[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මඩුකන්ද ශ්‍රී දළදා රාජ මහා විහාරය

මඩුකන්ද ශ්‍රී දළදා රාජ මහා විහාරය

ඈත ඝන වනාන්තරයට මැදිව ගව් ගණනක් ඈතට විහිදී ගිය, අහස් කුස සිඹිනා මහා පර්වතයක් ය. පුළුන් රොදක් සේ එය වසා ඇති වළාකුළු එහි උස සඟවා ඇතැයි බැලූ බැල්මට පෙනෙන්නේ ය.


මුවඇටගම ශ්‍රී රතනසාර නා හිමි

මෑත, වසර ගණනාවක සලකුණු ඇතිව ඉහළට එසැවුණු බෝධි රාජයාණන්‍ වහන්සේ ය.අඩි ගණනක විශ්කම්භයක් ඇති එහි, වයස සඟවා ඇත්තේ පිහිට ඉල්ලමින් මිනිසුන් විසින් භාර හාර පිණිස එල්ලන ලද ධජ වලින් යැයි සිතෙන්නේ ය. බෝධීන් වහන්සේ ඉදිරියෙහි ඉතිහාසය සාක්ෂි දරණ වන්දනීය පූජනීය වූ දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටි දළදා මාළිගයේ නටඹුන් ය. මාළිගය අසල සමාධි සුවයෙන් , ලොව්තුරු බුදු පියාණන් වහන්සේ ගේ පිළිම වහන්සේ වැඩ සිටිති.

දළදා මාළිගය දෙසට අනිමිස ලෝචන පුජාවෙන් වැඩ සිටිනා හිදි පිළිමය ,දකින බොහෝ දෙනෙකුට ඇතිවන ශාන්තිය වචන වලට පෙරළිය නොහැකි ය. මෙහි කාලයේ වැලිතලාවට හසු නොවී තවමත් විරාජමාන ව ඇති ඓතිහාසික නෂ්ඨාව ශේෂයන් ඉතිහාසයේ සාක්ෂි කරුවන් බවට පත්ව ඇත.

වව්නියාව නගරයේ සිට හොරොව්පතාන මාර්ගයේ කිලෝ මීටර තුන හමාරක් පමණ ගිය පසු මාර්ගය ආසන්නයේ ම දක්නට ඇති මඩුකන්ද ශ්‍රි දළදා රාජ මහා විහාර පින් බිමේ උරුමයි මේ. භූමි අක්කර විස්සක් පමණ පුරා විහිදෙන මෙම පින්බිමෙහි හාත්පස, පරිවාර පන්සල් ගෙවල් පැවැති බවට නටඹුන් තවමත් දක්නට හැකි ය.

මෙරට බොදු උරුමයේ සමාරම්භයට පාදක වූ සියලු සටහන් ආරම්භ වූ උතුරු පළාතේ පිහිටි මෙම ඓතිහාසික පින් බිම හා බැඳි විවිධ පුරාණෝක්තීන් හා ජනප්‍රවාදයන් රැසක් අපට හමුවෙයි.

ලාංකීය බොදු පුනර්ජීවයට මූලික අඩිතාලම දැමු දෙවන පෑතීස් රජ දවස, වැඩම කළ වදාළ උතුම් ජය ශ්‍රි විජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ, දඹකොල පටුනෙන් ගොඩබැස තංතිරිමලය හරහා අනුරාධපුරයට වැඩම කළේ ද උතුරුකරයෙනි.

හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් උතුම් දන්ත ධාතූන් වහන්සේ රැගෙන කෝකිලායි කලපුවෙන් බැස ලංකා පට්ඨන තොටුපළෙන් මෙරටට පැමිණි බව ඉතිහාසයේ සඳහන් කරුණක් වෙයි. කෝකිලායි යන්න වත්මනෙහි මුලතිව් දිස්ත්‍රික්කය ලෙස හැඳින්වුවද මුලතිව් යන්න අග නම බව ද අතීතයේ එය මූලමණ්ඩප ලෙස හඳුන්වා තිබේ. මුලින්ම මණ්ඩපයක් ඉදිකොට දළදා වහන්සේ තැන්පත් කළ නිසා මූලමණ්ඩප වූ බවත් එය පසුකාලීනව මුල් ලද්දුව, මුලතිව් බවට පත් වූ බවත් මඩුකන්ද ශ්‍රි දළදා රාජමහා විහාරාධිපති මුවඇටගම ශ්‍රී රතනසාර නායක හිමිපාණෝ පැවසූ හ.

