[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

බෝ සමිඳුනේ

පුර හඳ සසලයි
ඔබ සැම නිහඬයි
බෝ සමිඳුගේ ගුණ
මුළු ලොව පැතිරෙයි
සැමදා අපි ඔබ
වන්දනා කරනෙමු
ඒ සුව සෙත දෙති
දිවියේ ජය පෙත

****

ගුණ දම් වඩමු

ඉසි කෝ මද මාන සැම විට දුරලන්නේ
මෙත් කරුණා මුදිතා ගුණ උපදන්නේ
ගුණ දහමින් සැම දෙන රැක පන්නේ
එවිටයි සිරිසෙත අත්පත් වන්නේ

අනුන්ගෙ ගුණ දොස් නොම විම සන්නේ
විපතෙදි සැම විට පිහිටට ඉන්නේ
උතුම් මිනිස් ගුණ දම් සුර කින්නේ
එවිටයි ජීවිත හරි මඟ යන්නේ

****

සුවපත් වේවා

බුදු රැස් දහරින්
ලොව නහවා
සම්බුදු හිමි
අපහට
දම් පද කීවා
මේ පොහෝ දිනයේ
ඒ පින් ගෙන ආවා
සැම දෙන නිවනින්
සුවපත් වේවා

****

මෙවර ජයග්‍රාහි කවිය

අනවබෝධය

සැණකෙළි පියයන්ද සමඟින් තුටු වෙන්නේ
නෙත පිනවන දසුන් දකිමින් සැනසෙන්නේ
දේපළ මිල මුදල් සොයමින් දිව යන්නේ
දැන් ඇති කියා සෑහීමක් නොම වන්නේ

නොපෙනේ භව සසරෙ පැතිරුණු නොනිමි දුක
නො දැනේ මරණයට යන බැව් ටිකෙන් ටික
නොහැඟේ කුසල කර්මයෙ ඇති මහඟු සුඛ
නොදනී අමා නිවනෙන් දුක නිවෙන එක

****

යශෝධරා

සාරා සැකි කපක් පුරා බඹසර රැකි පතිනී
නෑරා තම බෝසත් හිමි පිළිබඳ පෙම වැඩුණී
දෝරේ යන පති සෙනෙහස බුදු බවටම බැඳුණී
යශෝධරා මෙකප උපන් සුන්දරතම පතිනී

****

සදහම් සුවඳ

ඉඳුරන් දමනයෙන් කෙලෙසුන් හල සිතින
නුවණින් අනෙක් සව්වන්න හට නොම දෙවන
ගුරුවන් සමිඳු අගසව් සැරියුත් නමින
මුනිඳුන් සසුන් අඹරෙහි සඳ සේ දිලින

තමහට වැඩ කැමැති නුවණැත්තා නිතින
හැමවිට දහම් විමසා නුවණින් සොඳින
කුසලට නැමී විරියෙන් කෙලෙසුන් නසන
සහතුට අරියමඟ ගෙන ලබනුයේ නිවන

****

නොසිතන සිත

මල් පිදුමට තරග කෙරුවත් පෝදාට
තෙල් යෙදුවට උඩින් පැන හෝ පහනකට
කල් ගත වුණත් සිතමින් යහපත් ලෙසට
යල් පැනලා නොවෙද, හෙව්වද සිත හෙටට

ඉන්නට ලොකු ගෙයක් සැලසුම් කෙරුවාට
යන්නට සැප රියක් ගන්නට බැලුවාට
මඟුලට ඉහළින්ම වියදම් දැරුවාට
දහමට සිත ගන්න සිතුණේ අප කාට

****

මරණය

ජීවිතය අනියත යි මරණය හිමි බව දනිතී
නොහැකිය බේරෙන්න මරුවා ඉඩ නොදෙතී
මේ කුණු කය පොළොවට පස්වී දිරතී
සම්බුදුසරණ යන අය මරණෙට බිය නොවෙතී

****

නිති පන්සිල් රකිමු

අටසිල් රකිමු හැකි හැම විට සැමදාම
එනමුත් රැකිය හැක පන්සිල් සැම දිනම
ඒ ලෙස සිතුවහොත් සැම දෙන නිසි ලෙසට
ගුණ නැණ බෙලෙන් යුතු වෙයි අපෙ රටෙ සැවොම

****

මඟ ඵල ලබන්න

සිව් බඹ විහරණය වෙත සිත යොදවා
දන් සිල් භාවනා ගුණ දම් නිති මඩවා
තිදොරින් නිතර සිදුවන අකුසල් වඩවා
කල්ගත කළොත් සුමගට යේ යැයි සිතුවා

තිසරණ සමඟ නිති පන්සිල් රැකලා
බණ භාවනා කොට පරවැඩ ගැන සිතලා
තිසරණය ම පතා සද්ධා ගුණ වඩලා
මග ඵල ලබත හැකි වේ යැ’යි සිතලා

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස ඉල් පුර පසළොස්වක පෝදා සිට දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.

   නිකිණි පුර අටවක පෝය 

 නිකිණි පුර අටවක ජූලි 27 සඳුදා පූර්ව භාග 07.09 පුර අටවක පෝය ලබා 28 අඟහරුවාදා පූර්වභාග 04.58 න් පෝය ගෙවේ. සඳුදා සිල්.

මීළඟ පෝය අගෝස්තු 02 සඳුදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසළොස්වක

අගෝස්තු 03

Second Quarterඅව අටවක

අගෝස්තු 11

Full Moonඅමාවක

අගෝස්තු 18

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]