුවේ තවත් තැනක සටහන් ව තිබේ.

මීට දශක දෙකක පමණ සිට දෙවනගලට කණකොකා හඬන්නට වූ අතර අන්තවාදී පිරිස් විසින් විමලධර්මසූරිය රජු කෙටවූ සෙල්ලිපියට ඇසිඩ් දමා එය විනාශ කරන්නට ද, චෛත්‍ය ගර්භය බිඳ නිධන් වස්තු කොල්ල කෑමට ද උත්සාහයක නිරතව ඇති බවට පැමිණිලි කර තිබේ.

දෙවනගල විහාරාධිපති මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් මෙම පුදබිම රැකගෙන සිටින්නේ මේ අන්තවාදී පිරිස්වල දැඩි තර්ජන මධ්‍යයේ ය. උන් වහන්සේ පවසන්නේ රටේ ඉතිහාසය වන පුරා විද්‍යා බිම් රැක දීමට අනිවාර්යයෙන් ම පියවර ගත යුතු බවයි. දිවි දෙවෙනි කොට උන් වහන්සේ මේ පුදබිම් රැක ගන්නට කටයුතු කරන අතර, මේ වන විටත් අන්තවාදී පිරිස් විසින් ග්‍රහණයට නතුකරගෙන සිටින පුරාවිද්‍යා බිම් රැක දීමට පියවර ගන්නා ලෙස උන් වහන්සේ එහි පැමිණි විදුර වික්‍රමනායක ඇමැතිවරයෙගන් ද ඉල්ලා සිටියහ.

දෙවනගල යනු ශ්‍රී පතුලේ පවා නිර්මාණය කර ඇති ඉතිහාසය පැහැදිලිවම පෙන්වා දෙන පුරා විදු බිමකි. එය බෞද්ධ ජනතාවගේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ම. අභිමානයකි. ඒ අභිමානය සුරැකීම වගකීමෙන් ඉටුකළ යුතු යුතුකමක් වන්නේ ය.

  ඉල්
අමාවක 

දෙසැම්බර් 14 සඳුදා පූර්ව භාග 00.44 න් අමාවක ලබා එම දා අපර භාග 09.46 න් ගෙවේ.

සඳුදා සිල්..

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

Second Quarterඅව අටවක

ජනවාරි 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]