දළදා වහන්සේ කෝකීලායි සිට ,රුවන් මඩුව, සේම මඩුව,මහ මඩුව ,මඩු කන්ද,කිඩාගලේගම, සංගිලිකනදරාව,උත්තර සාලීය විහාරයේ සිට අනුරාධපුරය දක්වා වැඩම කොට තිබෙනව බව සඳහන් කරුණකි.

එකී ගමන් මගේ දළදා වහන්සේ තැන්පත් කොට වන්දනීය වූ පින් බිමක් ලෙස මඩුකන්ද ශ්‍රී දළදා රාජමහා විහාර පින් බිම අදටත් පූජනීය පින් බිමක් ලෙස සඳහන් කළ හැකිය. මෙම විහාරය

සතර දෙසින් වට වු පොකුණු සතරකින් යුක්ත වූ අතර, එහි අලංකාරය සදහා නෙළුම්, මානෙල්, ඕලූ මල් වලින් පිරී තිබුණ බවද සඳහනක් වෙයි. ක්‍රි.ව 200 දී පමණ ආරම්භ කර ඇති මඩුකන්ද විහාරය ක්‍රි.ව 500 දී දළදාව වැඩම කිරීමෙන් කීර්තී ශ්‍රී මේඝවර්ණ රජු දළදා වහන්සේ පිළිගෙන භාරගන්නා තුරු මෙහි තැන්පත් කොට තිබු බවට ශේෂව ඇති මාළිගයේ නටඹුන් සාක්ෂි සපයයි. මහල් දෙකකින් සමන්විත දළදා මාලිගයෙහි ඉහළ මහලයේ දළදා වහන්සේ තැන්පත් කොට වැඳුම් පිදුම් කොට තිබේ.

දළදා වහන්සේ භාරව කටයුතු කළ ප්‍රධානීයා රටේ භාරකරුවා ලෙස සැලකූ අතර රජුගේ මාළිගය ආසන්නයේ දළදා මාළිගාවක් ඉදිකොට ධාතූන් වහන්සේ තැන්පත් කරමින් පුද පුජා පවත්වා තිබේ. මඩුකන්ද විහාරස්ථානයේ දළදා මාළිගාව ආසන්නයේම ඉදිකොට ඇති මාළිගයේ ඇතුළත වාතාශ්‍රය වගේම සිසිල පවත්වා ගැනීම සදහා යොදාගෙන ඇති තාක්ෂණය අපූරුය.

වසරේ ජූලි ,අගෝස්තු සැප්තැම්බර් මාසවල දී බලපාන දැඩි වියළි කාලගුණ තත්වයන් සදහා මුහුණ දීමට එකල ද භාවිත කොට ඇති තාක්ෂණික ක්‍රමවේදයන් හී නටඹුන් අදට ද දැකගත හැකිය.වර්තාමනයෙහි වායු සමීකරණ ක්‍රියාවලිය හා සමාන තාක්ෂණික ක්‍රමවේදයක් සඳහා කළුගල් පේළි දෙකක් අතරට ජලය ඇතුළත් කොට වසර පුරාම සිසිලස පවත්වා ගන්නට එකල ඇත්තෝ සමත්ව ඇත.

මඩුකන්ද පිළිබද මහාවංසය සඳහන් කරන කරුණු පිළිබද අවදානය යොමු කිරීම මෙහිදී ඉතා වැදගත් බව සදහන් කළ යුතුය. මණ්ඩල ගිරි,මඩුළුගිර වී පසු කාලීනව මඩුකන්ද වූ බව මහාවංශය සදහන් කරන එක සාධකයකි.මණ්ඩලාකාර කඳුවැටිය වළාකුළක් සේ දිස්වූ නිසා එය මණ්ඩලගිරිය ලෙස හැඳින්වූ බවද සඳහනක් එහි තවත් තැනක වෙයි.එමෙන්ම මඩු ගස් වලින් ගහනව පැවැති නිසා මඩුකන්ද වූ බවද ජනප්‍රවාදයේ කියැවෙන තවත් කතාවකි.

විහාර භූමියට පැමිණෙන ඔබට ඒ වටා ඇති මඩු ගස් ද තැනින් තැන තවමත් දැක ගත හැකි ය. මඩුකන්ද විහාරය පිළිබද සදහන් කිරීමේ දී මහාවංශය සඳහන් කරන තවත් සාධක කිහිපයක් වෙයි. දළදා වහන්සේ වැඩ ම කළ ගමන් මගේ ,සේම මඩුව පිළිබද සඳහන් වන්නේ රිදියෙන් නිමවූ මණ්ඩපයක් තිබූ බැවින් සේම මඩුව වූ බවයි. රනින් නිම කළ මඩුවක් පැවැති බැවින් රුවන් මඩුව වූ බව ද , විශාල මණ්ඩපයක් ඉදිවූ බැවින් මහාමඩුව වූ බවද, මඩු විශාල ප්‍රමාණයක් ඉදිකළ බැවින් මඩුකන්ද වූ බව ද මහාවංශය ගෙනහැර දක්වයි.

ක්‍රි.ව 200 දී පමණ මඩුකන්ද විහාරය ඉදිවෙන අතරෙහි උතුරු කරයෙහි සිංහල ජන වාස පැවැති බවට සාධක රැසක් වත්මනෙහි මඩුකන්ද විහාරාධිපති මුවඇටගම රතනසාර හිමියෝ පෙන්වා දෙති. ඒ වන විට දියුණු සමාජ රටාවක් පැවැති නිසා දළදා වහන්සේ මඩුකන්ද විහාර පින් බිමේ තැන් පත් කරන්නට සැලැසුම් කරන්නට ඇති බව ද උන්වහන්සේ පෙන්වා දෙයි. උතුරු කරයේ පැරැණි රාජධානීවලට අයත් රජ වරුන් විසින් ඉදිකරවූ සිද්ධස්ථාන 274 ක් පැවැති බවට සාධක රැසක් ඇති අතර ඉන් හතරක් පසු කාලීනව කෝවිල් බවට පත්ව තිබේ.

අදටත් ස්වාමීන්වහන්සේලා වැඩ වාසය කරමින් යාවත් කාලීන වන විහාර පින් බිම් ඇත්තේ විසි අටක් පමණ යැයි උන් වහන්සේ පෙන්වා දෙති. ඉතිරි සියල්ල වනාන්තර ගතව ඇති බවත්, රුදුරු ත්‍රස්තවාදීන්ගේ ගොදුරු බවට පත්ව තිබූ බවත් සඳහන් කරති. ඒ සිද්ධස්ථාන අතරින් වටිනාම සිද්ධස්ථානයක් ලෙස මඩුකන්ද ශ්‍රී රාජමහා විහාර හැඳින්වෙන අතර මඩුකන්ද රාජා මහා විහාරයට ද ත්‍රස්තවාදීන්ගෙන් කිහිප විටෙකම ප්‍රහාර එල්ල වුව ද අදටත් මේ උරුමය රකිමින් උන්වහන්සේ දිවි හිමියෙන් මේ පින්බිම ආරක්ෂා කොට ඇත්තේ බොදුනු උරුමය මතු පරපුරට උරුම කර දීමේ උදාර අරමුණෙන් ය.

   නිකිණි පුර අටවක පෝය 

 නිකිණි පුර අටවක ජූලි 27 සඳුදා පූර්ව භාග 07.09 පුර අටවක පෝය ලබා 28 අඟහරුවාදා පූර්වභාග 04.58 න් පෝය ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය අගෝස්තු 02 සඳුදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]